මානව වර්ගයේ අවසානය නොවන්නට

Share

පෘථිවිය මත දැනට මූලිකත්වය ගෙන කටයුතු කරන මිනිසා දිනෙක සදහට ම මිහිතලයෙන් තුරන් වී යා හැකි ද ?  

එලෙස මිනිසා නශ්ට වී ගියහොත් එය මිනිස් වර්ගයාගේ අවසානය විය හැකි ද ? 

දිනෙන් දින ගතවන ජීවිතය තුළ, විද්‍යා ලෝකය තුළ , සත්‍ය  වශයෙන් ම මිනිසා, මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් සියල්ල තම අභිමතය පරිදි වෙනස් කරමින් ඇත. 

2019 වර්ෂයේ තිරගත වන I Am Mother චිත්‍රපටය Grant Sputore  විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. 

මිනිසා අනාගතයේ මිහිතලයෙන් නශ්‍ට වුවහොත් එය මානව වර්ගයේ අවසානය නොවන්නට..

මෙලොව එළිය දකින ඕනෑම කුඩා ළදරුවකු තම මවගේ කුස තුළ එනම් ගර්භාෂයක් තුළ වැඩෙමින් නියමිත ගැබ් කාලය සම්පුර්ණ කරමින් මිහිතලය මත පළමු ආශ්වාසය ලබා ගැනීමට පැමිණිය යුතුය. එලෙස එන ගමනේ අතරමඟ ජීවිතය අතහැර යන්නන් ද ඇති බව නොරහසකි. චිත්‍රපටයේ තේමාවට අනුව මවක ගැන කියවේ. ඇත්තෙන් ම මව ස්වභාවධර්මයේ  අද්විතීය නිර්මාණයකි. නමුත් කතාවේ මව දරුවන් කුස තුළ නොදරයි. කතාවේ එක් කතා නායිකාවක් වන ඇය විද්‍යාවේ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අසම සම නිර්මාණයකි.

මානව කළලයක් කෘත්‍රිම තත්ව යටතේ ළදරුවෙකු දක්වා වර්ධනය වෙයි. ඇගේ අව්‍යාජ සිනහවත්, ඇය වෙනුවෙන් ගැයෙන නැළවිලි ගීතත්, පෝෂණය කරන ක්ෂීරයත් මවගේ උණුසුමත් සමඟ දිනෙන් දින ඇය වැඩෙයි. සෑම දිනක ම ඇය සිහින් හිරු කිරණ යකඩ දොරක් තුළින් පමණක් දකී.  එය ප්‍රේක්ෂකයා තුළ ද සැකයක් මතු කරයි. 

කිසි දිනක ගහක් කොළක් නොදැකපු ඇය ගැන අනුකම්පාවක් ඇති වන්නේ අප මිනිසුන්  වශයෙන්  එකිනෙකා සමඟ සබඳතා පවත්වමින් පරිසරයේ සුන්දරත්වය විඳිමින් ගත කරන  ජීවිතය දෙස බලන විට ය. මේ සියල්ල පසුපස ඇගේ මව වන්නේ සියුමැලි සමක් හෝ නිරහංකාර සිනහවක් හෝ පිරිපුන් දෙනෙතක් හෝ හිමිනැති යකඩින් ම සෑදුණු ගැහැනු හඬකින් සමීප වන රොබෝ නිර්මාණයකි. කතාව එලෙස ගලාගෙන යද්දී, දැරිය දැන්  යෞවනියකි. 

කුමන හෝ හේතුවකින් මිහිතලය මත අවසන් මිනිසාත් මිය ගිය පසුබිමක එම දැරිය බිහි වන්නේ  මිනිසා විසින් ම  නිර්මාණය කරන ලද අති දැවැන්ත පරීක්ෂණාගාරයක් තුළ කළලයක් මගින් ය. කාලයත් සමග මිනිසා පිළිබඳ සියල්ල ම දැන කියා ගන්නා ඇය පෘථිවිය මත ජීවත් වන එකම සජීවියා තමන් බව අවබෝධ කරගනී.  

කෙසේ වෙතත් මේ සියල්ල උඩු යටිකුරු කරන්නේ පරීක්ෂණාගාරයට අහම්බෙන් ඇතුල් වන මීයෙකු නිසාවෙන් ය. යෞවනියගේ ප්‍රශ්න හමුවේ රොබෝ මව ලබාදෙන එකම පිළිතුර වන්නේ පරීක්ෂණාගාරයෙන් පිටත ඇති සියලු දේ විෂ සහිත බවය.  එබැවින් එම මීයා ද විනාශ කර දමයි. 

මීයාගේ විනාශය  දකින ඇය තුළ ඇතිවන කම්පනය සහ දෙගිඩියාව සමඟ පරීක්ෂණාගාරයේ දොරටුව අසල වැඩි වශයෙන් කාලය ගත කරන්නේ තවත් කුමන හෝ පිටස්තරයකුගේ ආගමනයක් බලාපොරොත්තුවෙනි. 

දිනෙන් දින ගතවන කාලය සමඟ මෙතෙක් ප්‍රේක්ෂකයා තුළ ගොඩනගන ලද  විද්‍යාවේ දියුණුව, විද්‍යාවේ වැදගත්කම සහ විද්‍යාවෙන් මිනිසාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ සියලු දේ මත විශාල  ප්‍රශ්නාර්ථයක් මතු කරන්නේ  අහම්බෙන් සිදුවන තවත් ආගමනයක් නිසාවෙන් ය. 

යෞවනිය දකින්නේ ඇයට බොහෝ දුරට සමාන නමුත් වයසින් වැඩි වෙඩි වැදුණු කාන්තාවකි. යෞවනිය දෙවරක් නොසිතා ඇයට උදව් කරන්නේ රොබෝ මවට ද රහසින්ය.  එනම් ගර්භාෂයක් තුළ නොවැඩුන ද මනුෂ්‍ය ගුණදම් විදහා දක්වමිනි. 

කෙසේ වෙතත් කාන්තාව ලබා දෙන තොරතුරු මත යෞවනිය  තුළ රොබෝවරු පිළිබඳ කෝපයක් ඇති වුවද ඇය සියල්ල යටපත් කරගනී.  

විද්‍යාවේ දියුණුව පිළිබඳ ඇති වූ සැකය මදකට දුරුවන්නේ කලින් පැමිණි මීයා අළු කර දැමූව ද රොබෝ මව කාන්තාවට හොඳින් සැලකීම නිසාවෙනි. එනම් මිනිසා නිපදවන ලද කෘත්‍රිම බුද්ධිය  කිසිඳු දිනෙක මිනිස් වර්ගයාට එරෙහි නො‌වේවි යන බලාපොරොත්තුව ප්‍රේක්ෂකයා මත තබමින්ය. 

කාන්තාව තවදුරටත් කරන විස්තර සහ පෙන්වන චිත්‍ර මත සිටින එක්තරා පිරිමි ළමයෙකු දැක ගැනීමේ ආශාවක් හටගනී. එය තවත් සාර්ථක පියවරකි. මානව වර්ගයා බෝ කිරීම වෙනුවෙන් ආදරය වැනි සංකල්පයක අවශ්‍යතාව තහවුරු කරයි. 

මේ සියල්ල අතරේ යෞවනිය දිනෙන් දින පරීක්ෂණවලට මුහුණ දෙයි. මෙම පරීක්ෂණ මඟින්  විද්‍යාඥවරුන් නව කළලය පෘථිවිය මත මිනිසෙකු ලෙස ජීවත් වීමට සුදුසු දැයි පරීක්ෂා කරයි.  සමාජීය දැනුම, මානව ගුණදම් , ආදරය, කරුණාව, තීරණ ගැනීමේ ශක්තිය මැන බලයි.  

රොබෝවරුන් විසින් දැනට ජීවත් ව සිටින මිනිසා  මරා දමන බව කාන්තාව පවසයි. විටෙක තුරන් වී තිබූ ප්‍රශ්නාර්ථය නැවතත් දළුලන්නට පටන් ගනී.  මෙම කතා බහ රහසේ ම දැනගන්නා රොබෝ මව‌ග‌ේ ඊළඟ තීරණය කුමක් වෙයි ද ? යෞවනිය තවදුරටත් රොබෝ මව විශ්වාස කරයි. 

පරීක්ෂණවලින් සමත් වන යෞවනියට ඊළඟට මිල කළ නොහැකි අවස්ථාවක් උදා වේ . එනම් ඇගේ සොහොයුරා තෝරා ගැනීම ය. නැතහොත් සොහොයුරු කළලය තෝරා ගැනීම ය. එය ඉතාමත් සතුටින් සිදු කරන ඇය මල්ලී දැක ගැනීමට නොඉවසිලිමත් ය. 

කතාවේ ඊළඟ නිමේෂය වෙනස් වන්න‌ේ කාන්තාව විසින් සිදු කරන මීළඟ හෙළිදරව්වත් සමඟින් ය.  ඒත් සමඟ ම පරීක්ෂණාගාරයේ සියල්ල පුළුස්සා දමන චිමිනියේ අළු පිරික්සන ඇය දකින්නේ ළදරු අස්ථි කොටස් ය.   ප්‍රේක්ෂකයා මොහොතකට නැවතත් අතරමං වෙයි. කෙසේ වෙතත් ඊළඟ මිනිත්තු කිහිපයේ සියල්ල පැහැදිලි වෙයි. 

එනම් මානවයා යළි ස්ථාපනය  කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක පුරුක මෙම යෞවනිය නොවන බවත් එතෙක් මෙතෙක් මිනිසාගේ නශ්ට වීමේ සිට කතාවේ අද දක්වා මිනිසා ප්‍රතිස්ථාපනය සඳහා ගන්නා ලද උත්සාහයන් දස දහස් ගණනාවක් ව්‍යර්ථ වී ඇති බව ය. එයට තාක්ෂණික, මෙන් ම මානුෂික හේතූන් ද බලපෑම් එල්ල කර ඇත. 

කාන්තාවගේ මීළඟ උත්සාහය යෞවනිය  පිටත සිටිනවා යැයි පවසන පිරිස සමඟ එකතු කිරීම ය. ඒ වෙනුවෙන් කාන්තාව යෞවනිය තුළ රොබෝවරු පිළිබඳ කෝපයක් ඇති කරවයි. තව ද පිටත පරිසරය පිළිබඳ රොබෝවරු පවසන දේ තවදුරටත් සත්‍ය නොවන බව තහවුරු කිරීමට උත්සාහ කරයි.  

යෞවනිය පලායෑම සඳහා තවත් කාලය ඉල්ලා සිටින්නේ තම සහෝදරයා ද රැගෙන යා යුතු බව පවසමින් ය.   කළලය තුළ එක් මිනිසෙකු වෙනුවෙන් තවත් මිනිසෙකු යන මානුෂික හැඟීම් අවදි වී ඇත.  

කෙසේ වෙතත් යෞවනිය සහ කාන්තාවගේ පලායෑම  දැඩි සේ වැළැක්වීමට රොබෝ මව උත්සාහ දරන්නේ මේ වන විට අතිසාර්ථක මට්ටමේ පවතින මෙම පරීක්ෂණ යෞවනිය යම් ‌හෙයකින් විනාශ වුවහොත් තවත් වසර ගණනාවකට මිහිතලය ජනශූන්‍ය විය හැකි බැවිනි.   

පරීක්ෂණාගාරයෙන් අවසානයේ පලායන යෞවනිය පමණක් නොව සමස්ථ ප්‍රේක්ෂකයා ද බාහිර පරිසරය දකින පළමු අවස්ථාව මෙයයි. විශාල දුම්වලින් වැසී තිබුණු බව හැඟවෙන පරිසරයේ කොටසක් ගිනිගෙන අළු බවට පත් වී ඇත. තවත් පසෙක අති දැවැන්ත රොබෝවරු මගින් විශාල බඩ ඉරිඟු වගාවන් සිදු කරමින් පවතී.  එය ද විද්‍යාව විසින් විකෘති වූ පරිසරය ප්‍රකෘති කරමින් ප්‍රතිස්ථාපනය කරමින් මිනිසාට අවශ්‍ය ඔක්සිජන් වායුගෝලයට එකතු  කරයි.  C4 ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය තෝරා ගැනීම මඟින් මනසින් උසස් මිනිසාගේ විද්‍යාවේ තවත් දුර දක්නා තීරණයකි.

කාන්තාව යෞවනියට පවසන ලද සියල්ල ම පාහේ සැබෑ නොවන බව යෞවනිය දැන ගන්නේ තවත් ගැහැනුන් සහ පිරිමින් ඉතිරිව නැති බව දැන ගැනීමෙනි.  ඒ මොහොතේ ම පෙරලා නැවත පරීක්ෂණාගාරය වෙත යෞවනිය පැමිණෙන්නේ දිනක තම සොහොයුරා මවක මෙන් බලාගැනීමට සිදුවන්නේ තමාට බව අවබෝධ වීමෙන් ය.  

මේ සියල්ල අතරේ පලා ආ කාන්තාව සිටිනා බහාලුම් පෙට්ටිය වෙත යන රොබෝ මව විසින් එම කාන්තාවගේ දිවිතොර කරයි.  පෘථිවිය මත මිනිසා විසින් ප්‍රතිස්ථාපනය කරන නව ජාන සංකලනය නැතහොත් නව ජාන කිටුවට පැරණි මිනිස් ජාන සම්මිශ්‍රණය නොවිය යුතු බව අතීතයේ  දිනෙක මිනිසා විසින්ම තීරණය කරන්නට ඇත. 

පෙරළා පැමිණ‌ෙන ඇයට සිහි වන්නේ තවමත් නිර්මාණය වෙමින් පවතින තම සොහොයුරා මෙම නව පරිසරයට අනුචිතයෙක් වුවහොත් ඔහුට ද අළු අතරට එක් වීමට සිදුවන බවය.  මේ හේතුවෙන් දැඩි උත්සාහයකින් පසු රොබෝ මව විනාශ කරන ඇය, කෘතිම කළලයේ සාර්ථකත්වය  විදහා දක්වයි. පරීක්ෂක මිනිසා විසින් කෘතිම රොබෝ අභිබවා මිනිසා තෝරාගැනීම මානව ප්‍රතිස්ථාපනයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. 

 ඉන්පසු  යෞවනිය සහෝදරයා මෙන් ම  තවත් කළල දස දහස් ගණනකට මව වෙමින් මානවයා යළි ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ නියමුවරිය බවට පත්වන්නේ මානව ඉතිහාසයේ අවසානයක් නොවන්නට..

පුරා දෙපැයක ආසන්න කාලයක් දිග හැරෙන මෙම චිත්‍රපටය වර්තමානයේ ප්‍රබන්ධයක් ලෙස ප්‍රේක්ෂකයා වෙත සමීප වුව ද , තවත් වසර දහස් ගණනකින් , මිලියන ගණනකින් හෝ ඊටත් වැඩි කාලයකින් සැබෑවක් වීමට ඉඩකඩ ඇත.

අහම්බෙන් හෝ මිනිසා හේතුවෙන් ම හෝ දිනෙක මිනිසා මිහිතලයෙන් නශ්ට වීම වැළැක්වීම පිණිස විද්‍යාව තවදුරටත් මිනිසා ඇතුළු සමස්ත විශ්වය වෙනුවෙන් ම අද මෙන් ම හෙටත් දියුණු වෙමින් පවති..

Written by: Vishmina Obeysekara

Image Links : 

https://bit.ly/3EIjJvM  

https://bit.ly/3GKiuy1

https://amzn.to/3bzEmOk

https://bit.ly/31lUT6B

https://bit.ly/3GJRkHD

 
Tagged : /