උක් වත්තක් මැද අබිරහස - චෝරී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 4, 2021

උක් වත්තක් මැද අබිරහස - චෝරී

එකම සිනමාකරුවකුට තමන්ගේ ප්‍රියතම සිනමා නිර්මාණය දෙපාරක් හෝ තුන්පාරක් යළි නිර්මාණය කිරීමට ලැබෙන්නේ ඉන්දීය සිනමාවේ පමණි. ඉන්දීය සිනමාකරු විෂාල් ෆුරියාට ද එවැනි අවස්ථාවක් ලැබී තිබේ. පසුගිය නොවැම්බර් 26 වැනිදා එළිදැක්වුණු, මේ වනවිට Amazon Prime Video හරහා නැරඹිය හැකි 'චොරි' Chhorii එම චිත්‍රපටයයි.

Chhorii යන්නෙහි අර්ථය කෙල්ල, දැරිය යන්නයි. මෙය හින්දි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ප්‍රති නිර්මාණය වී ඇත්තේ 2017 වසරේ දී විෂාල් ෆුරියා මරාති බසින් නිර්මාණය කරනු ලැබූ 'ලපච්චාපී' Lapachhapi (හැංගි මුත්තං) චිත්‍රපටයයි. 

Lapachhapi දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වුණු විචාරක පැසැසුමට ලක් වුණු චිත්‍රපටයක් වෙයි. එම චිත්‍රපටය සම්බන්ධයෙන් පළවුණු අදහස් සැලකිල්ලට ගනිමින්, ඊටත් වඩා අපූරු ආකාරයට 'චොරි' Chhorii නිර්මාණය කිරීමට විෂාල් ෆුරියා උත්සාහ ගෙන තිබේ. Lapachhapi සහ Chhorii අයත් වන්නේ ත්‍රාසය සහ භීතිය පිරුණු horror චිත්‍රපට අතරය. 
ඉන්දීය සිනමාව අතීතයේ horror චිත්‍රපට අතින් පසුගාමී තත්ත්වයක පසුවිය. Horror චිත්‍රපට බොක්ස් ඔෆිස් චිත්‍රපට නොවිණි. ඒ අනුව, horror චිත්‍රපට ලෙස අතීතයේ නිර්මාණය වූ ඉන්දීය චිත්‍රපට බෙහොමයක් ප්‍රහසන චිත්‍රපට විය. පසුකාලීනව මෙය වෙනස් විය. ඒ, දක්ෂ නිර්මාණකරුවන්, ඔවුන්ට ආවේණික ආකාරයට වෙනස් සහ අපූරු ලෙස horror චිත්‍රපට නිර්මාණයයි. 

හොලිවුඩ් සිනමාවේ ද horror චිත්‍රපට බොක්ස් ඔෆිස් චිත්‍රපට බවට පරිවර්තනය වූයේ 2002 වසරේ ගෝර් වර්බින්ස්කී අධ්‍යක්ෂණය කළ 'ද රිංග්' The Ring චිත්‍රපටය තිරගත වීමත් සමඟින් යැයි බොහෝ විචාරකයන්ගේ අදහස වෙයි.

'රිංග්' Ring යනු ජපාන සිනමාකරු හිඩියෝ නකාටා 1998 දී නිර්මාණය කළ 'රිංගු' චිත්‍රපටයේ හොලිවුඩ් ආගමනයයි. ඉතාමත් සාර්ථක horror චිත්‍රපටයක් ලෙස විචාරන පැසැසුමට ලක් වූ චිත්‍රපටයක් වන්නේ 'රිංගු' ය. විචාරක පැසැසුමත්, නරඹන්නන්ගේ ආදරයත් දිනා ගනිමින් Box Office චිත්‍රපටයක් වූයේ 'ද රිංග්' The Ring ය‍.

විෂාල් ෆුරියා, 'ලපච්චාපී' Lapachhapi නිර්මාණය කළේ horror චිත්‍රපටයක් ලෙසය. එම කතාව තවත් නරඹන්නට සමීප කරමින් ඔහු Chhorii නිර්මාණය කර ඇත්තේ එහි ප්‍රධාන චරිතය වඩාත් ශක්තිමත් තැනැත්තියක බවට පත් කරමින් යැයි විචාරකයන්ගේ අදහසය. 
Chhorii සහ Lapachhap චිත්‍රපට සඳහා නිර්මාණය වුණු පෝස්ටර්

Chhorii චිත්‍රපටය horror චිත්‍රපටයක් පමණක් නොව, එය අබිරහස් චිත්‍රපටයක් ද වෙයි. චිත්‍රපටය තුළ කුතුහලය කැටිව ඇති අතර, අවසානයේ අබිරහසක් අනාවරණය වෙයි. Lapachhap සේම, Chhorii චිත්‍රපටය ද ගෙතන්නේ උක් ගොවිපොලක් වටාය. උක් ගොවිපොල මැද පාළු මූසල නිවස, ළිඳ සහ පඹයා ආදිය නරඹන්න්ගේ සිත් තිගැස්සීමට ලක් කරන පාරිසරික සාධක වෙයි.

Chhorii චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ මාස 8 ක ගැබිනියක වන සක්ෂි ය. සක්ෂිගේ චරිතයට පණ පොවන්නේ හින්දි සිනමා නිර්මාණ බොහොමයක දකින්න ලැබෙන සුරූපිනියකි. ඇය නුෂ්රාත් බරූචා ය. නුෂ්රාත්, සක්ෂිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරයි. අඩුත් නැතිව වැඩිත් නැතිව හැඟීම් නිරූපණය කිරීමට ඇය සමත් වී ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ.
Chhorii චිත්‍රපටයේ කතාවට තේමා වන්නේ සක්ෂි සහ හෙම්මත් නමැති තරුණ විවාහක යුවළ ය. සක්ෂි NGO ආයතනයකට සම්බන්ධ රැකියාවක් කරයි. මාපිය සෙනෙහස අහිමි වුණු දරු දැරියන්ට සෙනෙහස දක්වයි. මුදල් ණයට ලබාගෙන එම මුදල් වෙලාවට නොදුන් නිසා හෙම්මත් අමාරුවේ වැටෙයි. 

මැරයන් නිවසටම පැමිණ ඔහුට පහර දෙයි. ටික කාලයක් තමන්ගේ ගමට ගොස් නිහඩව ජීවත් වෙමු යැයි මෙම යුවළගේ රියදුරා යෝජනා කරයි. ඒ අනුව, සක්ෂි සහ හෙම්මත් නගරයෙන් පිටවී, කිලෝ මීටර් 300 ක් දුර, හුදෙකලා වුණු උක් ගොවිපොලක, පාළු නිවසක පදිංචියට යති. පාළු නිවසේ දී සක්ෂි මෙන්ම බිහිසුණු අසාමාන්‍ය අත්දැකීම් රැසකට මුහුණ දෙයි. ඇයට හොල්මනක් කරදර කරයි.  තමන් දැන සිටි සියල්ල බොරු බව ඇයට අවබෝධ වෙයි.

චිත්‍රපටයේ පළමු විනාඩි 15 ක කාලය වෙන් වන්නේ මෙම සිදුවීම් හරහා සක්ෂිගේ චරිතය අපූරු ලෙස ගොඩනගමිනි. ඇය කෙතරම් ධෛර්යවන්ත තැනැත්තියක දැයි නරඹන්න්ට ඒත්තු ගැන්වීමක් සිදුවෙයි.  චිත්‍රපටය අවසන් වෙද්දී, සිත් කම්පා කරවන අපරාධයක සුලමුල හෙලිවෙයි. අබිරහස් එකිනෙක විසඳීම සිදුවෙයි. ඒ, නරඹන්නන් මවිතයට පත් කරමිනි. සිදුවී ඇති අසාධාරණයට එරෙහිව සක්ෂි ධෛර්යයෙන් මුහුණ දෙයි.
නුෂ්රාත් බරූචා අධ්‍යක්ෂ විෂාල් ෆුරියා සමඟ

නුෂ්රාත් බරූචා Chhorii චිත්‍රපටයේ කරන රංගනය සම්බන්ධයෙන් විචාරක පැසැසුම් ලැබී තිබේ. සිනමාහල්වල තිරගත නොවී Amazon Prime Video හරහා නැරැඹීමට හැකිවීමත් සමඟ අන්තර් ජාතික වශයෙන් ද Chhorii චිත්‍රපටයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. 

චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූයේ 2020 නොවැම්බර් 25 වැනිදාය. දෙසැම්බර් 25 වැනිදා වනවිට මූලික රූගත කිරීම් සියල්ල අවසන් වී තිබුණි. චිත්‍රපටයේ හඩ කැවීම් කටයුතු පසුගිය ජූනි මාසයේ ආරම්භ විය.

36 හැවිරිදි නුෂ්රාත් බරූචා හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියක බවට වූයේ Pyaar Ka Punchnama (2011) චිත්‍රපටයෙනි. මෙය සාර්ථක වාණිජමය චිත්‍රපටයක් විය. 
Pyaar Ka Punchnama 2 (2015), Sonu Ke Titu Ki Sweety (2018), Dream Girl (2019) සහ Chhalaang (2020) නුෂ්රාත්ගේ රංගනය දැකිය හැකි සෙසු බොලිවුඩ් සිනමා නිර්මාණය. නුෂ්රාත් බරූචා උපන්නේ මුම්බායි (එදා බොම්බේ) නගරයේය. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. මව ගෘහනියකි. පවුලේ එකම දරුවා නුෂ්රාත් ය. 

සිනමාවට පිවිසීමට පෙර 2002 දී නුෂ්රාත් බරූචා පුංචි තිරය ජය ගත්තාය. ඒ, Kittie Party රූපවාහිනී කතා මාලාව හරහාය. 2006 වසරේ Jai Santoshi Maa චිත්‍රපටයෙන් ඇය සිනමාවට පිවිසියාය. 

Chhorii චිත්‍රපටය තමන්ට සැබැවින්ම අපූරු අත්දැකීමක් බව නුෂ්රාත් පැහැදිලි කරයි. මාස 8 ක ගැබිනියක ලෙස එම චරිතය සාර්ථකව ඉදිරිපත් කිරීමට රූගත කිරීම්වලට දින 25 කට පෙර සිට, ගැබිනියක ආකාරය පෙන්නුම් කරන විශේෂ Pregnant Bodysuit ඇඳුමක් සැරැසී සිටීමට තමන්ට සිදුවුණු බව ද නුෂ්රාත් පෙන්වා දෙයි. 

Chhorii චිත්‍රපටයේ තේමාව ඉන්දියාවේ දැරියන්ට, කාන්තාවන්ට සහ නූපන් බිලිඳියන්ට සිදුවන අසාධාරණයයි. නූගත් ගෝත්‍රික අදහස් ඇති ජනතාවගේ අන්ධ විශ්වාසයන් හමුවේ කාන්තාවන්ට දැරියන්ට සිදුවන ලිංගික හිංසනයයි. පීඩනයයි. තමන් Chhorii  චිත්‍රපටයට සම්බන්ධ වූයේ ද අසාධාරණයට පත් වන කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් ශක්තියක් වීමට යැයි ද නුෂ්රාත් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom