සිංහල අකුරේ අනාගතය - සක්මඬල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 30, 2021

සිංහල අකුරේ අනාගතය - සක්මඬල

අප ජීවත් වන ලෝකය තවත් වසර දාහකින් පමණ කෙබඳු වේවිද? තව වසර දාහක් ගත වෙද්දී අප භාවිතා කරන අක්ෂර කුමනාකාරයක හැඩයක් වේවිද? සිංහල අක්ෂර තවත් වසර දාහකින් මේ ආකාරයට විය හැකි යැයි පරිකල්පනය කර ‘සක්මඬල’ නමින් යතුරු ලියනයක් නිර්මාණය කළ නිර්මාණකාරිණිය ඇයයි. ඇය සමදරා ගිණිගේ. මේ කතාබහ ඇය සමගිනි.

‘සක්මඬල’ යතුරු ලියනය පිළිබඳව හඳුන්වා දුන්නොත්? 
 සක් මඬල කියන්නේ ජ්‍යාමිතික යතුරු ලියනයක්. එහෙම නැත්නම් ෆොන්ට් එකක්. සක්මඬල පරිකල්පනීයව නිර්මාණය කළ අක්ෂර වර්ගයක්. මේක සාමාන්‍යයෙන් අපි භාවිතා කරන අකුරු වර්ගයක් නෙවෙයි. මේ වෙද්දි අපි භාවිතා කරන සියළු ෆොන්ට් වර්ග හැදිලා තියෙන්නේ අද කාලේ භාවිතයටනේ. අපි ගත්තොත් බ්‍රාහ්මීය අක්ෂර මීට සෑහෙන කාලේකට කලින් නිර්මාණය වෙලා අද වෙද්දි එක එක හේතූන් මත ඒවා භාවිතයෙන් ඉවත් වෙලා තිබෙනවානේ. නමුත් අපි අද භාවිතා කරන අක්ෂරවලින් ඒ බ්‍රාහ්මීය අක්ෂරවල ඇතැම් හැඩතල පේනවානේ. මම හිතුවා තව අවුරුදු දාහකින් එහා සිංහල අක්ෂර මොන විදිහේ හැඩයක් වේවිද කියලා. ඒ සිතුවිල්ලත් එක්ක තමයි මම සක්මඬල ෆොන්ට් එක නිර්මාණය කරන්නේ. 

දැන් මේ සිදුවී ගෙන යන දේවල්වලින් තව අවුරුදු දාහක් වෙද්දි ලෝක විනාශ වෙනවා කියලා මතයක් තිබෙනවානේ. ඊටපස්සේ පිටසක්වල ජීවියෝ ලෝකය ආක්‍රමණය කරනවා කියලා මතයන් තිබෙනවානේ. අපි දන්නේ නැහැ ඇත්තටම එහෙම වේවිද කියලා. අපි හිතමු තව අවුරුදු දාහක් යද්දි ලෝකය විනාශ වෙලා පිටසක්වල ජීවියෝ ලෝකෙට ගොඩ බැස්සා කියලා. ඒ ගොල්ලෝ ලංකාවට ආවොත් මොන විදිහටද අපේ අකුරු දකින්නේ. ඒගොල්ලෝ අපේ අකුරු මොන වගේද අපේ අකුරු තේරුම් ගන්නේ කියන දේ එක්ක තමයි මම මේ සක්මඬල අක්ෂර සංකල්පය මගේ ඔළුවට ආවේ. 

සක්මඬල අක්ෂර නිර්මාණය කිරීමට පෙර සිදු කළ පර්යේෂණයන් හෝ අධ්‍යනයන් තිබෙනවාද? 
මම මුලදි එහෙම පර්යේෂණ කිසිවක් කළේ නැහැ. මේක මගේ සිතුවිල්ල මතම නිර්මාණය වූවක්. ලෝකය ඉස්සරහට යද්දි හැමදේම තවත් සරල කරගෙනනේ යන්නේ. ඇඳුම් පැළඳුම්, නිවාස මේ සියළු දේම තව තවත් සරල වීමක් සිදුවනවානේ ඉස්සරහට. එතකොට මම හිතුවා අක්ෂර කොහොමද තවදුරටත් සරල කරන්නේ කියලා. අපි ඉස්සරහට අතින් ලිවීම අඩුවෙලා ඩිජිටල්කරණයෙන් ලිවීම සිදුවුණොත් කොහොමද අක්ෂර තවත් සරල වෙන්නේ, වර්තමානයේදී අපි භාවිතා කරන අකුරක මොන විශේෂාංග අඩු කළාමද අකුරට හානියක් නොවී ඒක සරල කරන්න පුළුවන් කියන කාරණා ගැන මම හිතුවා. අනාගතයේදී දැන් තිබෙන අකුරු වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි දැන් තිබෙන අකුරේ මූලික හැඩතලය තිබෙන්නත් ඕනේනේ. ඒක නිසා මම මුලදි පර්යේෂණයන් කළේ නැහැ. භාෂාවක ලිවීම සහ උච්චාරණය දෙකම තිබෙනවානේ. මේ ෆොන්ට් එක හදද්දි මම වාග් පැත්ත පිළිබඳව හිතුවේ නැහැ. ලේඛනය පිළිබඳව හිතුවේ. හැබැයි මේකේ වාග් කොටසකුත් තිබෙනවා. අපේ සමහර ශබ්දවලට වෙනම වෙන්වුණු අකුරු අපි භාවිතා කරන හෝඩියේ නැහැ. උදාහරණයක් විදිහට ‘සංවෘත’, ‘විවෘත’ වැනි වචනවලදී අපි එකම අකුරු භාවිතා කරන්නේ. ඒ වගේ අවස්ථාවලදි මට සිදුවුණා අළුතෙන් යම් යම් කොටස් එකතු කරන්න. ඒ සඳහා මට පර්යේෂණ කරන්න සිදුවුණා. ඔය සංවෘත විවෘත ගැටළුව ගැන මහාචාර්ය ජේ.බී දිසානායක සූරීන් පවා පර්යේෂණ කරලා තිබුණා. මම ඒ පර්යේෂණ හොයාගත්තා. එතුමාත් ඇත්තටම සංවෘත කියන වචනයේ අකුරුවලට පිල්ලමක් හඳුන්වලා දීලා තිබෙනවා අපි භාවිතා නොකළාට. 

ලේඛනයේදී අප භාවිතා කරන සෑම අකුරක්ම සක්මඬලේ අන්තර්ගතද? 
ඔව්. තිබෙනවා. 

සක්මඬලේ අකුරු නිර්මාණය වන්නේ වෘත්තයක හැඩයක් සමග. නම නිර්මාණය වන්නේත් ඒ හරහා. ඇයි වෘත්තයක හැඩය මේ සඳහා යොදාගෙන තිබෙන්නේ? 
අපේ අක්ෂර කොහොමත් රවුම් කියලා කියනවානේ. අපේ අකුරු හරි ලස්සන නිර්මාණශීලී අකුරක්නේ. ලෝකේ තිබෙන ලස්සනම අකුරුවලින් එකක් විදිහට අපේ අකුරු හඳුන්වනවානේ. මට හිතුණා අපි මේ රවුමට ලියවෙන අකුරු සම්පූර්ණයෙන්ම රවුම් කරන්න. දැනටත් අපි භාවිතා කරන ‘ම’ වෘත්තාකාරයි. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ ලෝක ස්වභාවයම වෘත්තාර හැඩයකනේ ගමන් කරන්නේ. අපි ඉපදෙනවා මැරෙනවා, උදේ වෙනවා රෑ වෙනවා මේ හැමදෙයක්ම වෘත්තාකාරයිනේ. ඒ නිසා මට හිතුණා වෘත්තය තමයි මෙතනත් ප්‍රධාන හැඩය විය යුත්තේ කියලා. අකුරුවල මූලික හැඩය මතු කරගන්න මම ‘අරය එක සමානව කොටස් අටකට බෙදුණු’ වෘත්තයක් පාවිච්චි කළා. ඒක නිකන් හරියට කරත්ත රෝදයක් වගේ. ඒ ඉරි අටෙන් තමයි මම මේ අකුරු නිර්මාණය කරලා තිබෙන්නේ. 

සක්මඬලේ අකුරු දැකපු ගමන් ඒ අකුර මොකද්ද කියලා හඳුනාගන්න පුළුවන් කියලා බොහෝ දෙනා පවසනවා. ඒක සිදුවෙන්නේ කොහොමද? 
අපේ මනස දේවල් හඳුනාගන්න හැඩයෙන්. අකුරු වුණත් එහෙමයි. වචනයක් හඳුනාගන්නේ හැඩයෙන්. උදාහරණය් විදිහට ගත්තොත් ‘ක’,‘න’,‘ත’ අකුරු තුනේම හැඩය එක සමානයිනේ. පොඩි පොඩි වෙනස්කම්වලින් තමයි ඒවා වෙනස් වෙලා තිබෙන්නේ. හැබැයි අපි ඒ අකුරු තුන ඉක්මනට හඳුනාගන්නවානේ. ඒ කියන්නේ අපේ මනස අනවශ්‍ය දේවල් බැහැර කරලා අවශ්‍ය දේ ඉක්මනින් හඳුනාගන්නවා කියන එකනේ. අකුර හඳුනාගන්නම විශේෂ ලක්ෂණයක් තිබෙනවානේ. මම ඒවා විතරක්ම භාවිතා කරලා අකුරු ටික හැදුවා. 

අපි දැන් ඔබ පැත්තට හරිලා, ඔබේ වෘත්තීය ගැන කතා කළොත්? 
මම වෘත්තීයෙන් ලාංඡන (logo) නිර්මාණ ශිල්පිනියක්. ලංඡනයක් නිර්මාණය කරද්දි ඒ ආයතනයේ නමත් අදාළයි. නම අදාළයි කියන්නේ අකුරුත් අදාළයි. ලාංඡන නිර්මාණයට මම පිවිසුණාට පස්සේ තමයි මම අකුරු පිළිබඳව හොයන්න, අධ්‍යනය කරන්න පටන්ගත්තේ. ලාංඡන නිර්මාණය පිළිබඳව මම ඉගෙනගෙන නැහැ. මම මුලින්ම කළේ මෘදුකාංග නිර්මාණය. ඒ වෘත්තීයේදී මගේ සේවාදායකයෙකුගේ වෙබ් අඩවියක් නිර්මාණය කර කර ඉද්දි ඔහු කිව්වා ඒකට නිල ලාංඡනයකුත් නිර්මාණය කරන්න කියලා. ඒ වෙද්දි මම ලාංඡන නිර්මාණය කරලා තිබුණේ නැහැ. ඉතින් මම ඒ ගැන හොයලා, වීඩියෝ බලලා එයාට ලාංඡන තුනක් නිර්මාණය කරලා දුන්නා. එයින් එකක් ඔහු තෝරාගත්තා. ඒක තවමත් ඔහුගේ ආයතනයේ භාවිතා කරනවා. එතනින් පස්සේ තමයි මම ලාංඡන නිර්මාණකරණයට පිවිසෙන්නේ. ඊටපස්සේ තමයි මම අක්ෂර සමග නිර්මාණ හදන්න පෙළඹෙන්නේ. 

සිංහල අකුරු සමග කොපමණ නිර්මාණශීලී වැඩ කරන්න පුළුවන්ද?
Typography ක්ෂේත්‍රය පැත්තෙන් සිංහල අකුර හරියට භාවිතා කරලා නැහැ කියලා මම හිතනවා. ඇත්තම කිව්වොත් මමත් සිංහල අකුරෙන් Typography නිර්මාණ කරලා තිබෙනවා බොහෝම අඩුයි. සිංහල අකුරු කියන්නේ ලස්සන නිර්මාණශීලී අකුරක්. අපි දැකලා තිබෙනවා ඉංග්‍රිසි අකුරු ඩිජිටල් නිර්මාණවලදි විවිධ හැඩ ඔස්සේ නිර්මාණය වෙලා තිබෙනවා. මම සක්මඬල තුළින් කියන්න උත්සාහ කරනවා සිංහල අකුරුත් ඊට දෙවෙනි නැහැ කියලාත්. අපිට සිංහල අකුරුවලින් අනන්තවත් දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි අකුරු එක්ක පර්යේෂණ නිර්මාණ කරනවා මදි. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් අපේ සමාජයෙන් මොන වගේ ප්‍රතිචාරයක් එල්ල වෙයිද කියලා. මොකද අපේ සිංහල අකුරු අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තිබෙනවානේ. ඒ බය නිසාත් වෙන්න පුළුවන්. 

ඔබට ලාංඡන නිර්මාණකරණයෙන් සම්මාන ලැබී තිබෙනවා. ඒ ගැන කිව්වොත්? 
ඔව්. මට සම්මාන කිහිපයක්ම ලැබී තිබෙනවා. මම මුලින්ම සම්මානයක් දිනාගත්තේ 2014 දි Design Award එක. ඒ සඳහා මම අයදුම් කළේ මගේ පෞද්ගලික ලෝගෝ එක. ඒ වගේම Logo Wave Award 2016, A' Design Award 2017 වැනිසම්මාන මම දිනා තිබෙනවා. මේ වසරේදී මට වෙනස් දෙයකට සම්බන්ධ වෙන්න ලැබුණා. මම ජූරි සභිකයෙක් විදිහට සම්බන්ධ වෙලා තිබෙනවා නිව්යෝර්ක්වල තිබෙන young guts තරඟාවලියට. 

෴ කැළුම් දේවින්ද
උපුටා ගැනීම - සාරවිට

Classified_Ad

Classified_Ad_News_Bottom