අරුණි ශපීරෝ‍ වෙතින්

මාක්ස්වාදය-දර්ශනය සහ අර්ථ ශාස්ත්‍රය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 28, 2021

මාක්ස්වාදය කුමක්දැයි කියා නොදැන එය පිළිගන්නා අය සහ ප්‍රතික්ෂේප කරන අය ලොව බහුල වෙති. ඉතාමත් අවුල් සහගත වූ දර්ශනයක් සහ අර්ථ ශාස්ත්‍රයක් කාල් මාක්ස් ඉදිරිපත් කළ නිසා ඒ ගැන කාලයක් කැපකරමින් එය හදාරන ලද්දවුන් එදත් අදත් ලොව විරල වෙති.

ලොවට ඉදිරිපත් කළ පසුව වැඩිකල් නොයා එය උගතුන් අතර ප්‍රතික්ෂේපයට පත්විය. දර්ශනයක් හැටියටත්, අර්ථ ශාස්ත්‍රයක් හැටියටත් එය විචාරාත්මකව පැහැදිලි කරමින් දෝෂ සියල්ල විද්‍යාර්ථී ලෙසකින් පහදන ලද්දේ ඉයුජින් වොන් බොම් බ්‍රැවෙක් සහ ලුඩ්විග් මීසස් යනාදීන් විසිනි. සමාජ ප්‍රතිපත්තීන් හැටියට ක්‍රියාත්මක කරන්නට ගිය දේශයන්හි සිද්ධ වූ මහා ඛේදවාචකයන් ගැන අදත් අපිට අහන්නට ලැබෙන්නේ ස්වල්පයක් පමණකි. මඟ පෙන්වීමට කෙනෙක් නැති නිසා වර්තමානයේ ද ඇත්ත නැත්ත තෝරාගන්නට නොහැකිව අතරමං වූවන් බොහොමයකි.

ඉතින් වෙනත් තැන්වලින් කියවන්නට නොලැබෙන දේ සිංහලෙන් කියවන්නා වෙත ගෙනෙන මගේ වෑයම මෙසේ මෙවර මාක්ස්වාදී දර්ශනය සහ අර්ථ ශාස්ත්‍රය ගැන යොමු කරන්නෙමි. ඉදිරියේ දී එකතු කරන සටහන් පෙළ කියවා, තමන් විසින්ම ඒ ගැන වැඩිදුර කල්පනා කරන්න යැයි ඔබට ආරාධනා කරමි.

කාල්මාක්ස් ඉදිරිපත් කළ අදහස්වල අපට ඩෙමොක්‍රේටස් (Democritus), එපිකියුරස්, ලුක්‍රේෂස් (Lucretius) වැනි ආදී කාලීන ග්‍රීක දාර්ශනිකයන් ද, ක්ලෝඩ් ඒඩ්‍රියන් හෙල්වේෂියස් (Helvétius), හොල්බැක් (Holbach) සහ තරුණ මාක්ස්ගේ කාලයේ ජීවත් වූ ෆොයර්බාක් (Feuerbach) යනාදීන්ගේ ඉදිරිපත් කිරීම් ද දැකිය හැකියි. මාක්ස් වැඩියෙන්ම ආභාෂයක් ලද්දේ කාගෙන්දැයි කෙනෙක් තීරණය කරන්නේ ද, ඒ තැනැත්තා ජෝර්ජ් විලියම් ෆ්‍රීඩ්රික් හේගල් බව කිව හැකියි.

දාස් කපිතාල් ලියද්දී කාල් මාක්ස් බෙහෙවින් යොදාගන්නේ ඩේවිඩ් රිකාඩෝ හසුරවන ලද පද වහර වෙයි. රිකාඩෝ මෙන්ම, ධනවාදය යන වචනය මෙන්ම ආර්ථිකයක නිෂ්පාදන සම්පත් අතර ප්‍රාග්ධනය යන සාධකය වෙනුවෙන් වැඩිපුර ලෙසකින් විශේෂ අවධානයක් යොමු නොකළ ඇඩම් ස්මිත් ද කාල් මාක්ස්ගේ විවේචනයට භාජනය විය.

තමන්ට කලින් සිටි අය සහ තම සමකාලීනයෙක් වූ ෆොයර්බාක් වෙතින් උකහාගත් දේ කාල් මාක්ස් වෙනස් ලෙසින් ඉදිරිපත් කළේය. එසේම ඉහත සඳහන් කළ අනිකුත් පුද්ගලයන්ගේ ද ආභාෂය ඔහු ලද්දා යැයි කියන්නට හැකිදැයි ඒ නිසා සැකයක් හට ගනියි. තවත් විදියකින් කිව්වොත්, කාල් මාක්ස් ඔවුන්ගේ දර්ශන සහ ඉදිරිපත් කිරීම් අවබෝධයට උත්සාහ කළා ද නැත්නම් ඒවා තමනට රිසි පරිද්දෙන් වෙනස් කරන්නට පමණක් වෙහෙසුණාදැයි කියා සැක කළ හැකියි. සමහර විට කාල් මාක්ස්ගේ ලියැවිලි එතරම් අවුල් සහගත වූයේ ඒ හේතුව නිසා යැයි ද සලකන්නට පුළුවනි.

මාක්ස් ලියන ලද දේ බොහෝ විට සංස්කරණය වෙන ලද්දේ මාක්ස්ගේ ජීවිතයේ දීර්ඝ කාලීනව සිටි එකම හිතවතා වූ ෆ්‍රීඩ්රික් ඒංගල්ස් වෙතිනි. ඔවුන් දෙදෙනා දශක හතරක් පුරා එකතුව ලිවීමේ යෙදෙන ලදහ. නිතර ලියුම් හුවමාරු කරගත්හ. දෙදෙනාම සමහර ලියැවිලි මුළුමනින්ම හෝ කොටස් වශයෙන් අනෙකාගේ නමින් ලියා ඇත. ඒ නිසා ඔවුන් දෙදෙනාගේ ලියැවිලි පැහැදිලිව බෙදීම දුෂ්කර වේ. ඒංගල්ස් හරියට මාක්ස්ගේ අදහස් වටහා ගත්තේ නැතැයි කියන විද්‍යාර්ථීන් පිරිසක් ද සිටිති. ඒත් ඒංගල්ස් ලියන ලද දෑ බැහැර කරන්නේ නම් මාක්ස්ගේ අදහස් පැහැදිලි කරගන්නට දැඩි සේ අසීරුයි.

ඔවුන් දෙදෙනාගේ ලිවීම බොහෝ දුරට එවක පැවති න්‍යායන් විවේචනය කිරීමට යොමු වී තිබිණ. ඔවුන් විවේචනය කරන ලද ඒ අනෙක් අයගේ දර්ශන ලොවෙන් සදහටම තුරන් වී ගියේ නැත. එහෙත් පසුකාලීන ලේඛකයන් බොහොමයක් මාක්ස් සහ ඒංගල්ස් විසින් විවේචනය කළ ඒ මුල් කෘති ගැන සොයා බලන්නට වෙහෙසක් නොගත්හ. ඒ නිසාම මාක්ස්ගේ සහ ඒංගල්ස්ගේ තර්කයන් නිවැරදි දැයි කියා අවබෝධයට සමත් නොවූහ.

ජෝසෆ් ඒ. ෂුම්පිටර් ඔහුගේ ආර්ථික විශ්ලේෂණයේ ඉතිහාසය (History of Economic Analysis) කෘතියේ අගැයුම (value) යන වචනයේ අර්ථය මාක්ස්ට පෙර වූ ජෝන් ස්ටුවර්ට් මිල් අර්ථ දක්වන ලද ආකාරය කාල් මාක්ස් විසින් වෙනස් කර දක්වන ලද අන්දම ගැන උදාහරණයක් හැටියට දක්වා ඇත. ඉතින් අගැයුම පිළිබඳව මිල් ලියන ලද අදහස් නොකියවන ලද අය මාක්ස්ගේ අගැයුම පිළිබඳ අදහස් බාරගන්නේ නිසි විචාරයෙන් තොරවයි.

මාක්ස්වාදය හදාරන අයෙක් දාස් කපිතාල් හි වෙළුම් තුන සහ Theorien über den Mehrwert හි වෙළුම් තුන සම්පූර්ණයෙන්ම කියැවිය යුතු බවත්, එසේම රිකාඩෝ සහ හේගල් හදාරා තිබිය යුතු බවත් ෂුම්පිටර් කියයි. ලංකාවේ අයට මෑතක දී ලැබුණත් වෙනත් බොහෝ රටවල ජනතාව ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය කියවා ඇත. එසේම අද මැදිවියේ පසුවන සාමාන්‍ය වැසියන් මෙන්ම අර්ථ ශාස්ත්‍රය සහ සමාජවිද්‍යාවන් හදාරන අයත් රොබට් මැල්තස් 1798 දී ලියූ ජනගහනය පිළිබඳ රචනාව (Essay on Population) සහ කාල් මෙන්ගර් 1871 දී ඉදිරිපත් කළ මූලධර්ම (Grundsätze) යනාදිය ගැන අවබෝධයකින් යුතුයි. ඒ දැනුම වර්තමානයේ ඇමෙරිකන් මහජන පාසැල්වලින් ද හිමිහිට අයින් කරමින් පවතී.

කෙසේ නමුදු මාක්ස්වාදය වටහාගැනීම අපහසු නැත. හිතට සතුටක් ගෙනෙන වචන සෙට් එකකින් මාක්ස්වාදය දායාද වූ සිංහල කියවන්නාට මේ වෙද්දී මේ බ්ලොග් එකෙන් ඇඩම් ස්මිත් සහ ලුඩ්විග් මීසස් යනාදීන් ඉදිරිපත් කළ අදහස් සම්බන්ධයෙන් යම් තරමකට නිර්බාධ වෙළඳපොල සහ ලිබටේරියන්වාදය ගැන පසුබිමක් ලැබී ඇති නිසා අපිට මේ කාර්යයට පිවිසීමට දැන් හැකි යැයි මම සිතමි.

2 Responses

Subscribe to comments with RSS.

  1. Sarath Perera said, on නොවැම්බර් 29, 2021 at 9:42 ප.ව.

    I always find your posts useful .Thank you.


ප්‍රතිචාරයක් ලබාදෙන්න