ඇය අම්මා නම් විය…

Share

“හෙලෝ සචින්, ඔයා කොහෙද ඉන්නෙ?”

“මං මේ ඔයාලාගෙ ගෙදර ළඟ ඉන්නෙ. ඉක්මනට එන්න පරක්කු වෙනවා.”

“හරි හරි මේ එනවා.”

තවත් වරක් කණ්ණාඩියෙන් මුහුණ බලා පුයර ටිකක් ගල්වාගෙන මම වටයක් කැරකී බැලුවෙමි. කියන්න තරම් නම් අඩුපාඩුවක් නෑ. මා වඩාත් ප්‍රිය කරන නිල් මල් වැටුණු අත් දිග බ්ලවුසයත් කළු කලිසමත් හැඳගෙන හෑන්ඩ් බෑගයත් සෙරෙප්පු යුගලත් අතින් ගෙන හනික කාමරයෙන් එළියට ආවෙමි.

අම්මා තවමත් කුස්සියේ වැඩ ය. මා හීන් සීරුවේ ඇය ව මග හැර යාමට තැත් කරද්දී ම ඇගේ කටහඬ මට ඇසිණි.

“චූටී, දැන් ද ඇඳගෙන ඉවර වුණේ? බලන්නකො ළමයෝ තාම තේක බීලත් නෑනෙ. කෑම එකක් ඔතල දෙන්න ද ගෙනියන්න?”

“ඕනෙ නෑ අම්මා… අද ඔෆිස් එකෙන් ලන්ච් හම්බෙනව නෙ… මට පරක්කු වෙනව මං යනවා”

“දරුවෝ ඔය ඔළුවවත් හරියට පිහදාගෙන නෑ නෙ! කොණ්ඩෙ කඩාගෙන ඔහොම ඔෆිස් යන්න පුළුවන් ද පිස්සියක් වගේ?”

“ඒසී එකට වේලෙනව නෙ අම්මෙ මං ඔෆිස් එකට ගිහින් පීරගන්නම්.”

තවත් අම්මා හා වාද කළහොත් අම්මාගෙන් මෙන් ම සචින්ගෙන් ද බැනුම් ඇසීමට සිදුවන නිසා මම පය ඉක්මන් කළෙමි. දොරකඩ සිට අම්මා නැවතත් කෑගැසුවා ය.

“හවසට පරක්කු වෙන්න එපා… පරක්කු වෙනවා නම් මට කතා කරන්න මං පාර ළඟට එන්නම්… තනියම එන්න එපා…”

මා දැන් විසිවැනි වියත් ඉක්මවූ යෞවනියක් වුවත් අම්මා තාමත් මා දකින්නේ ළදැරියක් ලෙසයි. ‘අම්මා මගේ වැඩ වලට ඇඟිලි ගහනවා හොඳටම වැඩියි.’ මම මට ම කියා ගතිමි.

එහෙත් මා මේ තැනට ගෙන ඒමට අම්මා වෙහෙස මහන්සි වූ සැටි මා නොදන්නවා නොවේ. ඇය, තාත්තා පිටරටක කම්කරුවකු ලෙස සේවය කර ඉපයූ මුදල් අරපිරිමැස්මෙන් වියදම් කර මා උස්මහත් කළා ය. මා කුමාරිකාවක ලෙස හැඩ කර කිසි ම දෙයකින් අඩුවක් නොකර තැබීමට ඇය වග බලා ගත්තා ය.

ගේට්ටුව විවර කර නැවතත් මා ගෙදර දෙස හැරී බැලුවෙමි. මහ දොර ළඟ සිට අම්මා මා යනතුරු බලා සිටියි. හදිසියේම ඈ වියපත් වී ඇති සෙයක් මට දැනුණි. ඇය මුළු ජීවිත කාලය ම කැප කළේ මා බලා කියා ගැනීමට ය. උදෑසන හැඳ පැළඳගෙන මා පාසලට එක්කන් ගිය සැටි, ටියුෂන් පන්ති ගොස් ඉවර වෙන තෙක් පන්තිය ළඟට ම වී සිටි හැටි, මා රෑට පාඩම් කරන විට නිදි කිරමින් සිටි හැටි තවමත් මට මැවී පෙනේ. අම්මාට අත වනා මම ගේට්ටුව වැසුවෙමි. නොදැනුවත්ව ම මට දිග සුසුමක් පිට විය. ‘අම්මා ඔයා ව මලක් වගේ ලස්සනට හැදුවා… ඔයා ඒ ලස්සන නැති කරගන්න හදන්නේ ඇයි? ‘ මගේ හදවත මට හඬනගා කීවේ ය. ‘ඒත් මම සචින්ට පොරොන්දු වුණා අද එනවා කියල. දැන් බෑ කියන්නෙ කොහොම ද?’ දුරකථනය නැවතත් නාද විය…

“හෙලෝ සචින්?”

“මොනා ද ඔය ගේට්ටුව ගාවට වෙලා ගල් ගිලල වගේ බලන් ඉන්නේ? ඉක්මනට එනවා!” ඇමතුම එහෙම්ම ම විසන්ධි විය.

‘දෙයියනේ! දන්නෙ ම නැතුව සෑහෙන වෙලාවක් ගිහිල්ලා. සචින්ගෙ කටහඬත් එච්චර හොඳ නෑ… අනේ මංදා උදේ පාන්දර අහගන්න තමා වෙන්නෙ…’

වටපිට බැලූ කල මට සචින්ගේ කළු පැහැති ප්‍රාඩෝ රථය පෙණිනි. ඒ අසල ඔහුගේ කෝපයෙන් කළු වූ මුහුණ ද දක්නට ලැබුණි. ‘පොඩ්ඩක් ඉවසන්න බැරි ද මංදා… එයත් ඇඟට කඩන් පනින්නමයි බලන් ඉන්නෙ’

මම හනික දිවගොස් ඉදිරිපස අසුනෙහි වාඩි වුණෙමි. ‘තරුෂි ඔයා අද ඉවරයි… දෙවියනේ! සචින්ගෙ තරහ ඉක්මනට නිවල දෙන්න.’

සචින් පැමිණ රියදුරු අසුනේ වාඩි වී රථය පණ ගැන්වී ය. මම මද සිනහවක් පෑවෙමි. පිළිතුරක් නැත. ‘අද නම් හොඳට ම තරහ ගිහින් වගේ.’ සචින් ට කේන්ති ගිය විට ඔහුගේ හැසිරීම කෙබඳු දැයි ඔහු ව ආශ්‍රය කළ කාලය තුළ මට හොඳින් වැටහී තිබිණි. ඔහු බෝම්බයක් වැනි ය. කොයි මොහොතේ හෝ පුපුරා යා හැක.

රථය වේගයෙන් ඉදිරියට ඇදී යයි. අප අතර පැවතියේ දැඩි නිහඬතාවයකි. මම නැවතත් කල්පනාවට වැටුණෙමි. අම්මාගේ අසරණ මුහුණ මට මැවී පෙනෙන්නට විය. ‘තරුෂි, අම්මාට බොරු කියල ඔයා මේ යන ගමන හරි ද? අම්මා දුක් මහන්සි වෙලා ඔයාව මේ තරම් ලොකු තැනකට ගෙනාවේ මෙහෙම රවුම් ගහන්න යන්න ද?’ මගේ හදවත යළිත් කෑ ගසා කීවේ ය. අම්මා සහ සචින් මැද මා අසරණ වූ වාර එමට ය. සචින් මදක් සැරපරුෂ වුවත් ඔහු ද මට ආදරය කරයි. එහෙත් ඔහු අම්මා තරම් සෙනෙහෙවන්ත නැතැයි කියා ද සිතුණු වාර නැතුවා ම නොවේ. ඔහු උගත් ය. කඩවසම් ය. මුදල්වලින් අඩුවක් ද නැත. නමුත් ඔහු මීට වඩා කරුණාවන්ත වූවා නම් හොඳයි කියා මට යළිත් වරක් සිතිණි.

“මොනා ද ඔය හැටි අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ?” තිගැස්සී ගිය මම ඔහු දෙස හැරී බැලුවෙමි. ඔහු තවමත් ඉදිරිය බලා රිය පදවයි.

“මොකද් ද කිව්වෙ?”

“බලන්න මං උදේ ඔයා එනකන් පැය බාගෙකට වැඩිය බලන් හිටියා. දැන් අපි පැයකටත් වැඩිය පාරෙ. ඔයා මාත් එක්ක එක වචනයක්වත් කතා කළේ නෑ නෙ. අඩු ම තරමින් පරක්කු වුණාට සොරි කියලවත් කිව්ව ද?”

“සොරි…”

“ඒවත් ඉතින් කියනකම් ම ඉන්න ඕනෙ මතක් වෙන්න… “

“ඒක නෙවෙයි… අපි මේ කොහෙද යන්නෙ?”

“ඒවා ඉතින් ගියා ම බලාගන්නකෝ…”

“හ්ම්ම්…”

“අනේ මංදා ඔයත් නම්. මොකෝ ඇත්තටම උදේ පරක්කු වුණේ?”

“අම්මා මාව කතාවට අල්ලගත්තා නෙ.”

“ඇයි අම්මා මොනා ද කිව්වේ?”

“නෑ ඉතින්… දන්නේ නැද්ද? වෙනදා කියන ටික ම තමා… පරක්කු වෙන්න එපා කෑම අරන් යන්න ඔය ටික තමා…”

“ආ… අදත් අම්මට බොරුවක් ගහලා ද ආවේ?” ඔහු එය ඇසූ විදිහට පොළොව පලාගෙන යාමට තරම් ලැජ්ජාවක් මට දැනුණි. ඇත්තට ම අම්මාට මෙලෙස බොරු කීමෙන් මා ලබනා තෘප්තිය කුමක් ද? දුරකථනය නැවතත් නාද විය… ඇමතුම අම්මාගෙනි.

“වාහනේ පොඩ්ඩක් අයින් කරල නවත්තන්න. නැත්තම් අම්මාට සද්දෙ ඇහෙයි…”

“අයියෝ ඕකට පස්සෙ වෙලාවක ආන්සර් කරන්නකෝ!”

“හදිස්සියක් ද දන්නෙ නෑ නෙ … අම්මා තනියම නෙ ඉන්නේ…”

“අනේ මංදා අම්මයි දුවයි දෙන්න ම එකයි බලන් යනකොට… හ්ම් හ්ම් ඉක්මනට කතා කරල ඉවර කරන්න පරක්කු වෙනවා…” රථය නැවැත්විණි. සචින්ට නිශ්ශබ්ද ව සිටින ලෙස මම අතින් සංඥා කළෙමි.

“අම්මා මං කියල තියෙනවා නේ ද ඔෆිස් එකේ ඉන්නකොට සැරින් සැරේට කතා කරන්න එපා කියලා? “

“ඔයා උදේට කෑවා ද කියල බලන්නයි කතා කළේ ළමයෝ… උදේ කිරි එක බිව්වෙත් නෑ නෙ ඔච්චර කියලත්…”

“නෑ තාම නෑ, මට වැඩ මං පස්සෙ කන්නම්.”

“වෙලාවට කන්න චූටී… නොකා නොබී ලෙඩ වෙයි ඊට පස්සෙ…”

“හරි හරි මං කන්නම් කියල කිව්වනේ… මං තියනවා එහෙනම්…”

“චූටී පොඩ්ඩක් ඉන්න…මං දවල්ට ටවුම පැත්තට යනවා ඔයාට මොනාහරි ගේන්න එහෙම තියෙනවා ද?”

“නෑ නෑ මොකුත් ඕනෙ නෑ… මං තියනවා… බායි…”

‘මොන කරදරයක් ද මංදා…’ මං මට ම කියා ගතිමි.

“අපි යමු…”

“ඔව් නැත්තම් පරක්කු වෙනවා…” රථය නැවතත් ඉදිරියට ඇදෙන්නට විය.

“තව කොච්චර දුර යන්න ඕනෙ ද?”

“ම්… තව පොඩ්ඩ දුරයි. පැය බාගයක් විතර යයි…”

“හා… ඉක්මනට යමු… මේ හරිය හරි පාළු පාටයි පාරෙ මනුස්සයෙක්වත් නෑ නෙ මට බයත් හිතෙනවා…”

“බය වෙන්නෙ මොකට ද? මං ඉන්නවා නෙ…” ඔහු මගේ අත අල්ලා සිප ගත්තේ ය.

“ඒක නෙවෙයි… ඉස්සෙල්ල නවත්තල ඉන්නකොට තමයි ඔයාගෙ ලස්සන දැක්කෙ… තරහ ගියා ම හරි ස්වීට්…”

“ඇයි? වෙන වෙලාවල්වලට ලස්සන නැද්ද?”

“එහෙම එකක් නෙවෙයි කිව්වෙ ළමයෝ… මොනා ද අද ඔළුවට ගෑවේ? හරි සුවඳයි…”

“විශේෂ දෙයක් නෑ ඉතින් වෙනදා ගාන ෂැම්පු ම තමා”

“කෝ බලන්න මොකද්ද ඔය ෂැම්පු එක කියල…” ඔහු මා දෙස ට නැඹුරු වූයේය. නොසිතූ ලෙස මගේ මුවින් නිකුත් වූයේ විලාපයකි. රිය ඉද්ද ගැසුවාක් මෙන් පාර මැද නතර විය. උදේ සිට පැවති කෝපය ඔහු පිට කළේ මට තරු පෙනෙන තරමට කන හරහා පහරක් දීමෙනි.

“තමුසෙට මොන යකෙක් වැහිල ද ඕයි උදේ පාන්දර? මීට කලින් මං කිස් කරල නැද්ද බෙල්ල මිරිකල වගේ මරලතෝනි දුන්නෙ? ” කතා කරගත නොහැකි තරමට මම වෙවුලමින් සිටියෙමි… දත කට පූට්ටු වී ඇති බවක් මට දැනුණි.

“කතා කරනවා ගෑණියේ…”

“මං… මං… මං…”

“මං මං ගාන්නෙ නැතුව ඉක්මනට කියනවා”

“මං… දැක්කා… පාර… මැද… ගෑණු… කෙනෙක්… ඉන්නවා…” ඔහු වටපිට බැලුවේ ය. කවුරුත් පෙනෙන්නට නැත.

“කෝ කොහෙද? පාරෙ බලු බල්ලෙක්වත් නෑ…තොට ඔල්මාදෙ ද?”

පුදුමයකි! එසේ නම් මා දුටුවේ මායවක් ද? ඇය වාහනයට හැප්පුණාවත් ද? නැතිනම් අහසට වාෂ්ප වී ගියා ද? කුමක්දෝ අඳුරු බියකින් මසිත වෙලා ගියේ ය.

“නෑ… නෑ… මං දැක්කා…” දෙවැනි වරට ද මගේ මුවින් විලාපයක් පිට විය.

“අර… අර… අර ඉන්නෙ එයා…” මා ෂටරය දෙසට ඇඟිල්ල දිගු කර පෙන්නුවෙමි. ඔහු ද හැරී බැලුවේ ය. රියදුරු අසුනේ වීදුරුව ළඟ තරුණ කාන්තාවකි. ඇය මහත් කලබලයෙන් ෂටරයට ගසමින් සිටියා ය.

“අනේ සචින්, පොඩ්ඩක් ෂටර් එක පාත් කරල අහන්නකො මොකද කියල?”

“පිස්සු හැදිල ද? අහක යන කරදරවල එල්ලෙන්න හදන්නෙ?”

“අනේ අනේ අපි පොඩ්ඩක් බලමු ඉතින්…”

“හ්ම් හ්ම්” කේන්තියෙන් පුපුරමින් ඔහු ෂටරය මදක් පහත් කළේ ය.

“ඇයි?”

“අනේ… පුතා… මගේ වාහනේ… හැප්පුණා… මගේ ළමයා… ඇතුළේ හිරවෙලා… අනේ මට… උදව් කරන්න…”

“කෝ කොහෙද?”

“ටිකක් ඉස්සරහ පුතා… අනේ ටිකක් බැහැලා එන්න…” ඇගේ ආයාචනය හමුවේ මගේ සිත උණු විය.

“සචින් අපි පොඩ්ඩක් බැහැල බලමු ද?” මා ඔහුගේ කනට කොඳුරා කීවෙමි.

“අනේ මේ! අපිට වෙන වැඩ නෑ කියල හිතුව ද?”

“ඒත් සචින් මේ හරියෙ වෙන කවුරුත් පේන්නවත් නෑ නෙ… මේ අම්මාත් අසරණයි නෙ… අපි පොඩ්ඩක් බැහැලා බලමු… මොනා වුණත් අම්මා කෙනෙක් නෙ…”

“හ්ම් හ්ම්… ඔයා කියන නිසා තමා යන්නෙ… අපිට මොන පරිප්පුවක් කන්න වෙයි ද මන්දා”

“කමක් නෑ අපි දෙන්න ම ගිහින් බලමුකො…” දැඩි පෙරැත්තයකින් පසු ව ඔහු වාහනයෙන් බැස්සේ ය. අප දෙදෙනා ම එම කාන්තාව පෙන්වූ ඉසව්ව කරා පිය මැන්නෙමු. ඇය තවමත් බියෙන් වෙවුලමින් හඬමින් සිටියි. මා ඇය අස්වැසීමට තැත් කළෙමි.

“බයවෙන්න එපා අම්මා… අපි දැන් ඉන්නවනෙ…”

“අනේ පුතාලා ට ගොඩක් පිං… මං සෑහෙන වෙලාවක් තිස්සෙ ඉඳන් පාරෙ ඉන්නෙ… කවුරුත් ආවෙ නෑ නෙ…”

“ඇත්තට ම මොකක් වෙලා ද හැප්පුණේ අම්මා?”

“අනේ පුතේ ඊයෙ වැස්ස නිසා ද කොහෙද වාහනේ ලිස්සල ගිහින් ගහක වැදුණා… මං කොහොමහරි එළියට ආවා… ඒත්… අනේ මගෙ දරුවා… ” ඇය මහ හඬින් ඉකි ගසන්නට විය. මට ඇය ගැන දැනුණේ දැඩි වේදනාවකි. දැඩි ආයාසයකින් හැඬුම පාලනය කරගත් ඈ නැවත මා ඇමතුවා ය.

“අනේ අපි ඉක්මන් කරල යමු… මගේ දුව තනියම ඉන්නෙ එයා බයවෙලා ඇති…”

“හරි අපි යමු…” සචින් තවමත් කෝපයෙන් කළු කරගත් මුහුණින් ඉදිරියට යයි. ‘එයා තරහ ගත්තට කමක් නෑ මනුස්සයෙක් ට උදව්වක් ඕන වුනා ම පිහිට වෙන්න ඕනෙ නෙ…’ මද දුරක් ගිය විට අප දුටුවේ පාර අයිනේ මාර ගසක වැදී තිබූ රතු පැහැති මරුටි රථයකි. අනතුර දුටු සචින් ද තරමක් කලබල විය…

“අයියෝ! වාහනේට ගොඩක් ඩැමේජ් වෙලා නෙ”

අර කාන්තාව නැවතත් හඬා වැළපෙන්නට විය…

“අනේ මගෙ දරුවා…”

“හරි අම්මා අපි පොඩ්ඩක් කලබල නොවී ඉමුකෝ…” වාහනයේ පිටුපස අසුනේ අවුරුදු 5ක පමණ කුඩා ළදැරියකි… ඇය ද හඬමින් සිටියා ය…

“තරූ ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න… මං කොහොමහරි මේ ළමයව එළියට ගන්න බලන්නම්…”

“ආහ්! මේ හරියෙ සිග්නල් නෑ නෙ…”

“පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදල බලන්න සිග්නල් අහුවෙන තැනක් හොයාගන්න පුලුවන්ද කියල…” ඔහු වාහනයේ දොර ඇරීමට තැත් කළේ ය…

“ෂික්! මේක හිරවෙලා!”

“අනේ කොහොමහරි බලන්න සචින්!” අම්මා ද දිගට ම වැළපෙයි. දරු සෙනෙහස නිසා උපන් කඳුළුවලින් දෑස තෙත් වී ගොසිනි.

මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව සචින් දොර ඇරගත්තේ ය. කුඩා දැරිය බියපත් ව තවමත් හඬමින් සිටියා ය. සචින් ඇයව ඔසවා ප්‍රවේශමෙන් පිටතට ගත්තේ ය. මම සැනසුම් සුසුමක් හෙළීමි…

“අම්මා දැන් බයවෙන්න දෙයක් නෑ. අපි බබා ව එළියට ගත්තා නෙ…” හැඬුම අතරින් ඇගේ මුහුණට සිනහවක් නැගිණි…

“දෙවියන් වහන්සේ ට ස්තෝත්‍ර වේවා!”

දැරිය වඩාගත් සචින් මා දෙස හැරී බැලී ය. ඔහු දැඩි කම්පනයකින් සිටියේ ය…

“තරූ පොඩ්ඩක් මෙහාට එන්න…”

“ඇයි සචින් මොකක් හරි ප්‍රශ්නයක් ද?” මම ඔහු දෙසට දිව ගියෙමි.

පුදුමයකි… රියදුරු අසුනේ ගැහැණියකි… හිස පැත්තට කඩා වැටී තිබූ ඇගේ නළලේ වූ තුවාලයෙන් තවමත් ලේ ගලා යමින් තිබිණි. මට පිටුපස හැරී බැලුණි. ඇය අතුරුදන් ව ගොසිනි! දැඩි කම්පනය නිසා මට කතා කරගත නොහැකි විය…

“මේ… මේ… අර අම්මා නේ ද? “

“ඔව්… ඒ එයා තමයි…” මට ඉබේට ම බිම ඉන්දවුණි…

“අම්මල එහෙම තමයි තරූ… මැරුණත් තමන්ගෙ ළමයින් ව අතාරින්නෙ නෑ…”

 

 

Written by: Venuka Fernando

Image Courtesy: https://bit.ly/3wHQFC5

 
Tagged : / /