ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් නම් කිහිපයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

4929

එළඹෙන 21 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22 යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. යොවුන් ක්‍රීඩකයින් වන චරිත් අසලංක, චාමික ගුණසේකර, සුමින්ද ලක්ෂාන් හා කඩුලු රකින පිතිකරු කමිල් මිෂාර ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබෙන යොවුන් ක්‍රීඩකයින්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල මාස කිහිපයක් තිස්සේ නිහඬව සිටි ඇන්ජලෝ මැතිව්ස් ද මේ සංචිතයට ඇතුළත්. ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පුද්ගලික හේතුවක් මත මෙම ටෙස්ට් තරගාවලියට සහභාගි නොවන නිසා දිමුත් සමඟ ඉනිම ආරම්භ කිරීමේ වගකීම තරුණ ක්‍රීඩකයෙක් වෙත ලැබීමට වැඩි ඉඩක් තිබෙනවා.

අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියකට සහභාගි වුනේ බංග්ලාදේශ සමඟ වන අතර එම තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම සංචිතය ද නියෝජනය කළ චාමික කරුණාරත්න නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. තවද පසුගිය මාර්තු මාසයේ දී පැවති ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

2021 අප්‍රේල් මාසයේ දී කොදෙව් දේශයේ දී පැවති ටෙස්ට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වු ලසිත් ඇඹුල්දෙණිය කලකට පසුව නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කැඳවා ඇති බව වාර්තා වනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් , විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, දුෂ්මන්ත චමීර, චරිත් අසලංක, ඕෂද ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික ගුණසේකර, ලසිත් ඇඹුල්දෙණිය, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 21 සිට 25 දක්වා සහ දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 සිට දෙසැම්බර් 3 දක්වා පැවැත්වීමට නියමිතයි. ගාල්ලේ දී පැවැත්වෙන මේ ටෙස්ට් තරග දෙකම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත්. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<