කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයේ නායකත්වය අසලංකට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

889

මේ මස 14 වැනිදා කොළඹ එස්. එස්. සී පිටියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සිව්දින පුහුණු තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය අද (13) නම් කළා. එහි නායකත්වය 24 හැවරිදි චරිත් අසලංක වෙත ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන මේ තරග දෙක 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් වෙනවා. එම තරගාවලිය ආරම්භයට පෙර පෙර පුහුණු සිව්දින තරගය පැවැත්වෙනවා.

මේ සංචිතය සඳහා නැගී එන තරුණ ක්‍රීඩකයින් සහ අත්දැකීම් තිබෙන ක්‍රීඩකයින්ගේ සම්මිශ්‍රණයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සංචිතය නම් කර තිබෙනවා. මේ පුහුණු තරගය නිමාවූ පසුව එහිදී ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් ද සැලකිල්ලට ගෙන කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරනු ඇත.

පසුගියදා අවසන් වුනු ශ්‍රී ලංකා A – පාකිස්තානු A සිව්දින තරගාවලියේ දී දස්කම් දැක්වූ නැගී එන ක්‍රීඩකයින් වන කඩුලු රකින පිතිකරු කමිල් මිශාර සහ දකුණතින් වේගපන්දු යවන චාමික ගුණසේකර ද මේ සංචිතයේ සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය – චරිත් අසලංක, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, මිනෝද් භානුක, රොෂේන් සිල්වා, චාමික කරුණාරත්න, කමිල් මිශාර, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු, චාමික ගුණසේකර, ලක්ෂාන් සඳකැන්.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත මේ ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය 21 වැනිදා සිට 25 වැනිදා දක්වාත් දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිදා තෙක් ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග කාලසටහන 2021

නොවැම්බර් 14 – 17 – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ සිව්දින පුහුණු තරගය – එස්. එස්. සී

නොවැම්බර් 21 – 25 – පළමු ටෙස්ට් තරගය ගාල්ලේ දී

නොවැම්බර් 29 – දෙසැම්බර් 3 – දෙවන ටෙස්ට් තරගය ගාල්ලේ දී

තරගාවලියේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<