“හෙමින් සැරේ පියා විදා”

Share

සප්ත ස්වරයට එපිටින් තනුව වැයූ ඔවුහු හංස විල ම කැලතීය “

මා කුඩා කල පාසල් ගොස් නැවත නිවසට පැමිණ, කා බී අවසන් වී රූපවාහිනිය ඉදිරියට ගොස් සැරසෙන්නේ එකල දහවල් විකාශය වන “හෝම් තීතරය” නැරඹීමටයි. එකල මා එයට දැඩි ව ඇබ්බැහි වී සිටියා කීවොත් නිවැරදි ය. කම්මැලි දුක්මුසු සිනමාවක් වුව ද අවසානය වන තෙක් බැලීමට මා පුරුදු වී සිටියේ එය කාලය කා දැමීමට ඉතා අගනා උපක්‍රමයක් නිසාවෙනි. දිනක් මා “හෝම් තීතරය” බැලීමට සැරසෙත් ම මාගේ මෑණියන් විසින් චිත්‍රපටය ආරම්භයේදී ම රූපවාහිනිය ක්‍රියා විරහිත කළේ “අද කතාව බලන්න ඕන නෑ පුතේ, පුතා ගිහින් පොතක් බලාගන්න” කියමිනි. මෑණියන් මා තීතරය නරඹනවාට කිසි ම ලෙසකින් විරුද්ධ නැත. නමුත් එදින විරුද්ධ විය. මා වාද නොකර කිසිවක් නොඅසා එතැනින් නැගිට ගියේ එය මා හට බැලීමට නුසුදුසු කතාවක් බව මෑණියන් දන්න නිසා විය හැකිය යන අදහසිනි. නමුත් මා තුළ ඒ කතාව කුමක්දැයි යන කුතුහලය නම් සිත තුළ දැඩි ව කා වැදුණි.

කතාවේ නම නම් මට නිට්ටාවට ම මතක තිබුණි. ඔව්, එම චිත්‍රපටයේ නම “හංස විලක්”. මට මතකයි. බාග විට මා මෑණියන් මේ චිත්‍රපටය නරඹා ඇත, නැති නම් ආරම්භයේදී ම එය නොබලන ලෙස කීවේ මන්ද? මේ සිදුවීම තුළින් කෙදිනක හෝ මා මෙම සිනමා පටය නැරඹිය යුතුමයි යන ආත්ම ආශාව ඇති විය. නමුත් මට මේ සිනමා පටය නැරඹීමට හැකි වනුයේ මෙම සිදුවීම සිදු වී වසර පහකට පමණ පසුව ය. මා හට එම සිනමා පටය හමු වූ විගස මා මෑණියන් ළඟට ගොස් ඇසූ පැනය වනුයේ, “අම්මා හංස විලක් චිත්‍රපටය බලලා තියෙනවා ද?” යන්නයි. මෑණියන් දුන් පිළිතුර වනුයේ “නෑ පුතා…අහලා  තියෙනවා වගේ නම් මතකයි. නමුත් බලලා නම් නැහැ” යන්නයි. එයින් මා විශ්මයට පත් විය. “එහෙනම් ඇයි එදා මෑණියන් මට මෙය නැරඹීමට නොදුන්නේ?”. මේ කුකුස සමඟ මා “හංස විලක්” සිනමා පටය බැලීමට පෙළඹිණි. අහෝ! වෙනත් සිනමාපටවල මෙන් නොව මෙම සිනමා පටයේ ආරම්භයේදී ම ඇසෙන්නේ කාන්තාවකගේ ශෘංගාරාත්මක විලාපයකි. මෙය ඇසුණු විට ඕනෑම මවක් විසින් තම කුඩා දරුවා මෙම සිනමාව බැලීම ප්‍රතික්ෂේප කරවන බව නම් සත්‍යයකි. මේ මාගේ මෙම සිනමාව හා බැඳි සුන්දර අත්දැකීමකි. මේත් සමඟ මා ශ්‍රී ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ “හංස විලක්” චිත්‍රපටය පිළිබඳ මෙසේ අදහස් දැක්වීමට පෙළඹෙන්නම්.

හංස විලක් යනු ලාංකීය සිනමාව උඩු යටි කුරු කළ සිනමා නිර්මාණයක් බව නම් කිව යුතුම ය. අනිත් සෑම දේ සේ ම ලාංකීය සිනමාව ද අදට වඩා ඊයේ හොඳ බවට කදිම නිදසුනක් හංස විලක් සිනමා සිත්තම මඟින් සපයනු ලබයි. 1980, අසූව දශකය යනු ලාංකීය සිනමාවේ ස්වර්ණමය වකවානුවක් ලෙස සැලකිය හැකි ය. 1980 වර්ෂයේ ප්‍රථම වරට තිරගත වූ හංස විලක් සිනමාපටය ශිෂ්ට සම්මතයෙන් ඔබ්බට ගිය රැඩිකල් රෝමාන්තික සිනමා නිර්මාණයක් ලෙස හැඳින්වීමට මා කැමති ය. මා සිනමාව පිළිබඳ මුහුකුරා ගිය විචාරකයෙක් නොවන බව සලකමින් ඔබ මෙය රස විඳිනු ඇතැයි සිතමි. හංස විලක් යනු විවාහ වී දරුවන් ද සිටින යුවල් දෙකක් වටා ගෙතුණු මනරම් ආදර කතාවක් යැයි කීවොත් මා වැරදි නැතැයි සිතමි. නමුත් මෙම ආදර කතාව සැමියා බිරිඳට දක්වන ආදරයක් නම් නොවේ. කොටින් ම කිවතොත් මෙය යහපත් පවුල් සංස්ථාවක් ගැන සමාජයට ආදර්ශයක් ලබා දෙන සුචරිත කතා පුවතක් නොවේ. කතාවේ සාරාංශය වනුයේ සුන්දර විවාහක කාන්තාවක් හා දඩබ්බර විවාහක පුරුෂයෙකු අතර ඇති වන අනියම් ප්‍රේම ජවනිකාවකි.

මෙවැනි ප්‍රස්තෘතයක් පාදක කරගනිමින් නිර්මාණය වූ කතාවක් මෙතරම් සුවිශේෂි වන්නේ මන්ද යන පැනය මතු වීම, ඔබ හංස විලක් බලා නොමැති නම් යම් තාක් දුරකට සාධාරණ ය. 1980 වැනි කාලවකවානුවක තම රැඩිකල් සිනමාන්විත මතවාදය නූතන සමාජයේ ඉතා සුලභ සමාජ සංසිද්ධියක් පදනම් කරගනිමින් තම ප්‍රේක්ෂකයාව සියුම් ලෙස තම නිර්මාණයට අවනත කරගැනීමට හංස විලක් සිනමාපටයේ නිර්මාණකරු වන ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායකයන් සමත් වී ඇත. තම කැදැල්ලෙන් එපිට විකල්ප ලිංගික ආශ්වාදයක් සොයා ගිය හංස යුවලකගේ කතාව 80 දශකයේ දේශීය සිනමාව වෙන ම මානයකට ගෙන ගියේ ය.

නිස්සංක, සමන්ති, මිරැන්ඩා, ඩග්ලස් සිව් කොන් වෘත්තාන්තයේ, නිස්සංක හා සමන්ති යනු විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින විවාහක යුවලකි. මිරැන්ඩා හා ඩග්ලස් විවාහයෙන් දරුවෙකු සිටින තවත් යුවලකි. නමුදු මිරැන්ඩා හා නිස්සංක කාටත් රහසේ තම සිති දැහැනේ ආශ්වාදය සොයා ගියෝ ය. නමුදු ආශ්වාදයේ සංක්‍රාන්තිය කුඩා දරුවන් දෙදෙනෙකුගෙන් තම ආදරණීය පියා වෙන් කිරීමටත් කුඩා දියණියකගෙන් තම මව වෙන් කිරීමටත් හේතුඵල විය. සිනමා පටය ආරම්භයේදී ම නාමාවලිය සමඟ පසුබිම් රාමුවල දර්ශනය වනුයේ ශ්වේත සයනයකි. ඒත් සමඟ ම පසුබිමින් ඇසෙනුයේ යුවතියකගේ ශෘංගාරාත්මක විලාපයකි. එය අවසානයේ ඇසෙනුයේ කුඩා දරුවෙකු හඬන ශබ්දයකි. මිරැන්ඩා හා නිස්සංකගේ අසම්මත හමුවීම තමා ජීවත් වන කුරුළු කැදැල්ල තමා විසින් ම  බිඳ දමන බව සිනමා පටයේ නිර්මාණකරු ආරම්භක පසු තලයේ සිට ම පෙන්වා දෙයි. තමාගේ අශුද්ධභාවය ලෝකයා ඉදිරියේ නිරාවරණය වූ පසු, නීතියෙන් තම සම්මත විවාහ දිවියට සමු දෙන නිස්සංක හා මිරැන්ඩා සමාජය නිච්චියකට මායිම් නොකර තම ජීවන රඟ මඬලේ රංගනයේ යෙදෙයි.

මිරැන්ඩා හට තම කුඩා දරුවාගේ මතකය නිරන්තර සිහි කැඳ වූ නමුත් නිස්සංක තුළ නම් තම දරුවන් කෙරෙහි තිබූ සෙනෙහසක් පෙනෙන්නට නොතිබුණි. හුදු ගෝලීය ආර්ථික අරගල හමුවේ තෙරපී මානසික සහනය සොයන මධ්‍යප්‍රාන්තික කාර්යාල සේවකයෙකුගේ භූමිකාව මා නිස්සංකගෙන් දකී. ඔහුට මිරැන්ඩා කෙරෙහි ඇත්තේ ලොබක් මිස ආලයක් නොවේ. එය වඩාත් පැහැදිලි වනුයේ මිරැන්ඩා තම දියණිය හා යළි සමීප වීමේ දී ඇය හා ඇයගේ පෙර විවාහක සැමියා අතර ඇති වන මුසුවීම නිස්සංකව කෝපයට පත් කිරීමයි. මිරැන්ඩා එසේ තම දියණිය හා ළංවීමට උත්සහ කළ ද නිස්සංකට නම් තම පෙර බිරිඳ හෝ තම දරුවන් කෙරෙහි කිසිඳු ස්නේහයක් නොවීය. ඔහුට තිබුණේ අසම්මත ලිංගික ආශාවක් පමණක් දැයි මට සිතේ. කෙසේ හෝ අවසානයේ තමා නිවසේ නොමැති විට මිරැන්ඩා හා ඩග්ලස් ඔවුන්ගේ දියණිය සමඟ නැවත සතුටු වනවා දුටු නිස්සංක තුළ ඇති වනුයේ දැඩි කෝපයක් හා .ඊර්ෂ්‍යාවකි.

සිනමාකරුවෙකු අතීත කාමය ඇවිස්සීමට තරම් දක්ෂ විය යුතු ය; අනාගතය විනිවිද දැකීමට ඇසක් ඔහු සතු ව තිබිය යුතු ය. බණ්ඩාරනායකයන් මෙම සිනමාව පුරාවට අපව රඳවා ගැනීමට සමත් වී ඇත. නූතනයේ හොලිවුඩයේ අප දකින ප්‍රයෝග මායාවක් තුළ සිහිනයක් දිගේ සක්මන් කරන “Inception” වැනි විශිෂ්ට සිනමාවන් ඔබ නරඹා ඇත. නමුත් හංස විලක් නිර්මාණකරු එවැනි දෘශ්‍ය මායා ප්‍රයෝගයන් තුළ පුද්ගලයන් අතරමං වී ඇති ආකාරය පෙන්නුම් කළේ 80 දශකය තරම් අතීතයේ ය. ඔහු සිනමාවේ අනාගතය දැක ඇත. තමා නිවසේ නොමැති විට මිරැන්ඩා හා ඩග්ලස් ඔවුන්ගේ දියණිය සමඟ සතුටු වනවා දුටු නිස්සංක මිරැන්ඩා සමඟ වෛරයෙන් ගොස් අතරමං වනුයේ සිතිවිලි ගුහාවක ය. ඔහු එම සිතිවිලි ගුහාවේ දී තමා ආශ්වාදයක් ලැබූ ඒ කාන්තාව “මිරැන්ඩා” ඝාතනය කරයි. නමුත් සැබෑ ලොවේ දී ඔහු කිසි විටෙකත් එලෙස නොකරයි. එය සැබවින් ම අගනා දෘශ්‍ය මායා ප්‍රයෝගයකි.

සිනමා පටය පුරාවට ම අපගේ ඇස වෙනතක නොහැරීමට තරම් විශිෂ්ට ලෙස මෙම සිනමාපටය නිර්මාණය කර ඇත. මිරැන්ඩාගේ චරිතයට පණ පොවන ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගනය අති විශිෂ්ට ය. නිස්සංකගේ චරිතයට පණ පොවන මෙම සිනමා සිත්තමේ නිමැවුම්කරු, ධර්මසිරි බණ්ඩාරනායකයන් තරම් එම චරිතයට සාධාරණයක් කළ හැකි වෙනත් අයෙක් නොමැත. මොවුන් දෙදෙනා එක් ව සිදු කරන රංගනය සිනමා පටය පුරාවට ම ප්‍රේක්ෂකයන් හට නැවුම් ආශ්වාදයක් එක් කරයි. මිරැන්ඩාගේ හා නිස්සංකගේ රංගනය යෞවනයේ හැඟීම් අවුස්සන බව නම් නොරහසකි. සියලු බාධක හමුවේ අකම්පිත කාන්තාවකගේ චරිතය නිරූපණය කරන නිස්සංක පළමු බිරිඳ සමන්තිගේ චරිතයට පණ පොවනු ලබන විශිෂ්ට රංගන ශිලිපී වසන්ති චතුරාණි සංවේදී චරිතයක් ලෙස ප්‍රේක්ෂකයන් තමා වෙත පොළඹවා ගනී. තම අහිමි ව ගිය ආදරය නැවත සොයන මිරැන්ඩාගේ පළමු සැමියා ඩග්ලස් ලෙස අප හමුවට එන විශිෂ්ට රංගන ශිල්පී හෙන්රි ජයසේනයන් තම සුපුරුදු විශිෂ්ට රංගන ප්‍රතිභාව මෙහිදී ද අපූරුවට පෙන්වයි. කේමදාසයන්ගේ මනරම් සංගීත අධ්‍යක්ෂණයෙන් මුළු සිනමාව පුරාවට ම ලබා දෙන ආශ්වාදය නම් නිම් නැත. හංස විලක් චිත්‍රපටයේ එන ටී. එම්. ජයරත්න ශූරීහූ ගායනා කරන “හෙමින් සැරේ පියා විදා” ගීතය හංස විලේ හංසයන්ට අමුතු ම රසයක් ලබාදේ.

ආලයේ පිපාසය කාමයේ ලෝ දියෙන් නිවා ගන්නට සැරසෙන මිරැන්ඩා සැබවින් ම නිස්සංකට ආලය කළා ද? එයට පිළිතුරු නිස්සංක හා මිරැන්ඩා අතර අවසානයේ ඇති වන සංවාදයේ දී ලැබේ. කතාව පුරාවට ම නිස්සංකගේ චරිතය තේරුම් ගත හැකි මුත් මිරැන්ඩාගේ චරිතය පූර්ණ ලෙස තේරුම් ගැනීමට නොහැක. ඕනෑම රාමුවක  කාන්තාවක් තේරුම් ගැනීමට ඇති දුෂ්කරතාව නිර්මාණකරු ඉතා හොඳින් අවබෝධ කර ඇති බවට මිරැන්ඩාගේ චරිතය මෙන් ම සමන්තිගේ චරිතය ද කදිම නිදසුනකි. “බුදු වෙන්න පෙරුම් පුරන්න ඕනා නම් මිනීමරුවෙක් වෙන්නත් පෙරුම් පුරන්න ඕන ඇති” නිස්සංක මෙසේ කියන්නේ මිරැන්ඩා නැවත ඩග්ලස් හා නැවත මුසු වීමේ දී ඇති වූ තදබල ඊර්ෂ්‍යාව නිසාවෙනි. ඔහුගේ මනෝ ලෝකය තුළ මිරැන්ඩාව මරා දැමීමේ අධිෂ්ඨානයක් ඔහුට ඇත. සැබැවින් ම නිස්සංක මිරැන්ඩාට ප්‍රේම කළා ද? එසේ ප්‍රේම කළා නම් තමාගේ මනෝ ලෝකය තුළ දී වුව ද මිරැන්ඩාව මරා දැමිය හැකි ද?

හෙමින් සැරේ පියා විදා නිසංසල විලක් මත සයන් ගත වූ හංස යුවලකගේ කතාව ශිෂ්ට සමාජයක් යැයි හඟවන මනෝ රඟ මඬල පිටුපස සැඟ ව ඇති නිර්ලජ්ජිත කාමාශාවන්ගෙන් පිරුණු මනෝ භාවයන් පිළිබඳ ගුණාත්මක විවරණයක් ලබා දේ. මිනිසාගේ පරිණාමයත් සමඟ හුදු සම්මත රාමුවකට කොටු වී සිටියත් සැබවින් ම සම්මතය බිඳ දැමීමට මිනිසා කැමති ය. එම කෝණයෙන් බැලූ කල එය සැබවින් ම නිර්ලජ්ජිත ද යන පැනය ද මතුවේ. නමුත් මෑත කාලීන සමාජ වපසරිය තුළ සම්මතයෙන් පිට තම ආශ්වාදයන් තෘප්ත කර ගැනීමට දක්වන නැඹුරුවීම අතිශයින් ඉහළ ගොස් ඇත. එය වෙනත් රාමුවක සිට විවේචනය කරන ඔබත්, මමත් කුමන යම් හෝ විට අසම්මත ආශ්වාදයකට පෙළඹිය හැක. හංස විලක් සිනමා නිර්මාණය තුළින් මේ සම්මත සමාජය ඇතුළාන්තයෙන් ඇත්තට ම ශිෂ්ටසම්පන්න ද යන පැනය නිර්මාණකරු අපෙන් අසයි. ඒ කෙසේ නමුත් මා ඔබට ඇරයුම් කරන්නේ හංස විලේ ගිලී කිමිදීමට පෙර එහි පිහිනා ආශ්වාදයක් ලබා ගන්නා ලෙසත් ය. මන්ද ගැඹුරු චින්තනයකින් රස නොවින්ඳත් ඕනැම ප්‍රේක්ෂකයෙකුට ආශ්වාදයක් ලබා ගත හැකි අයුරින් හා ඕනැම පුද්ගලයෙකුගේ ශෘංගාර සංවේදනයක් ඇති කළ හැකි අයුරින් හංස විලක් නිර්මාණය වී ඇත. ලාංකීය සිනමාවේ හොඳ ම සිනමා 5 තේරුවහොත්, එය අතරට නිතැතින් ම එන හංස විලක් චිත්‍රපටය ඔබ කිමිදී බැලිය යුතුම ය. එසේ නම් හංස විලේ කිමිදෙන්නට ඔබට ආරාධනා…

 

 

Written By: Harith Kulathunga

Image Courtesies:

 
Tagged : / /