2017-12-25

අලි අලි හොරු අලි අපරාධකාරයෝ


සිංහලයාට අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වන්නේ නැත. අද අලි ගැන ලියන්නේ ඒ නිසාය. ගජ, හස්ති, ඇතා, කුරුණෑ, නා, වරණ ආදි නාම අලියාට සමානාර්ථයේ යෙදේ. විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපස කොරවක්ගලෙහි සිටින්නේ ගජසිංහය. ඔහුට සිංහ කඳක් සහ අලි ඔළුවකි. නුවණට අධිපති ගණ දෙවියන්ට ද ඇත්තේ අලි ඔළුවකි. සමහරු පෙළපතින් ගජසිංහලා ය. එහෙත් සිංහලයෙක් කෝපයෙන් 'ඌ මහ අලි ඔළුවා' යැයි බැණ වදින්නේ ගණ දෙවියන්ට හෝ ගජසිංහලාට නොවේ. වන අලි සහ හීලෑ අලි යැයි අලි වර්ග කෙරෙන අතර ඇතැමුන් වන අලින්ට වල් අලි යැයි ගරහන්නේ උන් මොන නො හොබිනා කමක් කළ නිසා දැයි දන්නා අයෙක් නැත. කිසිම හීලෑ අලියෙක් හෙණ්ඩුව ඉදිරියේ අලියා වෙන්න යන්නේ නැත.


ලංකාවේ යටත්විජිත සමයේ අලි අල්ලා විකිණීම මෙන් ම අලි දඩයම ද ජයට ම කෙරිණි. මෙරට අවසන් අලි ගාල මොලමුරේ පරපුරට අයත් පනාමුරේ අලි ගාල ය. 1818 ලංකාවට පැමිණි තෝමස් ස්කිනර් නම් සුද්දා අලි ඇතුන් සිය ගණනක් වෙඩි තබා මරා කළ අලි අපරාධ ලියා තැබුවේ මහත් ආඩම්බරයෙනි. හෝර්ටන්තැන්නේ සුන්දර දිය ඇල්ලක් අදත් හඳුන්වන්නේ තවත් එවැනි ම අලි වැද්දෙකු වූ (සැමුවෙල්) බේකර් නමිනි.

එලෙස අලි සිය ගණනක් මරා දැමූ මේජර් රෝජර්ස් නම් සුද්දා අකුණකින් මිය ගිය අතර සොහොන ද කිහිප වරක් හෙන වැදී විනාශ වූ බව කියවේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුව ද මේ හාදයෝ අලි අපරාධකාරයෝය. වර්තමානයේ ද අවුරුද්දකට දළ සඳහා අප්‍රිකානු අලි පමණක් 30 000ක් මරා දැමේ. එංගලන්ත ආණ්ඩුව පසුගිය ඡන්දයේ දී දේශීය ඇත් දළ වෙළඳපොළ වසා දමන බවට කීවේ අලි බොරුවකි. සිංහල අවුරුද්දට පමණක් පැවැත්වෙන අලි රේස් නතර කිරීමට  මුදල් ලැබෙන්නේ දවස පුරා සූදුවට අශ්වයින් දුවවන රටවලිනි.

අපේ පැරැන්නන් පවසන පරිදි අලි හක්ක දෙහි ඇඹුලින් උරච්චි කොට ආලේප කිරීම කම්මුල් ගායට දිව ඔසුවකි. එහෙත් අද කාලේ මස් වැද්දන් අටවන හක්ක පටස් හැපීමෙන් හකු පුපුරා අලි මියෙති. ක්ෂය රෝගයට ගොදුරු වීමෙන් ද අලි මිය යාම අද අලි ලෙඩකි. අලි මදිවාට හරක් කියන්නේ මේ වගේ අවස්ථාවලය. ලංකාවේ වසරකට අලි 175ක් පමණ මරා දැමුව ද පෙරහැරේ අලි රැගෙන යාමෙන් මහා අලි හිංසනයක් සිදු වන බවට හඬා වැලපෙන අලි අයිතිවාසිකම්කාරයින්ට ඒ ගැන වගේ වගක් නැත. ඒ ඇත්තන් සිතන්නේ පෙරහැරේ යන්න බෑ කියා අලි දුම්රියට බෙල්ල තියන බව ය. මේ අලි ජරමර අස්සේ දළදා පෙරහැරට අවශ්‍ය අලි පන්තිය සපුරා ගැනීමට සිදුව ඇත්තේ පින්නවල අනාථ අලින්ගෙනි. 

අලි ගමන් කරන්නේ පාමංකඩ නොව අලිමංකඩ ය. දැන් බොහෝ අලිමංකඩ ඔස්සේ රේල්ලුව සහ ලොරි බස් දිවීම අලින්ට අලි ප්‍ර‍ශ්නයකි. සිය නිජබිම් සහ අලිමංකඩ අහිමි අලි ගම්වදිති. පෙර කළ අලි මන්තරවලට මෙල්ල වූ අලි දැන් අලි වැටට නොව අලි වෙඩිවලට ද බය නැත. රටේ අලි පිළිබඳ කලින් කලට අලි සමීක්ෂණ සිදුවෙයි. සමහරු අලිගහනය ගැන නොව අලි ජනගහනය ගැන රූපවාහිනියට රේඩියෝවට පැමිණ අලි ටෝක් දෙති. අනුන් කළ වැඩ පෙන්වා 'මේවා අපෙයි අලි හාමිලාගෙයි වැඩ තමා' යැයි කියන කටුසුහාමිලා ඉන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ හීන් සැරය කතන්තර පොතේ පමණක් නොවේ.

අලියා වැටුණු වැව සිටි හේරත් හාමි ගැන ලීවේ විමලරත්න කුමාරගම ය. අලි පේර අලි තරම් විශාල නොවුණ ද අනෙක් පේරවලට වඩා විශාලය. මුහමඩ් අලිජින්නා, මුහමඩ් අලී හෝ සයීෆ් අලිඛාන් යනු අලි නොවුණ ද දැවැන්ත චරිත ය. අලියා නොකන දල්ල සහ අලියා නොයන මඟ කුමක් දැයි අසන තෙරවිලි දෙකක් කුඩාවුන් අතර ජනප්‍රිය ය. ඒවාට උත්තරය ගිනිදැල්ල සහ හිනිමඟ ය. 'අපෝ මතක් කරන්න එපා මිනිහා අලි අමාරුකාරයා'යැයි ගැමියෙකු හඳුන්වන්නේ ඉ‍හෙන් බහින කිසිම ලෙඩක් අමාරුවක් ඇත්තෙකු නොව සටකපට හාදයෙති.

සුදු අලියා යනු ඇලි ඇතෙකු නොව මහජන මුදල් නිකරුනේ කාබාසිනියා කරන රාජ්‍ය ආයතන ය. ඕනෑම ආයතනයක කොට අදින අලි මෙන් පෙරහැරේ යන අලි ද සිටිති. දැන් රටේ කොල අලි මෙන් ම රතු සහ නිල් අලි ද සිටින බව කියති. එකල අලි කොටි ගිවිසුම් ගැන කතා කළ අය අද අලියා ගිල්ල දිවුල් බවට පත්ව ඇතැයි සමහරු සිනාසෙති. ගැමියෝ 'පාරේ අලි නාවන්න පුළුවන් වළවල්' ඇතැයි කියා අලින්ට බැණ වදිති. ඒවාට කැලේ ඉන්න අලි පලි නැත. එවැනි නාටක දකින විට මතක් වන්නේ අලියාගේ වලිගේ එල්ලි දිව්‍ය ලෝකේ යන්න ගිය ගමරාල සහ පිරිසය.


ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්ගේ පක්ෂයේ සලකුණ අලියා ය. හිලරිගේ පක්ෂයේ සලකුණු බූරුවා ය. මැතිවරණයේ දී ජනතාව බූරුවන් යැයි සිතා දෙපිරිස ම ගජබින්න හෙවත් අලි කෙප්ප දෙසා බාන හෙයින් ඒ සලකුණු කදිම ය.  

No comments: