2018-01-18

සිංහල සිංදු කියන කුරුල්ලෝ...

සවස 6.5ට කොළඹ කොටුවේ සිට මාතර බලා ගමන් කරන දුම්රියට මම පසුගිය සඳුදා බම්බලපිටියෙන් නැගුණේ පානදුරට යාමටය. එහි පාපුවරුවේ සිගරට්ටුවක් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි තරුණයන් තිදෙනා වෙත මම නොරුස්නා බැල්මක් හෙළුවේ මට සිගරට් දුම අප්‍රිය නිසා සහ අක්‍රීය දුම්පානය භයානක බව දන්නා නිසා පමණක් නොව පොදු ස්ථානවල දුම්පානය තහනම් නිසාය.

ඒ බැල්මේ අරුත අවබෝධ කරගත් තරුණයකු මෙතෙක් කතා කරමින් සිටි බස එක වරම මාරු කර දෙමළ බසින් සිගරට්ටුව උරමින් සිටි තරුණයාට යමක් කී අතර ඔහු පාපුවරුව දෙසට මාරු විය. මෙතෙක් කිසිදු ⁣වෙනසක් නැතිව සිංහලෙන් කතා කරමින් සිටියේ ජනප්‍රිය අරුතින් සිංහල යැයි හඳුන්වන පිරිසට අයත් නොවන තරුණ පිරිසක් බව ප්‍රථම වරට මා දැනගත්තේ එවිටය. ඔවුන් දෙමළ තරුණයින් බව මගේ අනුමානය විය.

අනතුරුව ආරම්භ වූයේ සංගීත සාජ්ජයකි. ඔවුන් ගැයුවේ සිංහල සින්දුය. අමරදේව, ජෝතිපාල, කපුගේ, සනත්/මල්කාන්ති නන්දසිරිගේ මුලදි බැන්ද, බිම්බරක් සෙනග, හිච්චි නගේ ආදි ගී ඇතුළු බොහෝ ගී ඒ අතර විය. හිතුවක්කාරයි නුඹ නම් සොඳුර වැනි නව ගී ද ඒ අතර විය. අපට අප්‍රිය හිතෙන කරච්චල් ගී කිසිවක් ඔවුන් ගැයූවේ නැති බව උදක්ම කිව යුතුය.

කිසිදු දෙමළ හින්දි ගීයක් ඔවුන් ගැයුවේ නැත. මා අසා නැති ගීත ඒ අතර විය. එවැනි ගීයක එක් කොටසක් වූ 'රට ජාතිය ආගම ගැන හොඳින් ඉගෙන ගන්න ඕන' නම් අන්තරා කොටස මට හොඳින්⁣ මතකය. මා දුම්රියට නගින විට සිගරට්ටුවක් උරමින් සිටි තරුණයා මේ ගී ඉතා මිහිරි ලෙස ගැයුවේය. යාබද සිටගෙන සිටි පිරිසද නිතැතින්ම එහි මිහිරි තාලයට දුම්රිය බිත්තිවලට දොරට තට්ටු කරමින් රාග තාල අල්ලන්නට වූහ. මම ද ඔවුන්ට එක් වුණෙමි.

මා අසල සිට කෙනෙකු මේ අතර තරුණයන්ගේ වගතුග විමසුවේය. ඔවුන් වැලිගම කඩේවත්ත නම් ගමේ මුස්ලිම් තරුණ පිරිසකි. ඔවුන්ගෙන් තොරතුරු විමසූ අයියාගේ මුල් ගමද කඩේවත්තය. දැන් ඔහු කළුතර වෙසෙයි. ඔහු පැවසුවේ එම ගමේ සිංහල ජනතාව සමග මුස්ලිම් ජනතාවද ඉතා සමගියෙනි ජීවත් වන බවය. මේ සමගිය නිසාම ඔවුන් ආගමින් මුස්ලිම් වුවද හොඳින් සිංහල කතා කරන සිංහල සිංදු කියන පිරිසක් බවට පත්ව තිබේ. ඔවුන්ගේ සිගරට් පානය ද ඒ ඇසුරේම අනිටු පලයක් විය හැකිය.

මම ඔවුන්ට සුබ පතා පානදුරෙන් බැස ගියෙමි. ඔවුන් පෙරලා මට සුබ පැතුවේ මහත් ඇල්මකිනි. අපේ රටට මෙවැනි පිරිසක් බිහිකර ගත හැකි නම් දාගැබ් ඩෝසර් කරන අන්තවාදය ඔවුන් ලවා පරාජය කළ හැකිය. මේ පිරිස සිංහල මුස්ලිම්ලා ලෙස හැඳින්වීම වඩා නිවැරදිය.

සිංහල ගීතය උපන් සිංහල සංස්කෘතියට ඔවුන් ක්‍රමයෙන් අවශෝෂණය වෙමින් අැත. අප කළ යුත්තේ ඒ අපූරු නිර්ව්‍යාජ සමගියට සංහිඳියාවට ගල් නොපෙරලා දිය පොහොර සැපයීමය. රටේ අනෙකුත් ප්‍රදේශවලද ඒ සඳහා ඉඩ හසර පෑදීමය. ඊනියා සංහිඳියාව නාමයෙන් කරන සියලු වාර්ගික බෙදීම් ඒ සඳහා මග අවුරාලන මරු වැල්ය.

No comments: