දිනුෂ්ක කළුතර ක්‍රීඩකයින් අමාරුවේ දමයි

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

766

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (10) ජය, පරාජයන් සහ අතහැර දැමීම් සමඟින් අවසන් වන විට දිනුෂ්ක මාලන් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුනා. 

කුරුණෑගල Youth ක්‍රිකට් සමාජය නියෝජනය කරන දකුණතින් වේගපන්දු යවන 28 හැවිරිදි දිනුෂ්ක මාලන්, කළුතර Town සමාජයට එරෙහිව ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. එය ඔහුගේ List  A තරග දිවියේ දැක්වූ හොඳම දක්ෂතාවයි.

පැවති තරග අතරින් කළුතර Town ක්‍රීඩකයන්ට එරෙහිව කුරුණෑගල Youth ක්‍රීඩකයන් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට එරෙහිව පොලිස් ක්‍රීඩකයන් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර Group A කාණ්ඩයෙන් කටුනායක ගුවන් හමුදා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයත්,  Group B කාණ්ඩයෙන් දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Ace Capital ක්‍රිකට් සමාජය සහ Tamil Union ක්‍රිකට් සමාජය අතර තරගයත්, පානදුර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගයත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්හැර දමනු ලැබුවා.

Group A – කළුතර Town සහ කුරුණෑගල Youth (මග්ගොන Surrey ක්‍රීඩාංගණය)

කුරුණෑගල Youth ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්.

කළුතර Town – සියලුම දෙනා දැවී 97 (36.1): විෂාර ප්‍රනාන්දු 18, සෙනාල් ද සිල්වා 26, දිනුෂ්ක මාලන් 4/16, සමිර සඳමාල් 2/22, නවීන් ගුණවර්ධන 2/18.

කුරුණෑගල Youth – කඩුලු 4ක් දැවී 98 (23): සමීර සඳමාල් 36, ධනුෂ්ක ධර්මසිරි 30, ඉන්සක සිරිවර්ධන 2/14.

Group B – පොලිසිය සහ බ්ලූම්ෆීල්ඩ් (තිඹිරිගස්යාය)

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්. 

බ්ලූම්ෆීල්ඩ් – සියලුම දෙනා දැවී 136 (31.5): යොහාන් ද සිල්වා 30, චරිත කුමාරසිංහ 25, සනෝජ් දර්ශික 20, නලින් ප්‍රියදර්ශන 2/30, සුපුන් මධුශංක 3/25.

පොලිසිය – කඩුලු 6ක් දැවී 137 (28.5): තිලකරත්න සම්පත් 26, දෙනුවන් රාජකරුණා 29, චාමර සිල්වා නොදැවී 23, මධුක ලියනපතිරණගේ 3/35.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<