Main Logo

Wednesday 10 November 2021

පස්ස පච්චයා වේදනා හා ස්වෛරීභාවය

 

පස්ස පච්චයා වේදනා හා ස්වෛරීභාවය 

 

අද තරම් දේශප්‍රේමීන් මෙරට කිසි දා නොසිටින්න ඇතැයි සිතනවා. සජිත් ප්‍රේමදාස දේශප්‍රේමීන්ගේ නායකයා බවට පත් වෙලා. මට තේරෙන විධියට ඔහු රටේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පුදන්න වුණත් සූදානම්. ඔහු දිවි පිදුවෛාත් නම් රටේ ස්වෛරීභාවය රැකේවි කියල කට කැඩිච්ච කතාවක් කියන්න ඕන නැහැ.  මේ දේශප්‍රේමින් ඇති වෙලා තියෙන්නෙ අර චීන පොහොර නැවට විරුද්ධව. චීනයේ Qingdao Seawin Biotech Group Co. නම් සමාගමෙන් අප ගෙන්වා ගත් කාබනික පොහොරවල අහිතකර ක්‍ෂුද්‍රජීවීන් ඇති නිසා ඒ භාර ගැනීම ආණ්ඩුව ප්‍රතික්‍ෂෙප කරලා. චීන සමාගම කියන්නෙ පොහොරවල අහිතකර ක්‍ෂුද්‍රජීවීන් නැහැ කියලා.

 

චීන සමාගම ඉල්ලා හිටියා තුන්වැනි පාර්ශ්වයක් ලවා පොහොර තොගය පරීක්‍ෂා කරවන්න කියා. මුල දී ආණ්ඩුව ඒ යෝජනාවට කැමැත්තක් දැක්වුවත් ඇති වූ විරෝධය නිසා එයට එකඟ නොවන බව කියනවා. චීන සමාගම මේ පොහොර අපට එවා ඇත්තේ මහජන බැංකුව නිකුත් කළ ණයවර ලිපියක් (LC) පදනම් කර ගෙන. සමාගම තමන්ට ගෙවිය යුතු මුදල ඉල්ලනවා. මහජන බැංකුවට අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කරල ගෙවීම නොකරණ ලෙස. බැංකුවට දැන් ඒ මුදල ගෙවන්න බැහැ. චීන සමාගමට අධිකරණ නියෝගය අදාළ නැහැ. ඔවුන් මහජන බැංකුව ඊනියා අසාදු ලේඛනයකට ඇතුල් කරලා. මේ ලේඛනය අසාදු ලේඛනය කියා හඳුන්වන්නේ මොකද කියා මට තේරෙන්නේ නැහැ. ඉංගිරිසියෙන් එය black list කියා හඳුන්වනවා.

 

අද පොහොර රැගත් නැව පාණදුරේ පැත්තේ මුහුදේ කැරකෙනවා කියනවා. ආණ්ඩුව ඒ නැවට වරායට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියනවා. පොහොර නැව චීනයෙන් පිටත් වීමට පෙර පොහොර නියැදි පරීක්‍ෂා නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනෙක් ද්‍රව්‍ය ආනයන කිරීමේදීත් එසේ වනවා දැයි මා දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් එය ප්‍රශ්නයක්. අප කළ යුත්තේ ණයවර ලිපිය නිකුත් කිරීමේ දී වරද කළ අය කවුදැයි සොයා ගැනීමයි. අපට චීන සමාගමට ඒ අදාළ මුදල ගෙවන්න වෙනවා. සමාගම ඒ මදිවාට මෙරට පෙහොර නියැදි පරීක්‍ෂා කළ ආයතනයෙන් වන්දි ඉල්ලනවා.  මා හිතනවා චීන සමාගමට අදාළ මුදල ගෙවුවොත් ඔය වන්දි ඉල්ලීම සමහර විට අස්කරවා ගන්න පුළුවන් වේවි. එපමණක් නොව මහජන බැංකුව අර ඊනියා අසාදු ලේඛනයෙන් ඉවත් කර ගන්නත් පුළුවන් වේවි. චීන සමාගම කටයුතු කර ඇත්තේ අප රටේ ස්වෛරීභාවයට හානියක් වෙන අන්දමට නො වෙයි.  ඒ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමක්.

 

අපට මේ ගණුදෙනුවෙන් විශාල පාඩුවක් වෙනවා. එයට වරද ඇත්තේ ණයවර ලිපි නිකුත් කිරීමේ ක්‍රියාවලියේ. මින් මතුවටවත් එවැනි වරද නොකෙරෙන බවට වග බලා ගන්න ඕන. මා චීන ගැත්තකු නො වෙයි. චීනය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් හා වරාය නගරය (පෝට් සිටි) සම්බන්ධයෙන් ඇති කර ගෙන තියෙන ගිවිසුම් මා අනුමත කරන්නේ නැහැ. එසේ ම මා ඉන්දීය ගැත්තකුවත් බටහිර ගැත්තකුවත් නො වෙයි. එම්සීසී ගිවිසුමටත් මා විරුද්ධයි. එහෙත් මට තියෙන ප්‍රශ්නය රනිල් සජිත් අනුර චම්පක මෛත්‍රිපාල පිරිස එම්සීසී ගිවිසුමට විරුද්ධ නොවීම. දින පනස් දෙකේ ආණ්ඩුව 2017 ඔක්තෝම්බරයේ ඇති නොවන්න ඒ දෙසැම්බරයේ එම්සීසී ගිවිසුම අත්සන් කෙරෙනවා.

 

මේ සියලු ගිවිසුම්වලට මුල අප ණය ගැති රටක් වීම. 1948 අප යම් නිදහසක් ලබන විට අපට යහපත් විදේශ මුදල් සංචිතයක් තිබුණා. ඒත් අප ඒ මුදල් ආනයන සඳහා වියදම් කළා. 1960 වන විට අපට ණය ගන්නට වුණා. 1970 බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව මෙරට නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් ආනයන කපා දැමීමටත් උත්සාහ ගත් නමුත් එවකටත් යම් ප්‍රමාණයකට ප්‍රසාරණය වී තිබූ මධ්‍යම පංතිය එයට විරුද්ධ වුණා. ඔවුන් ජේ ආර්ගේ ඇට අටට රැවටුණා.

 

ජේ ආර් සමග ප්‍රශ්න තව තවත් වැඩි වුණා. අර සිමෙන්ති කම්මල්වලට හා වෙනත් කම්මල්වලට මොකද වුණේ. අද සිමෙන්ති රුපියල් 1500ට නැගලා. මහරගම ඒ මුදලටත් ගන්න නැහැ. ඩොලර් සංචිතය දැන් බිංදුවට ළඟා වෙලා. වසංගතය සමග ඩොලර් හිඟය අර්බුදයක් බවට පත් වෙලා. කළ දුටු කළ වල ඉහගන්නට ජෝසෆ් ස්ටැලින්ලා මහින්ද ජයසිංහලා සුනිල් රත්නප්‍රියලා රවි කුමුදේශ්ලා ඉදිරිපත් වෙලා. ඒත් ඉහගන්න වලක් නැහැ. වලේ වතුර නැහැ. වලේ වැටෙන්න පමණක් පුළුවන්.

 

ජනතාවට දෙවියන්ගෙ පිහිටක්වත් නැහැ. රට අධාර්මික වෙලා. දෙවියන් අපේ මුහුණ බලන්නේ නැහැ. බෙංගාල බොක්ක නෙසෑහෙන්න කැළඹිලා. අපේ නිෂ්පාදන අඩු වීම නිසා බංග්ලා දේශයට වාසි වෙලා. එහි ස්ටැලින්ලා රත්නප්‍රියලා ජයසිංහලා කුමුදේශ්ලා නැහැ. මේ කිසිවකුට යමපාලන කාලෙ ප්‍රශ්න තිබුණෙ නැහැ. අප අපේ වත්කමට වඩා වියදම් කිරීම ප්‍රශ්නවලට මුලයි. හැත්තෑවේ දශකයේ අප කට්ට කෑමට සූදානම් නොවූ නිසා දැන් ලෙව කන්නවත් කට්ටක් නැහැ. 

 

මේ සියල්ල අතර එක්සත් ජනපදවල තානාපතිවරු ඉන්දියාවේ මහා කොමසාරිස්වරු අපේ ප්‍රශ්නවලට ඇඟිලි ගහනවා. සුමන්තිරන් හා තව දෙදෙනෙක් දෙමළ ජනතාවගේ ඊනියා ප්‍රශ්න විසඳීමට වොෂිංටන් යෑමට සැරසෙනවා. දැන් මේ කටයුතුවලින් සිදු වන්නේ අප ඒ රටවල ස්වෛරිභාවයට ඇඟිලි ගැසීම ද? එංගලන්තය ඉන්දියාව හා එක්සත් ජනපද තරම් අපේ රටේ ස්වෛරීභාවයට හානි කරන වෙනත් රටවල් නැහැ. රනිල් සජිත් අනුර චම්පක ඒ ගැන නිහඬයි. ඒ ඔවුන් නිවටයන් නිසා ද? අර වමාලා හා සකර්බර්ග් පඬි නැට්ටන් ද ඒ ගැන සද්දයක් නැහැ.

 

වෙනත් රටවල් අපේ ඔළුවට අත හෝදන්නේ අපේ නිවටකම නිසා. අප බොරු ආඩම්බර කාරයන්. පස්ස පැත්ත කසා ගන්න නියපොත්ත නැති වුණත් අපේ ඔළුව ඉදිමිලා. අපට ෂැම්පු නැතිව බැහැ. ඵස්ස පච්චයා වෙදනා අපට තේරෙන්නේ නැහැ. අප දන්නේ පස්ස පච්චයා වේදනා ද?