කෝඩුකාරයන්ගේ ක්‍රිකට් වික්‍රමය

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

594

7 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ගමන නිමා වෙන්නේ පළමු කාණ්ඩයේ සිව්වැනි තැන හිමිකර ගනිමින්. එය ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් සේ සැලකිය හැකියි. ඒ, අප කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වන විට සිටි ස්ථානය සහ නිමාවේ දී ලත් ස්ථානය ගැන සැලකිලිමත් වීමේ දී.

ශ්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන්නේ මෙරට ප්‍රේක්ෂකයන්ගෙන් ක්‍රිකට් ප්‍රතික්ෂේප වෙමින් පැවතෙද්දී. ශ්‍රී ලංකාව සහභාගී වූ ආසන්නතම තරගාවලි 10ක තරග 29කින් ජයග්‍රහණය කරන්නේ තරග 7ක් පමණයි. එය මේ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රබල කාරණයක් වූවා. එමෙන් ම කණ්ඩායමේ වරින්වර සිදු වූ වෙනස් වීම් අසාර්ථක වීම ද ඊට තවත් හේතුවක්.

ෆීනික්ස් කුරුල්ලාගේ තියරිය

ඇතැම් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ දවා අළු කර තිබූ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ නැගීම මේ කපේ දී සිදු වෙතැයි කිසිවෙක් සිතුවේ නැහැ. ඒ බැව් පේන තෙක් මානයක සලකුණක් හෝ තිබුණේ ද නැහැ. එසේ වෙද්දී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුවේ විශ්වාසය දිනා ගත්තේ නවකයන් රැසකගෙන් යුත් මේ කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම; දසුන් ශානක (නායක) ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, අකිල දනංජය, බිනුර ප්‍රනාන්දු

එතැන දී ද නොකියැවුණ කතාවක් නැහැ. ඒ වෙද්දීත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලබා තිබීම මේ කතාවලට තවත් හේතුවක් වුනා. ‘ලෙහෙසි වෙන්නේ  නැහැ’ බොහෝ  දෙනෙක් ක්‍රිකට් කතාව අවසන් කළේ එවැන්නකින්.

එවන් තත්ත්වයක් පවතිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි රාජ්‍යයට යන්නේ ලෝක කුසලානයේ, කුසලාන තරගාවලිය කෙසේ වෙතත් පළමු ව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සාර්ථකව  මුහුණ දීමටයි.

තමන් සහභාගී වූ පළමු තරගයේ දී ම මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙනවා. එය ෆීනික්ස් කුරුල්ලා සේ ලැබූ නැවත ජීවයක්. ෆීනික්ස් කුරුල්ලාගේ කතාව අනුව අපි දන්නේ ‘ඌ ඉර වෙත පියාඹනවා, ඒ ගිහින් පිච්චිලා අළු වෙනවා. ඌ නැවත ඒ අළු මතින් ම උපදිනවා’ කියලයි. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ද මේ සිදු වූයේ එවැන්නක් ම නොවේ ද?

  • ශ්‍රී ලංකා කණ්ඩායමේ 2021 ලෝක කුසලාන ගමන් මග…
Vs Results
නැමීබියාව ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
අයර්ලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක්
නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්
බංග්ලාදේශය ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්
එංගලන්තය එංගලන්තයට ලකුණු 26ක ජයක්
බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

මේ ගමන් මගේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් වූ අතපසු වීම් කිහිපයක් හේතුවෙන් ඔවුන්ගේ ගමන මෙතැකින් නිමා වෙනවා. එය මඟ හරවා ගැනීමට නායක දසුන් ශානක හා කණ්ඩායම සමත් වී නම් මේ සටහන මෙලෙස තැබෙන්නේ නැහැ. එහි වෙනත් මාතෘකාවක් තිබේවි. කෙසේ වෙතත් සිටි තැනින් උසස් වීම් ලැබීමට ලැබූ මේ ජයග්‍රහණ පිටුපස සිටි දැවැන්තයෝ ලෝක කුසලාන තරගාවලියට කෝඩුකාරයන් වීම දෛවෝපගතයි.

  • ලෝක කුසලාන තරගාවලියේ පිතිකරු දක්ෂතා.,
Player M I NO Runs HS Ave 50 4s 6s
චරිත් අසලංක 6 6 1 231 80* 46.20 2 23 9
පැතුම් නිස්සංක 8 8 0 221 72 27.62 3 19 5
භානුක රාජපක්ෂ 8 6 2 155 53 38.75 1 13 8
කුසල් පෙරේරා 8 8 1 123 35 17.57 0 15 2
වනිඳු හසරංග 8 5 0 119 71 23.80 1 15 2
  • ලෝක කුසලානයේ පන්දු යැවීමේ දක්ෂතා..
Player M I Over M Runs Wkts Best
වනිඳු හසරංග 8 8 30.0 0 156 16 3/09
මහීෂ් තික්ෂණ 7 7 25.0 0 137 8 3/17
ලහිරු කුමාර 7 7 25.2 1 194 8 3/07
දුෂ්මන්ත චමීර 8 8 28.0 0 223 7 2/27
චාමික කරුණාරත්න 8 8 22.3 0 165 6 2/27
  • වනිඳු හසරංග

එහි පළමු වැන්නා වන්නේ 24 හැවිරිදි දකුණතින් පා දඟපන්දු යැවූ වනිඳු හසරංගයි. පිතිකරුවෙක් ලෙසින් ද විශ්වාසය දිනා ඇති වනිඳු මේ තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කණ්ඩායමට දැක් වූ දායකත්වය සුවිශේෂයි.

ඔහු මේ තරගාවලියේ දී ඉනිම 5ක දී ලකුණු 119ක් රැස් කරන අතර එය ශ්‍රී ලංකා ලැයිස්තුවේ 5 වැනි තැන ගන්නවා. එමෙන් ම පන්දු යවන්නෙක් ලෙසින් දවා ගන්නා ලද කඩුලු 16 මෙතෙක් ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩකයෙක් ලබා ගන්නා ලද වැඩිම කඩුලු ප්‍රමාණයයි.

මේ වාර්තාව මීට පෙර සතු කරගෙන සිටියේ 2012/13 වසරේ මෙරට දී පැවැති ලෝක කුසලානයේ දී අජන්ත මෙන්ඩිස් තරග 6ක දී වාර්තා කළ කඩුලු 15යි. ඒ අනුව එම ලෝක ලැයිස්තුවේ පළමු සහ දෙවැනි ස්ථාන දෙක ම අප සතු වෙනවා.

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය ඕස්ට්‍රේලියාවේ Brett Lee විසින් 2007 වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැති පළමු ලෝක කුසලානයේ දී බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන අතර දෙවැන්න වන්නේ වනිඳු දකුණු අප්‍රිකාවට එරෙහිව මෙවර ලබාගත් කඩුලු ත්‍රිත්වයයි.එමෙන් ම වනිඳු මෙවර ලෝක කුසලානයේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් පැතුම් නිස්සංක හා එක් ව අයර්ලන්තයට එරෙහිව 4 වැනි කඩුල්ලට ලකුණු 123ක සබඳතාවක් ගොඩ නගනවා. එය විස්සයි විස්ස තරග ඉතිහාසයේ එම කඩුල්ලට එක් වූ ඉහළ ම සබඳතාවයි.

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ එංගලන්තයේ Alex Hales සහ Eoin Morgen එක්ව පල්ලෙකැලේ දී පැවැති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2012 ලෝක කුසලාන තරගයේ දී වාර්තා කරන ලද ලකුණු 107යි.

වනිඳු සහභාගී වු මංගල ලෝක කුසලාන තරගාවලියේ දී ම දැක් වූ මේ දක්ෂතාවලට අමතර ව ඔහු විස්සයි විස්ස පිටියේ කඩුලු 50 සීමාව පසු කිරීමත් සහ ලෝකයේ අංක එකේ පන්දු යවන්නා ලෙසින් ශ්‍රේණිගත වීම ද සුවිශේෂී වේ.

  • චරිත් අසලංක සහ පැතුම් නිස්සංක

ශ්‍රී ලංකා කණ්ඩායම සොයා ගත් නවක ම තරු දෙක චරිත් සහ පැතුම් ලෙස අවිවාදයෙන් තොරව හඳුන්වන්න පුළුවන්. තරගාවලිය පුරා ඔවුන් දැක්වූ දක්ෂතා කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් අප දුටුවේ නැහැ. ප්‍රතිවාදී පීඩනය හමුවේ වුව මනා ලෙස පිතිකරණයේ යෙදුණ මොවුන් ගැන අදටත් වඩා අපට කතා කළ හැක්කේ අනාගතයේ දීයි.

මේ අතරින් 24 හැවිරිදි වමතින් පිතිකරණයේ යෙදෙන චරිත්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී සොයා ගත් වටිනා ම පිතිකරුවායි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 ස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අඩුව මඟ හැරීමට කදිම පිළිතුරක් වූ චරිත් මෙම තරගාවලියේ දී ඉනිම් 6ක දී ලකුණු 231ක් ලබා ගනිමින් මෙරට පිතිකරුවන් අතුරින් ප්‍රමුඛයා වෙනවා.එමෙන් ම 23 හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් නිස්සංකගේ දක්ෂතා ද මෙවර වඩාත් කැපී පෙනුණා. ආරම්භක පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි පැතුම්, විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් කාගේත් ඇගයීමට ලක් වීම වැදගත්.

තමන් මුහුණ දුන් ඉනිම 8න් ඉනිම් 3කදී ම අර්ධ ශතක ඉනිම් වාර්තා කළ පැතුම් මෙතෙක් ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් ලෝක කුසලාන තරගාවලියක වාර්තා කළ වැඩිම අර්ධ ශතක ප්‍රමාණයේ සම ස්ථානයට පත් වුනා. එහි ප්‍රමුඛයා වූයේ 2009 ලෝක කුසලානයේ දී අර්ධ ශතක තුනක් රැස් කළ තිලකරත්න ඩිල්ශාන්.

  • මහීෂ් තීක්ෂණ

තවමත් 21 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟපන්දු යවන මහීෂ් තමන් මුහුණ දුන් මංගල තරගයේ මංගල පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ සංචිතයේ නවතම පෙරළිකාරයා බවට පත් වීමට සමත් වුනා.එමෙන් ම තම කෝඩුකාර තරගයේ දී ම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද මහීෂ් සමත් වීම ඔහුගේ දක්ෂතාවලට ලැබූ අගනා තිළිණයක්. එමෙන් ම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට අගනා සම්පතක් බැව් මේ තරගාවලියේ දී ඒත්තු ගැන්වුවා.

  • භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයන් අතරේ සිටින භානුක සහ චාමික මෙවර තරගාවලියේ දී තමන්ට ලද අවස්ථාවල දැක් වූ දක්ෂතා සම්බන්ධයෙන් නැවත නැවතත් විමසිය යුතු වෙනවා.

 භානුක පිතිකරුවෙක් ලෙස කාගේත් විශ්වාසය දිනා සිටියත්, ඔහු එක දිගට එකී විශ්වාසය රඳවා ගැනීමට සමත් නොවීම දුර්වලතාවයක්. ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙස භානුකගෙන් වන යුතුකම මනා ලෙස වටහා ගන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් මැදපෙළක් බිහි කිරිමට එය ඉවහල් වනු ඇත.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන චාමිකගෙන් ද තම දක්ෂතා පිබිදීමේ දී මීට වඩා සංයමයක් තිබිය යුතු යැයි අපගේ විශ්වාසයයි. පිතිකරණයේ දී අවසන් පිතිකරුවන් ද ආරක්ෂා කර ගනිමින් ඉනිම් ගොඩ ගැනීමේ කාර්යයේ යෙදීම චාමිකගේ ප්‍රමුඛ කාර්ය බැව් වටහා ගත යුතුයි. පන්දු යවන්නෙක් ලෙසින් චාමිකගෙන් මිට වඩා සේවයක් ලබා ගත්තා නම් වඩාත් සුදුසු බැව් ද සිතේ.

  • දසුන් ශානක

මේ සියල්ලන් සමඟින් නායක දසුන් ශානක දැක් වූ දක්ෂතා ද වඩා වැදගත් තැනක තිබේ. විශේෂයෙන් ම පන්දු රකින්නෙක් ලෙසින් තරගාවලිය පුරා දසුන්ගේ දක්ෂතා ඉහළ තැනක තිබුණා. නමුත් පිතිකරුවෙක් ලෙසින් දසුන්ට මීට වඩා යමක් කණ්ඩායමට කළ යුතුව තිබුණා. එහි අඩුව වඩාත් දැනෙන්නේ ඇතැම් තරගවල විසඳුම අපෙන් ගිලිහුණ අයුරු විමර්ශනය කිරීමේ දීයි.

 එමෙන් ම තරග ක්‍රියාත්මක වෙමින් පැවැති ඇතැම් තැන්වල දී ගත් තීරණ කෙරෙහි ද දසුන්ට මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණා. ඇතැම් විට ඒ තීරණාත්මක අවස්ථාවල ප්‍රවිනයන් කිසිවෙක් නොමැති වීම ද දසුන්ට අවාසිසහගත වන්නට ඇත.

කෙසේ වෙතත් දසුන්ගේ මේ ක්‍රිකට් වික්‍රමය සුවිශේෂයි. නවකයෝ රැසක් පිරිවරා ගනිමින් ගිය මේ ගමන නැවත ක්‍රිකට් ප්‍රේක්ෂකයා ක්‍රිකට් කෙරෙහි නැඹුරුවක් ඇති කිරීමට සමත් වුවා. එය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇතැයි ThePapare.com අපගේ විශ්වාසයයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගවලත් උණුසුම විදින්න රැදී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<