Wadduwakal Causeway

සුන්දර ඉංගිරිසි: කෝස්සේ පාලම

අජිත් පැරකුම් ජයසිංහ

මේ සටහන ලියන්නට හිතුණෙ ලංකාදීපෙ පළවූ මේ ප්‍රවෘත්තිය දැකලායි. මේ ලේඛකයා හා ප්‍රවෘත්තිය සංස්කරණය කළ උප කර්තෘ, එය අනුමත කළ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ හා ප්‍රධාන කර්තෘ පවා සමහරවිට හිතනවා ඇති කෝස්සේ පාලම කියන්නේ කැලනි පාලම වගේ යෙදුමක්ය කියලා.

ඇත්තටම මෙතන තියෙන්නෙ කෝස්වේ (causeway) කියන වචනය. සාමාන්‍යයෙන් එහි තේරුම තෙත් බිමක් ඉහළින් ඉදිකළ පාර කියන එක. කෝස්වේ එකක් පාලමක් තරම් ආරක්ෂිත නැහැ. ඒක හදලා තියෙන්නෙම වතුර වැඩිවුණොත් ඉහළින් වතුර ගලායන්නටයි. ඒ නිසා බොහෝ කෝස්වේ නිතර වතුරට යටවෙනවා.

ඒ වුණාට ඒ වෙනුවෙන් සිංහල ව්‍යවහාරයේ තිබෙන වචනය කෝසුවයි. මේ තියෙන්නෙ ඒ වචනය භාවිතා කරමින් දිනමිණ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක ශීර්ෂ පාඨය: ගෝනතලාව ගඟ හරහා ඉදිකළ කෝසුව කැඩිලා: ගමනාගමනයට බාධා

මුල් ඡායාරූපයේ දැක්වුණේ යුද හමුදා වෙබ් අඩවියෙන් ගත්ත කෝසුවක පිංතූරයක්. ස්ථානය වඩ්ඩුවාකල්. දැන් මේ තැන් වෙනස් වෙලා ඇති.

වියළි කලාපෙ අතුරු පාරවල හමුවන තවත් පාලම් වර්ගයක් තමයි සපත්තු පාලම් කියන්නෙ. ඒ වචන දෙකත් ඉංග්‍රීසි shoe bridge කියන වචනෙන් පරිවර්තනය කරගත් යෙදුමක්. සපත්තු පාලම හදලා තියෙන්නෙ හැමදාමත් වගේ වතුර බැහැලා යන්නට පුළුවන් විදියට පාර තරමක් පහත් කරලායි. එතකොට සපත්තු පාලමක් උඩින් යන වාහනයට පහළට බැහැලා අඟල් කීපයක් වතුරේ යන්නට සිදුවෙනවා. පහත දැක්වෙන්නේ එහෙම සපත්තු පාලමක පිංතූරයක්. එළුවන්කුලම සපත්තු පාලම Ceylon Today පුවත්පතෙන් තමයි ඡායාරූපය උපුටාගත්තෙ.

මීට කලින් ලිව්ව සුන්දර ඉංගිරිසි ලිපිය මෙතැනින් සුන්දර ඉංගිරිසි: බකප් එක