ඔවුන් අපිට කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නැහැ – Virat Kohli

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

179

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ප්‍රතිවාදීන් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තාන ඊයේ (24) සිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළා. එහි දී ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට පාකිස්තානය සමත් වුනා.

ඊයේ තරගයෙන් අනතුරුව ඉන්දීය නායක Virat Kohli තරගයේ දී තම කණ්ඩායමෙන් සිදු වූ අඩුපාඩු පිළිබඳව අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ තරගයේ මුල් පන්දුවාර කීපය තුල කඩුලු අහිමි වීම තම කණ්ඩායමේ පසුබෑමට හේතු වූ බවයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 6ක් තුළ දවා ගැනීමට Shaheen Afridi සමත් වුනා. එහි දී KL Rahul ලකුණු 3කටත්, Rohit Sharma ලකුණු 0කටත් දවා ගැනීමට ඔහු සමත් වුනා. ඉනිම නිමා වන විට ඉන්දීය කණ්ඩායම ලකුණු 151ක් සිය ලකුණු පුවරුවට එක්කර ගැනීමට සමත් වුනා. ඒ නායක Virat Kohli වාර්තා කළ ලකුණු 57ත් සමඟින්.

ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ජයග්‍රහණය වාර්තා කළේ කිසිදු කඩුල්ලක් නොදැවී වීම විශේෂත්වයක්. තණතීරුව මත යම් පින්නක තත්ත්වයක් පැවතුණ ද, Mohammed Rizwan සහ Babar Azam දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

ඉන්දීය ඉනිමේ powerplay පන්දුවාර අවසන් වන විට ඔවුන් කඩුලු 3කට ලකුණු 36ක් ලබා සිටි අතර පන්දුවාර 10 තුල දී ඔවුන් ලබාගෙන තිබුණේ ලකුණු 60ක් පමණයි. ඉන් අනතුරුව පිටියේ එක්වූ නායක Virat Kohli සහ Rishabh Pant ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහල නැංවීමට සමත් වුනා. ඉන්දීය කණ්ඩායම අවසන් පන්දුවාර 5 තුළ දී ලකුණු 51ක් වාර්තා කර තිබුණා.

“අපි නිවැරදිව අපේ සැලසුම් ක්‍රියාත්මක කළේ නැහැ. ඒකේ සම්පූර්ණ ගෞරවය ඔවුන්ට දෙන්න ඕනේ. ඔවුන් අපිව සම්පූර්ණයෙන්ම අසාර්ථක කළා. ඔවුන් පන්දු යැවීමේ දී හොඳ ආරම්භයක් ලබා ගත්තා. ලකුණු 20කට කඩුලු තුනක් දැවී යනවා කියන්නේ හොඳ ආරම්භයක් නෙමෙයි. අපිට ඕනේ වුනා ඔවුන්ගේ ඉක්මන් කඩුලු කීපයක් ලබාගන්න. ඒත් පිතිකරණයේ දී ඔවුන් අපිට කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

පිතිකරණය ගත්තම අපි මුල් පන්දුවාර 10 ඉතාමත් හෙමින් ක්‍රීඩා කළේ. අවසන් පන්දුවාරවල දී පන්දුවට පහර දෙන්න තරමක් පහසු වුනා. අපි උත්සාහ කළේ වැඩිපුර ලකුණු 15-20ක් ලබා ගන්න. ඒත් පාකිස්තාන පන්දු යවන්නන් ඒකට ඉඩ ලබා දුන්නේ නැහැ.”

Shaheen අලුත් පන්දුවෙන් විශිෂ්ට විදිහට පන්දු යැවුවා. ඔහු නිවැරදි තැන්වල පන්දු පතිත කරලා කඩුලු ලබා ගත්තා. විස්සයි විස්ස තරගවල දී කඩුලු ලබාගන්න හරිම තැනට පන්දු යවන්න ඕනේ. ඔහු ඒක කළා. ඒකේ ගෞරවය ඔහුට හිමිවෙන්න ඕනේ.”

සිය පරාජය පිළිබඳව අදහස් දක්වමින් නායක Virat Kohli පවසා සිටියේ තම කණ්ඩායමට තවත් එක් පන්දු යවන්නෙකු සිටියේ නම් විශාල උදව්වක් වීමට ඉඩ තිබූ බවයි.

“තර්කයක් තියනවා තවත් දඟපන්දු යවන්නෙකු යොදාගත්තා නම් කණ්ඩායමට උදව්වක් වෙන්න තිබුණා කියලා. ඒත් අපි තණතීරුව දිහා බලන්න ඕනේ. මේ පින්න එක්ක දඟපන්දු යවන්නෙකුට සාර්ථක වෙන්න තියන ඉඩ අඩුයි. අපි අපේ උපරිමයෙන් උත්සාහ කළා. අපි ගොඩක් උත්සාහ කළා ඔවුන්ට පීඩනය එල්ල කරන්න. ඒත් ඔවුන්ට ඒවට පිළිතුරු තිබුණා. මම හිතන්නේ ඔවුන් අපිට වඩා දක්ෂ විදිහට ක්‍රීඩා කළා කියලා පිළිගන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ.”

ඉන්දීය කණ්ඩායම මීළඟ තරගය සඳහා නවසීලන්තය සමඟින් තරග වැදීමට නියමිතයි. එම තරගය සඳහා තවත් දින 6ක් ඉතිරිව තිබෙනවා.

එම දින 6ක කාලය ක්‍රීඩකයන්ට මෙම පරාජිත මානසිකත්වයෙන් මිදීමට උදව් වනු ඇතැයි Virat Kohli පවසා සිටියා.

“මම හිතන්නේ මේ දවස් හය අපිට ගොඩක් වැදගත්. ක්‍රීඩකයන් හැමෝම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරලා මහන්සි වෙලා ඉන්නේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙන්න ලොකු උදව්වක් වුනා. මේ නිසා අපිට ලැබිලා තියන දවස් 6 ක කාලය ගොඩක් ප්‍රයෝජනවත්.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් උද්වේගකර තරගාවලියක්. මේ දවස් හය ගොඩක් ප්‍රයෝජනවත් වේවි අපිට කණ්ඩායමක් විදිහට නැවතත් සංවිධානය වෙලා තරගාවලියට මුහුණ දෙන්න.

මේ කාලය තුළ අපි උනන්දුවෙන් පුහුණුවීම් කරලා අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට දැන් ඕනේ වෙන්නේ අපි ගැන තියන විශ්වාසය. මම විශ්වාස කරනවා අපේ හැකියාව එක්ක මේ දවස් කීපය තුල අපිට ධනාත්මකව තරගාවලියට එක්වෙන්න පුළුවන් වේවි කියලා.”

Cricbuzz ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<