Oh My God 1.0 ( Katharagama Version)


මම සාමාන්‍යයෙන් දේවාල වලට ගොස් වැදුම් පිදුම් නොකරන කෙනෙක්. ඒකට හේතුව මම මේ ලිපිය පසුවට පැහැදිලි කරන්නම්. කොහොම හරි මම දේවාල වලට යන්නෙනෑ කියල තීරණය කරේ මම 5වසරේ ඉන්න කාලෙදි විතර. නමුත් අම්මලා මම වෙනුවෙන් බාර හාර උනා කිව්වම විතරක් නම් ඒක ඔප්පු කරන්න ඕනි නිසා ගියා. නමුත් මගෙනුත් අහල නෙවෙයි එයාලා එහෙම දෙවියන්ට බාරවෙලා තියෙන්නේ.

කොහොමහරි මම අද මේ ලිපිය ලියන්නෙත් කතරගම පූජා නගරයේ ඉදලා. මේපාර කතරගම ආවෙත් මගේ නෑදෑ පිරිසක් එක්ක, එයාලට මාව එක්ක එන්නම ඕනිලු, ඉතින් මම හිත් රිද්දන්න බැරි නිසා ආවා. ඒත් මගේ හිතේ පුන්චි සතුටක් තිබුනා මට හිතේ හැටියට කිරි වෙහෙර වැදපුදාගන්න අවුරුදු 7කට පස්සෙ විතර ලැබෙනවා නේද කියලා.

එහෙනම් මම අද දවසෙදි කතරගම පූජාභුමියට ඇවිත් කරපු කියපු දැකපු දේ ඔයාලත් එක්ක බෙදා හදාගන්නම්. ඒතුලින් ඔයාලටත් යමක් ජීවිතයට ගන්න පුළුවන් වේවි කියල මම හිතනවා. මේ ලිපිය මධ්‍යස්ථ මනසකින් කියවන්න, නැතුව දේව භක්තියෙන් අන්ධවෙලා මට පොල් ගහන්න මිරිස් අබරන්න, සාප කරන්න එපා. මොකද මම දෙවියන් විශ්වාස කරනවා නමුත් වර්ථමාන දේව වන්දනාව නම් පිලිකුලෙන් හෙලාදකිනවා.

අපි වන්දනා නඩය කතරගමට ආවේ දවල් 2 ට විතර, ‍රැට නවතින්න තැනකුත් හොයාගෙන අපි මුලින් මහන්සිය නිවාගෙන පිරිසිදුවෙලා හවස පූජාවට එන්න පිටත් වුනා. ඒ අතරේ මහා ධාරානිපාත වැස්සකුත් වැ‍ටුනා. මිනිස්සු කියන හැටියට මාස 5ක විතර නියගයකට පස්සෙලු වැස්සක් ආවේ.

කොහොමහරි අපි ආපු වාහනය පාක් එකකට දාන්න හැදුවා විතරයි, මෙන්න කොහෙද ඉදපු කොල්ලො කුරුට්ටො ටිකක් දුවගෙන ඇවිත් අපිව වටකරගත්ත. මම හිතුවේ අපිට මොකක් හරි වැ‍රැද්දක් වෙලා ඇති, මුන් අපිට කෙලින්න බලාගෙන තමයි වටවුනේ කියලා. මොකද සමහර කොල්ලෝ අතේ පිහි එහෙමත් තිබුනා.

මෙන්න උන් කියාපි වාහනේ ඉස්සරහට ගන්නලු, එයාලගේ පලතුරු කඩේ ගාව නවත්තන්නලු, පුදුම ආදරයක්. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොට. මුන් පිහි අරන් ඇවිත් තියෙන්නේ පලතුරු වට්ටියට පලතුරු කපන ගමන්මයි. මම හිතුවේ අපි වාහනෙන බැස්සම අපිව ඉබලා කරෙත් තියගෙන දේවාලේ ගාවට යාවි කියලා. පුදුම ආදරයක් තියෙන්නේ ලොකු වාහනවල එන පින්වතුන්ට. මොකද ලොකු පලතුරු වට්ටියක් හදාවාගන්නවා කියලත් දන්නවානේ. හැබැයි බස් එකේ එන පොඩි පින්වතුන්ට ඔය සැලකිලිනෑ අයි බොවන්ඩ.

පළතුරු වට්ටිය එතනින් හදාගන්න ගියාමත් වාහනේ දිහා බලලා තමයි එයාලා තීරණය කරන්නේ මොකක්ද ප්‍රමාණය සහ ගාන කියලා. අපි අඩු එකක් ගන්න ගියොත් කියන්නේ අපෝ මහත්තයා ලොකු වාහනේකින් ඇවිත් ලෝබ වෙන්න එපා දෙයියෝ ඉස්සරහ කියලා. ලැජ්ජාවට හරි ලොකු ගාණක පූජාවට්ටීයක් ගන්න එන අය පෙළබෙනවා.

පූජාවට්ටියක් අපිම අපි ගෙනාපු පළතුරු වලින් හදාගන්නවා කිව්වොත් විනාශයක් වෙන්නේ. එහෙනම් බිස්නස් පාඩු නොකර වාහනේ වෙන තැනකට ගෙනියන්න කියලා තර්ජනය කරන්නෙත් එතන ඉන්න අර මුලින් ආදරෙන් අපිව එතනට ගෙන්න ගත්ත අයියලාම තමයි. ඒනිසා ඔයලා පූජාව කරන්න ඔයාලම පූජාවට්ටියක් හදනවානම් වාහනේ පොදු රථ ගාලක දාලා යන එක තමා හොදම වැඩේ.

ඊලගට තමා හොදම වැඩේ එයාලම කියනවා පූජාවට පූජාවට්ටිය ගෙනියන්න කාවඩි නටන කණ්ඩායමක් දෙන්නද කියලා, අපි ආපු වාහනේ ලොකු වාහනයක් නම් ඒකත් අපි කරන තැනටම පත් කරනවා. බැරිම නම් ලොකු පූජා වට්ටිය ගෙනියන්න කෙනෙක් සෙට් කරලා ඒකෙනුත් ගානක් කඩා ගන්නවා. පුළුවන් කමක් තිබ්බත් අපිට ගෙනියන්න දෙන්නේම නෑ.

හොදම වැඩේ තියෙන්නේ දේවාල වලට ගෙනිච්ච ගොඩක් පළතුරු, තැඹිලි සහ බුලත් දේවාලේ කපු මහත්තයා අරගෙන හොර පාරෙන්ම ආපහු පූජා වට්ටි කඩ වලට සල්ලි වලට දෙන එක. මේ සියල්ලම ඉතා සංවිධානාත්මකව සිද්ද වෙන දේවල්. දෙයියෝ විකුණලා හරි සල්ලි හම්බකරන් කන මිනිස්සු එක්ක සාධාරණයක් බලාපොරොත්තු වෙන්න අපිට බෑ.

ඒ නිසා ඔබට කරන්න පුළුවන් එකම සහ හොදම දේ ඔබගේ විශ්වාසය සහ ඇදහිල්ල අනුව ඔබ කරන පූජාව ඔබ විසින්ම සකස් කර පූජා කරන එකයි. එතකොට ගණුදෙනුව ඔබ සහ දෙවියන් අතර විතරයි. අතරමැදියන් ඕනි වෙන්නේම නෑ.

දෙවියන් වැදීම යැදීම සග පගාව දීම ගැන තවත් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

2 thoughts on “Oh My God 1.0 ( Katharagama Version)

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය “2. WordPress” කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න