පොහොර අර්බුදය සහ ආහාර අර්බුදය


ශ්‍රී ලංකාවේ වර්ථමාන ගෝථාභය රාජපක්ෂ රජය 2021 වසර මුලදී හදිසියේම රසායනික පොහොර ආනයනය නවත්වා දැම්මේ ගොවි ජනතාවට රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වී කාබනික පොහොර වලට යොමුවීම සුදුසු බවත් එමගින් පසට ජලයට විෂ රසායනික එකතුවීම නවතා දැමිම මගින් වකුගඩු රෝග සහ පිලිකා රෝග ඇතිවීම වැලක්වීම අරමුණ කරගෙන බවයි.

නමුත් රසායනික පොහොර ආනයනය තහනමේ පසුපස ඇති කතාව නම් රජයට කොරෝනා නිසා රට තුලට ඩොලර් නොපැමිණීම නිසා රජයේ ඩොලර් සංචිත ප්‍රමාණය අවම වීම නිසා අත්‍යාවශ්‍ය දේකට හැර ආනයන වෙනුවෙන් ඩොලර් වියදම් කිරීමට ඇති නොහැකියාවයි. ඒ හේතුව මතම වාහන ආනයනව මෙන්ම කහ ආනයනයද නැවැත්වීමට ගත් තීරණයද තාම ක්‍රියාමාර්ග වෙන පසුබිමක භාණ්ඩ 624ක් ගෙන්විම නවතා දැමුවාද ඔබට මතක ඇතැයි මම සිතමි.

රටට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ මේ අවස්ථාවේ ආනයනය නොකිරීම සාධාරණීකරණය කල හැකිමුත් ජනතාවට අත්‍යාවශ්‍ය සමහර භාණ්ඩ සහ ආහාර ලංකාවේ නිෂ්පාදනය සීමා සහිත වීම මත ආනයනය අනිවාර්යයෙන්ම කලයුතුවන්නේ ජනතාවට ඒවා ලබාගැනීමට ඒවා වෙළෙඳ පොළ තුල තිබිය යුතු බැවිනි. උදාහරණයක් ලෙස කිරිපිටි, සහල් දැක්විය හැක.

නමුත් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ආනයනය තහනම් කිරීමෙන් සමහර භාණ්ඩ වෙළඳ පොළ තුල හිගයක් ඇතිවූ නිසා ඒවාගේ මිල අහස උසට ගණන් ගිය බව ඔබ මම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත.

රසායනික පොහොර ද එසේමය. කාබනික පොහොර වලට ගොවිජනතාව යොමුකිරීම ඉතා වටිනා කාරණයක් නමුත් ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර ලංකාවේ නිෂ්පාදනය අරඹා වෙළෙඳපොළට නිකුත් කල පසු ගොවීන්ට ඒවාට හුරුවීමට කාලයක් ලබාදී ටිකෙන් ටික රසායනික පොහොර ආනයනය නවතා දැමීම කලානම් මෙතරම් ගැටලුවක් රටපුරා ඇතිවන්නේ නැත.

දැන් ඇතිවී තිබෙන ගැටලුව ලෙහෙසියෙන් ලිහින්න පුළුවන් මට්ටමකට ඇවිත් ඇති බව මට නම් නොපෙනේ. එයට හේතුව වෙළෙඳපොළ තුල කාබනික පොහොර ප්‍රමාණවත් තරම් නොමැති අතර නයිට්‍රජන් අඩංගු රසායනික පොහොර වෙළෙඳපොළ තුල ඇත්තේම නැත. වගාවක් පටන් ගැනීමේදි සමහර භෝග වලට කාබනික පොහොර මගින් පමණක් හොද අස්වැන්නක් ලබාදෙන පසුබිමක් තිබුනත් බොහෝමයක් භෝග වලට අවශ්‍ය පෝෂක කාබනික පොහොර මගින් පමණක් ලබාගැනීමේ නොහැකියාවක් පවතී.

ඒ නිසා මේ අවස්ථාවේ මේ පොහොර ජාති දෙකම වෙළෙඳපොළ තුල නොමැති වීම නිසා වගාවන් වලට පොහොර නොමැති වීම මත භෝග නිසියාකාරව වර්ධනයක් නොවන නිසා අපේක්ෂිත ඵලදාවක් නොලැබේ යයි කාරණය මත ගොවීන්ට දැඩි සිත් තැවුලකට මෙන්ම ආර්ථික අවිනිශ්චිතතාවකට ඔවුන් පත්ව ඇත.

පාඩු ලබාගැනීමට ඔවුන් ගොවිතැන් කරන්නට සූදානමක් නොමැති අතර එම නිසා රටේ ආහාර හිගයක් ඉදිරි වසර තුල ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවන්නක් වන අතර ආහාර වල මිල අසීමිතව ඉහල යාම ඉබේම සිදුවේ. එය පාලනය කිරීමට නැවතත් ආහාර ආනයනය කිරීමට රජයට සිදුවන අතර එය මෙතරම් ආහාර වලින් ස්වයං පෝෂිත වූ රටක අකාර්යක්ෂම පාලනය පෙන්නුම් කරන්නක් අතරම ආර්ථික බංකොලොත් භාවයට අත වැනීමකි.

එසේම තේ ඇතුළු සමහර වානිජ භෝග තවමත් ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් ලබා දෙන අතරම මේ පොහොර අර්බුදය නිසා ඒවාගේ අස්වැන්න අඩුවීම මත ලෝක වෙළෙඳපොලේ ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකිවීම අනිවාර්යයෙන්ම සිදුවේ. ලංකාවේ කීර්තිනාමය මත මිලදීගන්නා තේ වැනි නිෂ්පාදන වෙළෙඳපොළ තුල නොමැති වීම නිසා ඒ විදෙස් පාරිභෝගිකයන් කෙන්යානු සහ ඉන්දියානු තේ වලට යොමුවීම තුලින් අපේ නිෂ්පාදන වලට ඇති කීර්තිනාමය සහ ඉල්ලුම අපි විසින්ම විනාශය කරා ගෙනයමින් පවතී.

අවසානයේ රටට ආදායමක් ලැබෙන්නට තිබෙන මාර්ග අපි කිහිප ආකාරයකින්ම නැති කරගන්නා මෙන්ම ගොවිජනතාවගේ ජීවන ක්‍රමයට බඩේ පාර ගහන සමග පොදු ජනතාවගේ කුස හිස් කරන අදූරදර්ශී අනුවන තීරණ ගන්නා පාලකයන් නිසා මුළු රටම අගාධයකට යමින් පවතින බව ඔබ අප සැම තේරුම් ගත යුතුය

2 thoughts on “පොහොර අර්බුදය සහ ආහාර අර්බුදය

ප්‍රතිචාරයක් ලබාදෙන්න