සුපිරි 12 ස්ථානයට ශ්‍රී ලංකා – අයර්ලන්ත අවි සූදානම්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

556
Sri Lanka vs Ireland

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට (20) අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිතයි. මේ තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ මෑතක දී ටෙස්ට් වරම් දිනා ගත් අයර්ලන්තයයි.

පසුගිය 18 වැනිදා නැමීබියාවට එරෙහිව පැවති පළමු තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබාගෙන තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගත් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය සඳහා අවතීර්ණ වන්නේ ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිවයි.

අනෙක් පසින් අයර්ලන්තය ද, ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගයේ දී නෙදර්ලන්තය කඩුලු 7කින් පරාජය කරමින් මේ තරගය සඳහා අවතීර්ණ වන්නේ A කාණ්ඩයේ සිටින තවත් ප්‍රබල කණ්ඩායමක් ලෙසයි.

මේ තරගය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට හෙට දිනයේ දී සුපිරි 12 වටයේ සඳහා සිය ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව හිමි වන නිසා කණ්ඩායම් දෙකම සිය ස්ථාන කල් තියා තහවුරු කර ගැනීම වෙනුවෙන් මේ තරගයේ දී සිය උපරිම දස්කම් පෙන්වනු නිසැකයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දී ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය එක් වතාවක් මුණගැසී තිබෙන අතර එම මතකය 2021 වසරේ සිට වසර 12ක් පසුපසට ඇදී යන මතකයක් වෙනවා. එම තරගයේ දී ශ්‍රී ලංකාව අයර්ලන්තය පරාජය කළේ ලකුණු 9කිනි.

වැඩි අවධානයට

නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Curtis Campher පන්දු 4ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් ලෝක කුසලාන T20 තරගාවලි ඉතිහාසයේ එවැනි දස්කමක් පෙන්වූ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වුනා.

Campherගේ එම දස්කමට පෙර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල එවැනි ආකාරයේ දස්කමක් පෙන්වා තිබුණේ ලසිත් මාලිංග (දෙවතාවක්) සහ ඇෆ්ගනිස්තානයේ Rashid Khan පමණයි.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම ශ්‍රී ලංකාවට තරමක ගැටලුවක් වී තිබෙන නමුත්, ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් සහ පන්දු යවන්නෝ ඉතාමත් හොඳ රිද්මයක සිටිනවා.

අබුඩාබි වැනි ක්‍රමයෙන් මන්දගාමී වන තණතීරුවක් මත powerplay අවස්ථාව තුල රැස්කර

ගන්නා ලකුණු ප්‍රමාණය ඉතාමත් වැදගත් වන බවට කිසිම සැකයක් නැහැ.

කණ්ඩායම් සංයුතිය

එක් තරගයක දී අසාර්ථක වූ පමණින් ඔහුව මීළඟ තරගයෙන් ඉවත් කිරීම එතරම් සාධාරණ නොමැති නමුත් නැමීබියා තරගයේ දී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ පිතිකරණ දස්කම් ගැන කිසිසේත්ම සතුටට පත්වීමට හැකි වන්නේ නැහැ.

නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් සිය පරිණතභාවය ඉක්මනින්ම පෙන්නුම් කළ යුතු අතර නිස්සංක ද කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් වෙනවා.

මෑතක දී අංක 4 ස්ථානය සඳහා නිසි සාධාරණයක් ඉටු කළ අවිශ්ක ප්‍රනාන්දු සහ අංක 5 පිතිකරු ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරනවා. ඔවුන් දෙදෙනා නිමා වුන නැමීබියා තරගයේ දී ද ඔවුන්ගේ පිතිකරණ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කළා.

අංක 6 සිට 8 දක්වා ස්ථානවල ක්‍රීඩා කිරීම සඳහා නායක දසුන් ශානක, චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග සූදානමින් සිටින විට, පන්දු යවන්නන් තෝරාගැනීමේ දී අතිරේක වේගපන්දු යවන ක්‍රීඩකයෙක් සමඟ ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ ස්ථානය දිනා ගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින්නේ ලහිරු කුමාරයි.

ඒ අනුව ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාවේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කරද්දී, යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කණ්ඩායමේ දඟපන්දු යවන්නා ලෙස හෙට (20) තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

එසේම නැමීබියා පිතිකරුවන් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ ඉතාමත් අපහසුවෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තිදෙනාගේ (චමීර, කුමාර සහ චාමික) පන්දු යැවීමේ දල වේගය පැයට කිලෝමීටර 138ක් වැනි ඉහළ සහ හොඳ මට්ටමක තිබුණු නිසයි.

අයර්ලන්තය ද නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායම ම මේ තරගය සඳහා ක්‍රීඩා කරවීමට වැඩි ඉඩක් තිබෙන අතර, Paul Stirling සහ Kevin ‘O Brien වැනි අත්දැකීම් බහුල ප්‍රහාරාත්මක පිතිකරුවන් අයර්ලන්තය සතුව සිටිනවා.

එසේම ඔවුන්ගේ මැදපෙළ ද අවතක්සේරු කළ නොහැකි වන්නේ නායක Andy Balbirnie සහ Gareth Delany වැනි මැදපෙළ පිතිකරුවන් ඉතාමත් ඉක්මනින් තරගයක් වෙනස් කිරීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයින් නිසයි.

තීරණාත්මක ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාවේ පිතිකරණ දෙස බැලූ කල අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂගේ ඉනිම් දෙක ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වන්නේ ඔවුන් දෙදෙනා මේ වන විට ඉතාමත් හොඳ පිතිකරණ රිද්මයක සිටින නිසයි.

එසේම පන්දු යවන්නන්ගේ අංශය සලකා බැලීමේ දී දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ චාමිකගේ දස්කම් සහ ඔහුගේ පන්දු යැවීමේ වේගය ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ අවියක් වනු

ඇති අතර වනිඳු හසරංගව නැවතත් සුපුරුදු රිද්මයට රැගෙන ඒමට මේ තරගය විශාල රුකුලක් විය හැකියි.

21 හැවිරිදි දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පළමු තරගයේ වීරයා බවට පත්වෙමින් දැක්වූ දස්කම් කිසිසේත්ම අමතක කළ නොහැකියි. ඊට අමතරව වනිඳු හසරංග ද තරගයක් වෙනස් කළ හැකි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙනවා.

අයර්ලන්තය දෙසින් බැලීමේ දී Paul Stirlingගේ පිතිකරණය මෙන්ම Campher සහ Mark Adairගේ පන්දු යැවීමේ දස්කම් අයර්ලන්තයට තිබෙන ප්‍රධාන තුරුම්පු වෙනවාට කිසිම සැකයක් නැහැ.

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගයේ අපේක්ෂිත කණ්ඩායම්,

ශ්‍රී ලංකාව: කුසල් පෙරේරා (wk), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර.

අයර්ලන්තය: Paul Stirling, Kevin O’Brien, Andy Balbirnie (C), Gareth Delany, Curtis Campher, Harry Tector, Neil Rock (wk), Simi Singh,Mark Adair, Josh Little,Ben White

තණතීරුව සහ එහි ස්වභාවය

අබුඩාබි තණතීරුව තරමක් මන්දගාමී ස්වභාවයක් උසුලනු ඇති අතර ලකුණු 150-160ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි නම් ඉතාමත් හොඳ තරගයක් දීමට අවස්ථාව තිබෙනවා.

කාලගුණය දෙස අවධානය යොමු කිරීමේ දී වර්ෂාවෙන් කිසිදු බලපෑමක් එල්ල වීමට නොහැකි වුනත්, ඒ අවට දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.

එසේම රාත්‍රි කාලයේ දී පින්න පතිත වීමට වැඩි ඉඩක් තිබෙන නිසා කාසියේ වාසිය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම පළමුව පන්දු යැවීමට වැඩි ඉඩක් තිබෙනවා. නමුත් පළමුව පන්දුවට පහර දෙන්නේ නම් ඉතාමත් හොඳ ලකුණු ප්‍රමාණයක් වෙත යාම අනිවාර්ය වන්නේ දෙවනුව පන්දු යැවීම තරමක් අපහසු වන නිසයි.

හෙට (20) රාත්‍රි 7.30ට ආරම්භ වන ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<