ශ්‍රී ලංකා මැදපෙළ වෙනස් කළ මහේලගේ සැලැස්ම

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1167
Mahela-inspired middle-order

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබීම පසුගිය තරග කිහිපය තුළ කැපී පෙනෙන කරුණක් බවට පත්ව තිබුණා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු වූ අවිශ්ක ප්‍රනාන්දු පසුගිය කිහිපය තරග තුළ අංක 4 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරනු ලැබුවා. එහි දී ඔහු අවසන් වරට සහභාගී වූ තරග පහේ දී පිළිවෙළින් ලකුණු 83ක් (නොදැවී), 33ක්, 62ක් (නොදැවී), 61ක් සහ 30ක් (නොදැවී) රැස් කරගැනීමට සමත් වුනා.

අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරු ස්ථානයේ සිට අංක 4 දක්වා වෙනස් කිරීම මහේල ජයවර්ධනගේ උපදෙස් මත සිදු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු Mickey Arthur පසුගිය දා පවසා සිටියා.

අවිශ්ක ප්‍රනාන්දු පිටියේ ස්ථාවර වීමට යම් කාලයක් ගත වීම එම තීරණය සඳහා මූලික හේතුව වී තිබුණා. ශ්‍රී ලංකා සංචිතයේ අනෙක් කැපී පෙනෙන වෙනස බවට පත්වුනේ මීට පෙර අංක 3 ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ අංක 5 ක්‍රීඩකයා ලෙස යොදාගැනීමයි.

මෙම තීරණයට සාධාරණයක් ඉටුකිරීමට අවිශ්ක සහ භානුක පසුගිය දා සමත් වුනේ නැමීබියාව සමඟ පැවති පළමු තරගයේ දී සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 74ක් වාර්තා කරමින්. එහි දී භානුක නොදැවී ලකුණු 42ක් වාර්තා කිරීමට සමත් වුනා.

මහේල ජයවර්ධන කණ්ඩායමට එක්වුන දවසේ ඉඳන් කණ්ඩායමේ වෙනස්කම් කීපයක් කළා. මම අංක 5 විදිහටත්, අවිශ්ක අංක 4 විදිහටත් ගෙනාවා. වගේම පැතුම් නිස්සංක ආරම්භක පිතිකරු විදිහට ගේන්නත් ඔහු මුල් වුනා. අපිට නිශ්චිත වගකීම් සහ කාර්‍යභාරයක් දීලා තියෙනවා. අපි මේ තැන්වල තරග 5-6ක් ක්‍රීඩා කළා. වැදගත් වෙන්නේ ක්‍රීඩා කරන ස්ථානයේ ස්ථාවරත්වයයි”, නැමීබියාව සමඟ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරුවෙකු ද ලෙස සැලකෙනවා. පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වුනා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය නිමා වීමෙන් අනතුරුව මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින ජෛව ආරක්‍ෂිත වටපිටාවෙන් ඉවත් වන අතර එසේ වුවත් ඔහු තීරණ ගැනීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් සමීපව කටයුතු කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

ක්‍රිකට් උපක්‍රම යොදාගැනීමේ අතිදක්ෂයෙකු ලෙස සැලකෙන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම කෙරෙහි මහත් කැපවීමකින් කටයුතු කරන ඔහු ජාතික ක්‍රීඩා කමිටුවේ ප්‍රධානියා ද වෙනවා.

මහේලගේ එක්වීම සහ කණ්ඩායමට ඇති වූ බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ පුහුණුකරු Mickey Arthur ද පසුගිය දා අදහස් දක්වා තිබුණා.

අපිට ඔහුගෙන් ලොකු උදව්වක් ලැබෙනවා. අපේ කණ්ඩායම විතරක් නෙවෙයි ප්‍රතිවාදී කණ්ඩායමත් විශ්ලේෂණය කරලා තමයි සැලසුම් හදන්නේ. ඔහු ඔහුටම ආවේණික විදිහට තමයි තරගය දිහා බලන්නේ. ඔහු දැනටමත් කණ්ඩායමට ලොකු දායකත්වයක් ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහුගෙන් හැකි සෑම උදව්වක්ම ගන්න”, දසුන් ශානක පවසා සිටියා.

මහේල කණ්ඩායමට ලොකු දායකත්වයක් දෙනවා. මම ඔහුත් එක්ක වැඩකරන්න ගොඩක් කැමතියි. ඒකට ප්‍රධාන හේතුව මම ඔහු ක්‍රීඩා කරන කාලයේ ඉඳන්ම ඔහුත් එක්ක වැඩ කරලා තියෙනවා. තරගයක් විශ්ලේෂණය කරන්න ඔහුට තියෙන්නේ අසාමාන්‍යය හැකියාවක්. ඔහුගේ ක්‍රිකට් දැනුම පුදුමාකාරයි. අපි ක්‍රිකට් ගැන ගොඩක් දේවල් කතා කළා”, Mickey Arthur පවසා සිටියා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය හෙට (20) අයර්ලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි. ඒ Abu Dhabi ක්‍රීඩාංගණයේ දී. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන්ට දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව තහවුරු වෙනවා.

එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<