Sunday, March 15, 2020

සාසනික දුර්ගන්ධය වහනය වන සුළි සුළඟ



පංසල් පිරිවෙන්වල තත්ත්වය ඉතාමත් කණගාටු දායකය. සමහර තැනෙක හඩන්නට නොබැරිව සියල්ල ඉවසා දරාගෙන සිටින පොඩිහිටි උන්නාන්සෙලාගේ ඛේදනීය තත්ත්වයන් මා දෑසින්ම දැක ඇත. අම්ම අප්පා මතක් වනවා මදිවට සිය ආච්චි මතකයට පැමිණි එක් පොඩි නමකගේ කතාවක් මා දන්නා පිරිවෙනකින් මෑතකදී අසන්නට ලැබින.
"අදාල පොඩි නම මහණවියට පත්ව ඉතා කෙටි කාලයකි. පොඩිනමට පාලුවක් කාන්සියක් දැනීම පුදුමයට කරුණක් නොවේ. නමුත් මේ පොඩි නම දින කිහිපයක් බෝධියට නිතරම අවේලාවේ ගමන් කරනවා අදාල පිරිවෙනේ අනිකුත් පොඩි හිමිවරු දැක තිබේ. මේ කුමක් නිසාදැයි විමසිලිමත් වූ උන්නාසේලාට අද්දකින්නට වන්නේ ඉතාමත් ඛේදනීය සිදුවීමකි. කුමක් ද යත් මේ පොඩි හාමුදුරුවෝ හැමදාම කාසියක් හමුවූවිගස රෙදිකඩක් ඉරාගෙන ගොස් බෝධියේ අත්තක ගැට ගසයි. ඒ කුමක් නිසාදැයි අනෙක් අය විමසූ විට මදක් නිහඬව සිට පසුව කියා ඇත්තේ ආච්චි මතක් වෙනව..ආච්චි හොඳින් ඉන්න කියල බාරයක් ගැටගහන්නයි ආවෙ!"
මේ එක් සිදුවීමක් පමණය. මේ කතාව ඇති පදම් අපට අවැසි ලෙස විවරණ සපයාගත හැකි වුවත් සත්‍යවශයෙන්ම ඛේදනීය තත්ත්වය අපට මග හැර යා හැකිද? වයස අවුරුදු අටක පමණ කුඩා දරු පැටියෙකුට තමන්ගෙ මව පියා,ආච්චි සීයා, අක්කා අයියා මල්ලිලා මතකයට නැඟීම පුදුමයට කරුණක් නොවේ. මේ පොඩි නමලා හැකි තරම් මේ වේදනාව විදිමින් පන්සලට වී තව තවත් ශාරීරික සේම මානසික පීඩා අනිවාර්යයෙන්ම විදිමින් ජීවිතය ගත කරයි.
දිනක් මා සමඟ මගේ ගිහි මිතුරෙකු (පංසලක සිටින) පැවසුවේ වයස අවුරුදු හත අටක පොඩි නමක් 50 ක කාඩ් එකක් රැගෙන තමන් අසලට විත් "අයියේ! කෝල් එකක් අරන් දෙන්නකො ගෙදරට" යනුවෙන් පවසන බවයි.
එවැනි මොහොතක් ගත කරමින් සිටින කුඩා මහණුන් "සබ්බ දුක්ඛ නිස්සරණ" කියා පැවිදි බිමට පත් වුවද පොඩිනමකට තියා ලොකු නමකට වුවත් මව පියා සහෝදරයන් සමග ඇති ලේ බැඳීම විගසකින් අමතක කළ නොහැක්කේමය. එබැවින් එවැනි පොඩි නමලා භාරකාරීත්වයේ යෙදෙන නායක හිමිවරුන් මේ පොඩි නමලාට අම්මෙක් අප්පෙක් වෙනවා වෙනුවට නීති දැමීම කෙතරම් සදාචාරාත්මක දැයි ඔබම තීරණය කරන්න.
නායක හිමිවරුන්ගෙන් හැර පංසලේ ඉන්න දෙවනියාගෙන් තුන්වෙනියාගෙන් අම්බානකට ගුටි කා අම්මාගේ පදය සිහිකරවන අවස්ථාවක් යනු පංසල් භූමියේ අභ්‍යන්තර ඛේදවාචකයකි. එවන් අවස්ථාවක තමන් වැදූ අම්මාට දුක "අද මට මෙයා ගැහුවා අම්මේ" කියන්නවත්, "මට මේ වගේ අපචාරයක් වුනා අම්මේ කියන්නවත්" පොඩිනමකට පන්සල තුළ ඇති අවකාශය කුමක්ද?
මුළු මහත් සමාජයටම සදාචාරයේ වැදි බණ දෙසන ගණින්නාන්සේලා පිරී ඇති රටක තමන්ගේ විහාරස්ථානය තුළ දායකයන් විසින් ක්‍රියා කළ යුත්තේ මෙලෙසින්ය යැයි කියන්නට නායක හිමියන්ට සදාචාරාත්මක අයිතියක් තිබේද?
මේ සමග අමුණන ඡායාරූපයේ දැක්වෙන පරිදි හිමිවරුන්ට ජංගම දුරකථන දීම තහනම්ය.නිසැකවම මෙයට හේතුවන්නේ පංසලේ පොඩි උන්නාන්සේලා ගෙදරට කෝල් එකක් ගැනීම හෝ ගේම් එකක් ගැසීම පමණය. එවැනි කරුණකින් හෙළිවන්නේ කුමක්ද? මේ පොඩි හිමිවරුන්ගේ ළමා ලෝකයට මහණ කම තුළින් හිරිහැරයක් වන බව නොවේද?
අදාල ලිපිය ලිවීමට තුඩු දුන් ඡායාරූපය ‌‌මෙයයි.

කුඩා දරුවන් දහම් පාසලට, පන්සලට අම්මගෙ තාත්තාගේ කරේ නැගී අතේ ඇඟිලිවල එල්ලී පන්සලට පියනගන අයුරු ඔබ සජීවී රූපයක් මවා ගන්න. ඒ අත්දකින සමාජමය කරුණ පංසලේ ලොකු හාමුදුරුවන්ට සංවේදී නොවුනද, පංසලේ මිදුල අමදින, කසළ විල් බැරෝව දෑතින් රුවා ගත්, පංසලේ මල් ගහකට වතුර දමන, සිවුරේ බරවත් දරාගන්නට නොබැරි පොඩි නමකට සංවේදී වනවාමය.
ආදරණීය මිතුරනි,
එවන් වේදනාවක් විදින කුඩා දරුවකුගෙන් තමන්ගේ අම්මාට තාත්තාට දුරකථන ඇමතුමක් ගැනීමේ අවසාන අවස්ථාවද උදුරා දැමීම තුළින් පන්සල තුළ නරක් වී ගඳ ගසන ඒකාධිපති නායක ස්වාමීන්වහන්සේලාගේ දුර්ගන්ධයේ සුළි සුළඟයි ඔබ අප මේ අත්විදිමින් සිටින්නේ.

නායක හාමුදුරුවනේ, පොඩි හිමි සතුටු කරන්නට ඔබ වහන්සේගේ අංගජාතයට නොහැකිය! පොඩි හිමි සතුටු කරන්නට ඔබවහන්සේගේ කරුණාවට දයාවට පමණක් හැකිය.

වෙරළු ගහ යට පුංචි කාලය
කොහේ කොතැනද අහන මොහොතක
මාවතේ දුරකතන හදවත නැවතුනා
අනේ අම්මේ කාසි ඉවරයි
ආදරේ බව කියාගන්නත් බැරි උනා...
- රජී වසන්ත වෙල්ගම -

ප:ලි
මගේ යෝජනාව වන්නේ මෙවැනි පොඩි දරුවන්ගේ ළමා ලෝකය අහිමි කරමින් මහණදම් පුරවාලීමට සසුනට ඇතුළත් නොකරගත යුතුය යන්නයි. නමුත් තමන්ගේ ගඳ ගසන සසුන තවදුරටත් යාවත්කාලීන කරගැනීමට කුඩා දරුවන් පැවිදි කරගත යුතු නම් ඒ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට පන්සල තුළම අවකාශ සලසන්න!


|ගුරුගොඩ සිරිවිමල

4 comments:

  1. අතිවිශිෂ්ඨයි අපේ හාමුදුරුවනේ.

    ReplyDelete
  2. හාහාමුදුරුවන්ට ගෞරව කරමි.

    ReplyDelete
  3. බණේ මොනව තිබුනත්, ඉතිහාසයේ මොනව වුනත්, කවුරු කොහොම කිව්වත්, ආර්ථික අපහසුකම් තිබුනත්, විවාහය හෝ පෙම්වතියක් සිටීම තහනම් වැඩිහිටියන් සිටින සාසනයක කුඩා දරුවන් පැවිදිකිරීම අපරාධවලට අනුබලදීමකි

    ReplyDelete