Friday, September 24, 2021

සාමයේ වේදනාව බරපතලයි.

 

ඊයේ ලෝක සාම දිනය. මේ වෙනුවෙන් බිබිලාදෙණියේ මහානාම හාමුදුරුවො මහන්සි වෙලා piece for peace  කියල ලොකු මියුසික්මය වැඩක් කරල තිබුන. ඒක ඉතා හොඳ සිනමාත්මක වැඩක්.  දින කීපයකම ඉදන් බිබිලාදෙණියෙ හාමුදුරුවො මේ වෙනුවෙන් මහන්සි වුනා දැක්ක නිසා ඒකෙ මොනාද වෙලා තියෙන්නෙ කියල බලන්න උවමනාව තිබුන. ඇත්තෙන්ම මට මියුසික් ගැන මට ලොකු ශාස්ත්‍රීය දැනුමක් නැහැ. මම බොහෝවිට සංගීතය රසවිදින්නෙ මගෙ මානසිකමය සුවතාවය වෙනුවෙන් සහ මම කාටහරි ප්‍රශ්නයක්නම් එයාට කාලයක් යනකල් මියුසික් අහන්න කියල කියනව. මට ඒ වගේ දැනීමක් පමණයි මියුසික් ගැන තියෙන්නෙ. ඒ කියන්නෙ සංගීතය කියන්නෙම සාමයක්.

ලෝකයේ සාමය ගැන කතා කරද්දි අපට කියන්න පුළුවන් එකම දේ මේ ලෝකයෙ සාමය නැහැ කියන එක විතරයි. සාමය හැමවිටම අපිව අත්හැර ගිහිල්ල තියෙන්නෙ. සාමය කියන්නෙ තමා තුළම ගොඩනගා ගත යුතු ගුණයක්. ප්‍රගුණ කරගත යුතු ගුණධර්මයක්. සාමයේ උච්චතම අවස්ථාව කියන්නෙ අපි නිවෙන තැන. එහෙම නැත්තං අපි වැඩියෙන්ම සතුටු වෙන තැන. සාමය හැමවිටම අපට වෙන කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. ඒ කියන්නෙ අපේ නිවීම අපිම උදාකරගත යුතුයි කියන එක.

ගින්දර, ලේ, බෝම්බ, මළ මිනී, අන්තවාදී අදහස් හැමදේකින්ම අපේ සාමය නැති වෙනව. කාටහරි හිතෙන්න පුළුවන් මම මුලින් කිව්ව තාමා තුළමයි සාමය තියෙන්නෙ කියපු කතාවට මේක පටහැනි වෙන්න පුළුවන්. නමුත් ගින්දර, ලේ, බෝම්බ, මළ මිනී සහ අන්තවාදී අදහස් කියන්නෙ අපි අපිමයි. මිනිස් අදහස් නිරතුරුවම නිරවුල් නැහැ. හැමවිටකම ඒක අවුලක්. හදවතේ ගින්දර තියෙන මිනිස්සුන්ට සාමය උදාකරගන්න බැහැ වගේම අන්තවාදී අදහස් වලිනුත් අපේ සාමය දුරස් වෙනව සහ අපිට සාමය උදාකරගන්න බැරි වෙනව.

මේ සංගීතය සහිත වීඩියෝ පටයෙ මම දැක්ක ලොකුම දේ මේ කරුනු ටික නිරවුල්ව අපට ඉදිරිපත් කරන එක. අපිට සාමය තුළ විසඳගන්න පුළුවන් එකම ප්‍රශ්නය අපි සතුටට පත්වීම. එහෙම නැත්නම් අපිවටා තියෙන දේවල් වලින් මිදීම. සාමය නැතිවෙන්නෙම අනෙකා අපේ කරගන්න යාමෙන් හෝ අනෙකාට විදින දේවල් තුළින් ඇතිවන විවිධ චෛතසිකයන් නිසා. මේක සරළ ගැහැණු පිරිමි ආදරයේ පටන් දේශපාලනික යුද්ධයටත් අදාළයි. මේ වීඩියෝ පටයෙ දැක්වෙන සංකේතාත්මක දේවල්; “ගෙළ සිදුනු බුදුපිළිමය, අනාථ දරුවා, ආගමික දැනුම තැන්පත් යැයි සිතිය හැකි පොත,” මේ හැමදේම මේ මොහොතේ ලංකාවට වඩාත්ම ගැලපෙනව. නිරන්තර අරගලවල සියුම් කැපුම් සීරුම්, වේදනා, බඩගින්න එක්ක සාමයේ වේදනාව එක්ක අපි ජීවත් වෙනව. ඒ එක්ක නැගෙන සාමයික සංගීත ඛණ්ඩ අපිව පාරවනව. ඒක නිකං අපෙන් මොකද්දෝ ප්‍රශ්නයක් අහනව වගේ දෙයක්.

අපි හිතමින් ඉන්නවා ; යුධමය තත්වයකින්, ගැටුම් කාරී ගුටිබැට හුවමාරුවකින් හෝ දෙදෙනෙක් අතර බහින්බස් වීමකින් සාමය උදාකරගත හැකියි කියල. නමුත් මේ කිසිවකින් සාමට ලබා ගන්න බැහැ. ඉන්පසුව අපට ඉතිරිවෙන්නෙ සාමයේ වේදනාව විතරයි. සමහරවිට පෙර තිබුන ගැටුම්කාරී ව්‍යසනකාරී තත්වයන්ට වඩා සාමයේ වේදනාව බරපතලයි. මොකද ඒවයෙ නටබුන් එක්ක, තුවාල කැලැල් එක්ක, වචනවල දෝංකාරය එක්ක අපිට මැරෙනකල් වුනත් ජීවත් වෙන්න සිද්ධ වෙන්න පුලුවන්.

ඒ නිසා මම හිතන්නෙ සාමයේ කෙටිම මාවත දේවල් අත්හැරීම තුළින් හොයාගන්න පුළුවන් කියල. දේවල් දුරස් කිරීම කියන්නෙ අත්හළ යුතු අන්ත අත්හැරීම. එහෙමත් නැත්නම් මැද මාවත. මැද මාවත කියන්නෙ දෙකෙන්ම බාගෙ බාගෙ අරන් ලග තියන් ඉන්න එක නෙමෙයි; දෙකෙන්ම ඈත්වෙලා ඉන්න එක. මේක මහා විශාල පාඩමක්. සාමය අත්පත් කරගැනීම කියන්නෙ නිරන්තරව සිද්ධ වෙන කායික, මානසික, භෞතික අභෞතික අරගලයක සමාප්ති සටහනක්.  සාමය තමයි අප ඉදිරියේ තිබෙන එකම ආලෝකය.

මේ මඩ ගොඩින් එළියට එන්න - මඬේ නොගෑවී පිපෙන නෙළුමක් වෙන්න ❤️



Video link :👇

https://youtu.be/Yo-e_ZCHb8g

- ගුරුගොඩ සිරිවිමල -

No comments:

Post a Comment