වසර 3කට පසු පෙරළිකාර චෙන්නායි IPL ශූරතාවයකට

IPL ක්‍රිකට් තරගාවලිය 2021

254

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (15) ඩුබායි හිදී නිමා වුනු අතර එහි දී චෙන්නායි සුපර් කිංග්ස් හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් ලකුණු 27කින් පරාජයට පත් වුනා.

චෙන්නායි කණ්ඩායමක් IPL ශූරතාවය සඳහා නැවත වතාවක් හිමිකම් කීවේ වසර 3කට පසුව වීම විශේෂත්වයක්.

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා නයිට් රයිඩර්ස් නායක Eoin Morgan පළමුව පන්දුවට පහරදීම සඳහා  MS Dhoniගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

චෙන්නායි සුපර් කිංග්ස්: Ruturaj Gaikwad, Faf du Plessis, Moeen Ali, Robin Uthappa, Ambati Rayudu, Ravindra Jadeja, MS Dhoni (capt, wk), Dwayne Bravo, Shardul Thakur, Deepak Chahar, Josh Hazlewood

කොල්කටා නයිට් රයිඩර්ස්: Venkatesh Iyer, Shubman Gill, Nitish Rana, Rahul Tripathi, Eoin Morgan (capt), Dinesh Karthik (wk), Shakib Al Hasan, Sunil Narine, Shivam Mavi, Varun Chakravarthy, Lockie Ferguson

අවසන් පූර්ව තරග (Qualifier තරග) වලදී Delhi Capitals පරාජය කරමින් මේ කණ්ඩායම් දෙක සුපිරි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර, මේ කණ්ඩායම දෙක මින් පෙර 2012 වසරේ පැවති IPL අවසන් මහා තරගයේ දී ද එකිනෙකා මුණගැසී තිබෙන නමුත් එහි දී ශූරතාවය දිනා ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

චෙන්නායි වෙනුවෙන් Ruturaj Gaikwad සහ Faf du Plessis ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දු 49ක් තුල ලකුණු 61ක හොඳ සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු Gaikwadගේ ඉනිම ලකුණු 32කට සීමා කිරීමට Sunil Narine සමත් වුනා. පන්දු 27ක දී වාර්තා වුනු Gaikwad ඉනිමට 4 පහර 3ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

ඉන්පසුව චෙන්නායි කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කරන්නට වුනු සබඳතාවය සඳහා පණ පොවන්නට 37 හැවිරිදි Plessis සහ 35 හැවිරිදි Robin Uthappa සමත් වුනු අතර පන්දු 32ක දී දෙවැනි කඩුල්ල සඳහා වාර්තා වුනු එම ලකුණු 63 සබඳතාවය අවසන් වූයේ Uthappa දැවී යාමත් සමඟයි.

Lockie Ferguson සහ Shakib Al Hasan ඇතුළු නම ගිය ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් සඳහා කිසිදු පීඩනයකින් තොරව චෙන්නායි පිතිකරුවන් පන්දුවට පහර දුන් අතර Uthappa පන්දු 15ක දී ලකුණු 31ක් ලබා ගත්තේ 6 පහර 3ක් එල්ල කරමිනි. Moeen Ali පන්දු 20ක දී ලකුණු 37*ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ මනරම් 6 පහර 3ක් ඇතුළත් වුනා.

චෙන්නායි පිලේ කොඳුනාරටිය බවට පත්වෙමින් එම ඉනිමේ අවසන් පන්දුව දක්වාම කඩුල්ලේ රැඳී සිටි Plessis පන්දු 59ක් තුල ලකුණු 86ක් ලබා ගත්තා. එම ඉනිම සඳහා 4 පහර 7ක් සහ යෝධ 6 පහර 3ක් ඇතුළත් වුනු අතර මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට තවත් ලකුණු 2ක් පමණක් මෙපිටින් සිටිමින් ඔහු ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී ගියා.

Plessis මෙවර IPL තරගාවලියේ දී අර්ධ ශතක 6ක් සමඟ ඉනිම් 16ක දී ලබා ගත් සමස්ත ලකුණු ප්‍රමාණය 633ක්.

පන්දු යැවීමේ දී Sunil Narine ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත් නමුත් අනෙක් පන්දු යවන්නන්ට කිසිදු තැකීමකින් තොරව Plessis ඇතුළු චෙන්නායි පිතිකරුවන් පහර දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 192ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරගත්තා.

මේ තරගයේ දී චෙන්නායි කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අතර ලකුණු 61කට වඩා වැඩි සබඳතාවයන් තුනක් නිර්මාණය වීම කැපී පෙනුණා.

වසර 7කට පසුව සිය කණ්ඩායමට IPL ශූරතාවයක පහස දිනා දීමේ අරමුණ අතැතිව පිටියට පිවිසි Shubman Gill සහ Venkatesh Iyer මේ ලකුණු 193 ඉලක්කය හඹා යාම සඳහා අවශ්‍ය සාර්ථක ආරම්භය ලබා දුන්නා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව පන්දු 64ක් තුල ලකුණු 91ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ නමුත් පන්දු 32ක දී ලකුණු 50ක් ලබාගෙන සිටි Iyerගේ දැවී යාමත් සමඟම ඔවුන්ගේ කඩුලු බිඳ වැටීම ආරම්භ වුනා.

Shardul Thakur, Josh Hazlewood සහ Dwayne Bravo ඇතුළු චෙන්නායි කණ්ඩායමේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් විසින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ මැදපෙළ කඩුලු කඩුලු 6ක් ලකුණු 20ක් තුල දවා ගනිමින් චෙන්නායි කණ්ඩායමට තරගයේ සම්පූර්ණ වාසිය හරවා දුන් අතර Gillගේ ඉනිම ලකුණු 51කට සීමා වුනා. ඔහුගේ එම ඉනිමට 4 පහර 6ක් ඇතුළත් වුනු අතර එම ඉනිම ගොඩනැංවුනේ පන්දු 43ක් තුලයි.

125/8ක් ලෙස සටහන් ව තිබූ කොල්කටා ඉනිම අවසානයේ දී ලකුණු 165ක් දක්වා රැගෙන යාමට ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් වුනු Shivam Mavi සහ Lockie Ferguson සමත් වුවත් එය ඔවුන්ගේ ශූරතාවය කරා යන ඉලක්කය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

තරගයේ ආරම්භක පන්දුවාර කිහිපය තුල Bravo ඉතාමත් හොඳින් සිය පන්දුවාර ක්‍රියාත්මක කරමින් කොල්කටා කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය මුල සිටම පාලනය කළ අතර අනෙක් චෙන්නායි පන්දු යවන්නන් ද අවසානයේ දී Bravoගේ රිද්මය හා සමාන රිද්මයකට කැඳවාගෙන ඒමට Dhoniගේ නායකත්වයට හැකියාව ලැබුණා.

එසේම මේ තරගයේ ශූරතාවය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් නායක Dhoni විස්සයි විස්ස කණ්ඩායමක නායකත්වය දරමින් ක්‍රීඩා කළ 300 වැනි තරගය ද මෙය වුනු අතර එවැනි වාර්තාවක් තැබූ ලොව එකම සහ පළමු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

පන්දු යැවීමේ දී Thakur කඩුලු 3ක් දවා ගන්නා විට Josh Hazlewood සහ Ravindra Jadeja අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

චෙන්නායි සුපර් කිංග්ස් – 192/3 (20): Faf du Plessis 86, Moeen Ali 37*, Ruturaj Gaikwad 32, Robin Uthappa 31, Sunil Narine 2/26.

කොල්කටා නයිට් රයිඩර්ස් – 165/8 (20): Shubman Gill 51, Venkatesh Iyer 50, Shivam Mavi 20, Shardul Thakur 3/38, Josh Hazlewood 2/29, Ravindra Jadeja 2/37.

  • අවසන් තරගයේ වීරයා – Faf du Plessis (CSK)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – Harshal Patel (RCB)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරුවා –  Ruturaj Gaikwad (CSK)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<