සහන්ගේ දස්කම්වලින් Pokhara Rhinos අවසන් සටනට

එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

2131
Everest Premier League FB page

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා Pokhara Rhinos කණ්ඩායම 2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවති දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගය Pokhana Rhinos සහ Bhairahawa Gladiators කණ්ඩායම් අතර ඊයේ (7) නේපාලයේ Kirtipur ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට Rhinos සමත් වුනා.

ලකුණු 35කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු Rhinos වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 44ක දී නොදැවී ලකුණු 53*ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 7ක් ඇතුළත් වුනා. එසේම පන්දු යැවීමේ දී සිය පන්දුවාර 4 තුල ලකුණු 15කට කඩුලු 2ක් දවා ගනිමින් දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි වුනා.

ආරච්චිගේ මේ තරගාවලිය පුරාවට ඉනිම් 5ක දී ලකුණු 143ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහුගේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 47.66ක් වැනි ඉහළ අගයක පැවතුණා. 17.50ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහ 6.36ක් වැනි දල ලකුණු ප්‍රමාණයක් එක් පන්දුවාරයක් සඳහා ලබා දෙමින් ඉනිම් 4ක දී කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වීමට ආරච්චිගේ සමත් වුනා.

2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Chitwan Tigers සහ Pokhara Rhinos කණ්ඩායම් අතර ඔක්තෝබර් 9 වැනිදා Kirtipur ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<