ආණ්ඩුවේ තුට්ටු දෙකේ වාග් ප්‍රහාරය

Image result for සීනි තොග

ඔබ සතුව ඩොලර් තිබේ නම්, හෙට අනිද්දා ඩොලරයේ මිල ඉහළ යන බවට ඔත්තුවක් ඔබට ලැබී ඇත්නම් සහ ඔබට රුපියල් අවශ්‍යතාවයක් මේ මොහොතේ නැත්නම්, ඔබ, ඔබ ළඟ ඇති ඩොලර් මාරු නොකර ළඟ තබා ගන්නවා ද? ඔබ සතුව ඇති ඩොලර් සඳහා බැංකුව රු 203 ක් ගෙවද්දී කිසිදු කරදරයකින් තොරව වෙනකෙකු රු 230 ක් ගෙවන්නේ නම් ඔබට රුපියල් අවශ්‍ය ව ඇත්නම් ඔබ කරන්නේ කුමක් ද? පාලන මිල නියම කර ඇති ඒ නිසා ම හිඟ වී ඇති භාණ්ඩ තොගයක් ඔබ සතු ව තිබේ නම් ද ඒ සඳහා කිසියම් කෙනෙකු ඉහළ මිලක් ගෙවා මිල දී ගැනීමට සූදානම් ද ඔබ ඔහුට ඒ ඉහළ මිලට විකුණනවා ද? ඔබ සතුව තිබෙන යම් දේපලක් වස්තුවක් හෙට අනිද්දා වැඩි මිලකට විකිණීමේ අවස්ථාවක් ඔබට ලැබේ නම් ඔබ එය දැන් පවතින මිලට විකුණා අත පිසදා ගන්නවා ද? යම් භාණ්ඩයක මිල ඉහළ යෑමට නියමිත බවට තොරතුරක් ඔබට ලැබේ නම් ඔබ ඊට පෙර එම භාණ්ඩය රැස්කර තබා ගන්නවා ද? එසේ රැස් කර ගත් භාණ්ඩයක් ඉහළ මිලකට කවරෙකු හෝ ඉල්ලුම් කළ විටක ඔබ පවතින මිල වෙනුවට ඒ ඉල්ලන මිලට දෙනවා ද? නැත්නම් එවැනි ගනුදෙනුවකට අත නොතබා ඉන්නවා ද?

මා මේ ප්‍රශ්න නැගුවේ මේ දවස් වල රජය විවිධ මිනිසුන්ට ඇඟිලි දික් කරමින් කර ගෙන යන කුණු වාග් ප්‍රහාරය නිසා ය.

මේ ප්‍රශ්න වලට ඔබ දෙන උත්තර තුළ අද රටේ පවතින තත්වය හමුවේ මිනිසුන්ගේ හැසිරීම ඇත්තේ ය. ඒත් ආණ්ඩුව සිතන්නේ මිනිසුන් එසේ හැසිරීම වැරදි බව ය.

මේ අයුරින් එල්ල කරන එක චෝදනාවක් නම් අපනයන කරුවන් ලැබෙන ඩොලර් හංගා ගන්නා බව ය. රජය ගොලුවත රකින කාරණය නම් රු 230 ක් ගත හැකි ඩොලරයක් රු 203 කට කිසිවෙකු මාරු කළ යුත්තේ ඇයි ද යන්න ය. වැරැද්ද ඇත්තේ බලහත්කාරයෙන් ඩොලරයට අඩු මිලක් නියම කරන රජයේ ය. එසේ කිරීමෙන් පසු වැඩි මිලක් අපේක්ෂාවෙන් හංගනවා යැයි කීමේ තේරුමක් නැත. ඩොලරයේ නියම මිල රජය ලබා දෙන්නේ නම් හංගන්නටවත් වෙන තැනකට යන්නටවත් කිසිවෙකුට සිදු වන්නේ නැත. 

රටේ ආර්ථික ප්‍රතිපත්ති තීන්දු කරන්නේ ආණ්ඩුව ය. ඒවා හරියට ක්‍රීඩාවක නීති රීති වගේ ය. ක්‍රීඩකයන් කරන්නේ ඒ නීති පද්ධතිය තුළ වඩාත් ම තමන්ට වාසිදායක චර්යාවක නිරත වීම ය. හරියට පවර් ප්ලේ එක භාවිතා කරමින් පිතිකරුවන් හයේ පහරවල් ගහනවා වැනි ය. පවර් ප්ලේ එකක් ලබා දී “බලන්න මුන් දිගට ම හයේ පහර වල් ගහනවා” යැයි කියමින් කුණු කතා කීම එසේ පවර් ප්ලේ ලබා දුන් අයට තරම් නොවන්නේ ය.

ඊළග කුණු කතාව එල්ල වන්නේ සීනි වෙළඳාමේ නියුතු අයට ය. රජය රු 60 ක් වැනි මුදලක් සීනි කිලෝවකට අය කරමින් තිබිය දී කිසියම් දවසක එය සත 25 ට පහල හෙලුවේ ය. ඒ අල්ල පනල්ලේ සීනි විශාල තොගයක් වරායට ගොඩ බාන ලද්දේ ය. ඒ සහනය දින කීපයක් ඇතුළත හකුලාගෙන බදු මුදල නැවතත් රු 50 ක් වැනි මුදලකට නියම වූයේ ය. අර ගෙනා ආ සීනි තොගය විවිධ වෙළඳුන් අත ට පත් වූ නමුත් බදු මුදල වැඩි වූ නිසා ඔවුන් වෙළඳ පොලේ මිල නියම කළේ නව බදු මුදල සැළකිල්ලට ගනිමින් ය. නව ආනයන කරුවෙක් සීනි ආනයනය කරන්නේ නම් නියම කරන මිලකට ඔවුන් තමන්ගේ තොග ඒ නිසා විකුණනන්ට විය. රජයේ වෙනස් වූ නීති ඔවුන් භාවිතා කළා මිසක ඔවුන් නීතිය යටතේ වරදක් කර තිබුනේ නැත. ඒ නිසා හදිසි නීතිය යටතේ සීනි අත්අඩංගුවට ගනු ලැබූව ද ඔවුන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබුනේ නැත. සිදු වූ එක ම දෙය රජය ජනතාව ඉදිරියේ හොඳ මිනිසා වී ව්‍යාපාරිකයන් නරක මිනිසුන් කර තමන්ට සුදු හුණු ගා ගැනීම ය. තමන් විසින් ම කරන ලද වැරැද්ද පිලි නොගෙන එය වෙනත් ‌පාර්ශවයක් පිට පටවා තමන් ජනයාගේ යහපත වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රදර්ශනය කිරීම ය.

ඇත්තට ම ආණ්ඩුව කළේ ක්‍රීඩාව අතරතුර තරඟ නීති වෙනස් කිරීම ය. ආණ්ඩුවට ඔ්නෑම නීතියක් පැනවිය හැකි බව ඇත්ත ය. ඒවා වෙනස් කළ හැකි බව ද ඇත්ත ය. එහෙත් මෙහි දිගු කාලීන ප්‍රතිඵලය කුමක් විය හැකි ද? ආණ්ඩුව මෙවැනි දේ ඉදිරියේ දී ත් කළ හැකිය යන කාරණය ගැන සැළකිලිමත් වෙමින් ව්‍යාපාරිකයන් සෙල්ලම් කිරීමට වග බලා ගැනීම ය. ඒ නිසා අවදානම වැඩියෙන් තක්සේරු කොට ඒ අනුව භාණ්ඩ වලට අතිරේක මිලක් නියම වීම ය. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා බඩු මිල ඉහළ යෑම ය. දැන් අපි සීනි ලාබෙට කෑවට තොග අවසන් වුනාට පසු කන්න වෙන්නේ වැඩි මිලකට ය. සමහර විට අතරවාරයේ වැඩි වූ මිලටත් වඩා වැඩි මිලකට ය.

ආණ්ඩුව කෙලින්නේ ම පිස්සු ය. එසේ පිස්සු කෙළ මිනිසුන්ගෙන් ශුද්ධත්වය අපේක්ෂා කිරීම ආණ්ඩුවකට තරම් නොවන්නේ ය. මිනිසුන් හැසිරෙන්නේ තමනට උපරිම වාසිය, පවතින නීති යටතේ, ලබා ගනු පිණිස ය. වැරැද්ද ඇත්තේ මිනිසුන්ගේ නොව නීති වල ය. ඒ කියන්නේ ආණ්ඩුවේ ය.

පූසෙක් ඉදිරියේ සැමන් කෑල්ලක් තබා ලජ්ජා නැතුව ඒකත් කෑව ද කියා අසනවා වැනි වැඩ කිරීම ආණ්ඩුවකට වටින්නේ නැත.

ආණ්ඩුව කළ යුත්තේ තරඟයේ නීති රීති රටට උපරිමය (කෙටිකාලීනව පමණක් නොව දිගු කාලීනව ද) ලැබෙන ලෙස සකස් කිරීම ය. ඒ නීති කඩන කවරෙකුට හෝ දඩුවම් කිරීම ය. ඒවා පැයෙන් පැයට වෙනස් නොකර තරමක කාලයක් පවත්වා ගැනීම ය. නැතිව දැන් කරන ආකාරයට උදේ හවස නව නීති පනවමින් ඒවා නැවත අකුලා ගනිමින් කටයුතු කිරීමවත් ඒ නීති හා වෙනස් වීම සැලකිල්ලට ගෙන හැසිරෙන මිනිසුන්ට අඳෝනා නැගීමවත් නොවේ. එසේ අවුල් ජාලයක් ඇති කරමින් ඒ තුළ ද තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියාකිරීම හරහා සාමාන්‍ය මිනිසා මුලා වේ දැමිිය හැකි ය. ඒත් ඒ තාවකාලිකව ය. අනිත් අතට ඒවා පල් වැඩ ය. දිගුකාලීනව රට අගාධයට යවන වැඩ ය.

2 thoughts on “ආණ්ඩුවේ තුට්ටු දෙකේ වාග් ප්‍රහාරය

Leave a comment