වැඩිහිටියන්ට ගරු කල යුතුද?

නැත. කිසිවෙකුට ඒ කෙනා වැඩිහිටියෙකු වූ පමණින්ම විශේෂ ගරුත්වයක් දිය යුතු නැත.

පාරට බැස බලන්න. දැන් මැදි වියේ පසුවන අපේ වැඩිහිටි පරපුර අපට උරුම කරදී ඇති සමාජය මොන වගේද කියා. හිංසාවෙන් ප්‍රශ්න විසඳිය යුතු යැයි සිතන, ලිංගික අසහනයෙන් පෙළෙන, අසහනකාරී, ඉවසීමක් නැති, අනන්‍යයන්ගේ අයිතීන් නොඉවසන, දූෂණයෙන් පිරි, ජාතිවාදී, ආගම්වාදී සමාජයකි අප රටේ වැඩිහිටියන් අපට උරුම කර දී තිබෙන්නේ. අපට අපේ වැඩිහිටි පරපුර උරුම කර දුන්නේ එවැනි ගඳ ගහන වටිනාකම් වලින් යුත් විනයක් නැති සමාජයකුත්, දශක ගාණක් පුරා ඇදුනු යුද්ධයකුත්, කුණු වී ඕජස් ගලනා දේශපාලන සංස්කෘතියකුත් ය.

හරි නම් අප වැඩිහිටි පරපුර කල යුත්තේ අපගෙන් ගරුත්වය ඉල්ලීම වෙනුවට සමාව ඉල්ලීමය. අප රටේ සමාජයක්, සංස්කෘතියක් වශයෙන් ඇති අකාර්‍යක්ෂම, කම්මැලි, සැම දෙයකටම ශෝට් කට් සොයන, තාවකාලික වාසි බලාගෙන තාවකාලික විසඳුම් සොයන, හැම ප්‍රශ්නයකටම දේශපාලකයන්ට බැණ අත පිසදාගන්න මේ සියලූම ගඳගහන ගතිගුණ සිරිත් විරිත් වලට වග උත්තර බැඳිය යුත්තේ අපගේ වැඩිහිටි පරපුරය.

කිසිම වැඩිහිටියෙක්ට මනුෂ්‍යයකුට හිමි ගරුත්වයට ඉහළින් ගිය කිසිදු ආකාරයක කිසිදු ගරුත්වයක් පිදිය යුතු නැත (අනෙක මෙම වැඩිහිටියන් ගරුත්වය දැක්වීම කියා සිතන්නේ ඔවුනට ඔලුව නමා නැට්ට පස්ස පැත්තේ ගහගෙන කීකරු වීමටය). ඔවුනට මනුෂ්‍යයකුට හිමි ගරුත්වය දීම ප්‍රමාණවත්ය.

යම් වැඩිහිටියෙක් විශේෂයෙන් ගරුකල යුත්තෙක් නම්, ඔබෙන් ඔහු/ඇය ඒ ගරුත්වය උපයා ගත යුතුය. එවිට ඔහුට/ඇයට හිමි විශේෂ ගරුත්වය පිරිනමන්න. අපට වඩා ඉර වටේ කැරකුණු වට ගණන වැඩි වූ පමණින් කවුරුන් ඉදිරියේවත් කවුරුත් කොන්ද නැමිය යුතු නොවේ.

ඔබ යම් කලෙක වැඩිහිටියකු වූ දිනයක අනාගත පරපුරේ ගරුත්වය බලාපොරොත්තු වේ නම්, අප වැඩිහිටියන් අපට උරුමකර දුන් කාලකණ්ණි සමාජක්‍රමය වෙනුවට වඩා යහපත් සමාජ ක්‍රමයක් ඔවුනට උරුමකරදීමට හැකි උපරිමය ඉටු කරන්න. එවිට ඔබ වැඩිහිටියකු වූ දිනක ඔබට අනාගත පරපුරෙන් ලැබිය යුතු ගරුත්වය ලැබෙනු ඇත.

නමුත් වර්තමානයේ නම්, රටම කෑමෙන් පසු හෙම්බත් වී දැන් පනහ-හැට පැනපු නාකින් වී සිටින වැඩිහිටියන්ට දිය හැකි ලොකුම ගරුත්වය වන්නේ, මඟුල් ගෙවල් වලදී මරණ ගෙවල් වලදී වැනි ලොකු කුඩා බාල මහළු සියල්ලන් එක් රොක් වන තැන් වලදී ඔවුන් සියල්ල දන්නා පඬියන් බව පෙන්වීමේ අරමුණින් දෙසා බානා ගොන් තකතීරු බූරු කතා ප්‍රශ්න කිරීමෙන් ඔවුන් අමාරුවේ නොදමා නිහඬව උපේක්ෂාවෙන් අසා සිටීමය.

ඒ දෙන ගරුත්වය හොඳටම ඇතිය. ඊට වඩා ගරුත්වයක් අපෙන් ඉල්ලන්නට ඔවුන්ට අයිතියක්ද නැත.

3 responses to “වැඩිහිටියන්ට ගරු කල යුතුද?”

  1. මගේ අදහසත් මේකමයි ඒ පිළිබඳව. හැබැයි සමහර වෙලාවට දරුවෝ ගරු කරන්නේ නැතිවෙනකොට අපි පෘතග්ජන මිනිසුන් නිසා තරහ යන වෙලාවල් තිබෙනවා.

    Liked by 2 people

  2. Ranjith Henayaka Avatar
    Ranjith Henayaka

    ඉතාම හොඳ ලියමනක්

    Like

ප්‍රතිචාර සඳහා: