Skip to main content

මොකක්ද අපි කරන්නෙ?

තුන්වන ලෝකයේ රටවල - එහෙම නැතිනම් බටහිර න‍ොවන සමාජවල දේශපාලන ක්‍රියාධරයන්, න්‍යායවේදීන් විසින් වාමාංශික හා ප්‍රගතිශීලී සාහිත්‍යයට කල; තවමත් සිදුකරන විශාල දායකත්වයක් තිබෙනවා. යුරෝපීය චින්තකයින්ගේ අදහස් ලංකාවේ සෑහෙන තරම් ප්‍රචලිත වී තිබෙන නමුත්, අපි හිතන විධිහට ගෝලීය දකුණේ වාමාංශික බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන වි‍ශ්ලේෂණ සහ අදහස් ඒ තරම්ම සැලකිල්ලට ලක්වී නැහැ. තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්නවල යම් සුවිශේෂීත්වයක් තිබෙන බවට වූ කරුණ සලකා බැලුවහම - මෙන්න මේ සාපේක්ෂ නොසැලකිල්ල එක්තරා විධිහක අඩුවක්. 

මේ අවකාශය වෙන් වෙන්නේ බටහිර නොවන සමාජවල වාමාංශික න්‍යායවේදීන් හා ක්‍රියාධරයින් සමකාලීනව ඉදිරිපත් කරනු ලබන ඇතැම් අදහස් සිංහල භාෂාවෙන් ගෙන ඒම වෙනුවෙන්. මේ සඳහා ආරම්භයක් ලෙස, මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය තුලත් යම් උනුසුමක් ඇති කිරීමට හේතු වී තිබෙන චීනයේ භූමිකාව සම්බන්ධයෙන් වෝල්ඩන් බෙලෝ නමැති පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරිකයා / ශාස්ත්‍රඥයා විසින් රචිත China: an Imperial Power in the Image of the West? (චීනය බටහිර හා සමාන අධිරාජ්‍යවාදී බලවේගයක්ද?) නමැති පොත් පිංච සිංහලට පරිවර්තනය කොට අපි ඉදිරිපත් කරනවා. කොටස් කිහිපයක් විධිහට මේ පරිවර්තනය පල කෙරෙනු ඇති. 

චීනය අධිරාජ්‍යවාදී රටක් නිසා ඇමරිකාවයි චීනයයි අතර වෙනසක් නැහැ කියන අදහස ලංකාවේ වාමාංශයේ සමහර කොටස් අතර තරමක් ශක්තිමත් ලෙස පවතිනු අපිට දකින්නට පුලුවන්. මේ අතර තවත් ඇතැමෙක් එක්සත් ජනපදය 'ප්‍රජාතන්ත්‍රවාදී' නිසා මේ ගැටුමේ දී අපි බටහිර පාර්ශවය ගත යුතු යැයි කියන තරමට දුර ගිහින් තිබෙනවා. මේ පසුබිම තුල වෝල්ඩන් බෙලෝගේ මේ කෘතිය හොඳ සංවාදයකට නිමිති වනු ඇතැයි අපි හිතනවා. 

- සංස්කාරකවරු 





Comments

Popular posts from this blog

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා

මම ඉල්ලා අස් නොවෙමි! : සැල්වදෝර් අයියන්දේ

  1970 දී මහජන ඡන්දයෙන් චිලි දේශයේ බලයට ආ සැල්වදෝර් අයියන්දේ එවකට ලෝකයේ සමාජවාදී ව්‍යාපාර අතර උත්තේජනයක් ඇති කලේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් බලය ගැනීම වියහැකියාවක් බවට උදාහරණයක් සැපයූ නිසාය. ඔහු දියත් කල සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වූ චිලියේ විවිධ දක්ෂිණාංශික බලවේග ඇමරිකානු එක්සත් ජනපදයේ සෘජු සහයෝගය සහිතව කල හමුදා කුමන්ත්‍රණයක් තුලින් 1973 සැප්තැම්බර් 11 වනදා අයියන්දේව බලයෙන් පහ කොට අපකීර්තිමත් ඒකාධිපතියෙක් වන ඔගස්ටෝ පිනොශේව බලයේ පිහිටවූයේය. තමා මරා දැමීමට මොහොතකට පෙර, සැල්වදෝර් අයියන්දේ ජාතිය අමතා කල කථාවේ සිංහල අනුවාදය පහත පල වේ.                                                                                      *** මිත්‍රවරුනි, මේ මා ඔබ අමතන අවසාන අවස්ථාවය. ආරංචි වන අන්දමට මේ වනවිට ගුවන් හමුදාව රේඩියෝ පොර්ටාලේස් හා රේඩියෝ කොර්පොරාසියොන් යන ගුවන් විදුලි මධ්‍යස්ථාන කුලුනුවලට බෝම්බ හෙලා තිබේ.  මගේ වචනවල ගැබ් වී තිබෙන්නේ අමිහිරිබවක් නොව අතිමහත් කනගාටුවකි. ස්වකීය ප්‍රතිඥාව පාවා දුන් සියලු දෙනාට, චිලී දේශයේ සොල්දාදුවන්, හමුදාවල ප්‍රධානීන් ලෙස කටයුතු කල යුතුව තිබූ අය - නා