Skip to main content

චීනය යන්නේ බටහිර ගිය පාරේද? - 1 කොටස



පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරික / ශාස්ත්‍රඥ වෝල්ඩන් බෙලෝගේ China: an Imperial Power in the Image of the West? කෘතියේ සිංහල පරිවර්තනය කොටස් වශයෙන් අපිඉදිරිපත් කරමු. පහත පලවන්නේ එහි පලමු කොටසයි.  

***

හැඳින්වීම - චීනය බටහිර ගිය මගම යනු ඇද්ද? 

මෙම පොත් පිංච ලිවීමෙහි ලා අප පෙලඹවූ ප්‍රශ්නය නම්, චීනය ‍ගෝලීය තලය තුල එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය හා අනෙක් බටහිර බලවේග හා සමාන්තර අධිරාජ්‍යවාදී බලයක් බවට පත්ව තිබේද යන පැනයයි. 

ඉහත කී රටවල් 'අධිරාජ්‍යවාදී' යැයි කියන විට, ධනවාදී සමාජ ලෙස ඒවා පැන නැගීමට පසුබිම් වූ ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් අපගේ අවධානයට නතු වේ. පලමුවැන්න, ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන සමුච්චනය සිදුකල හැකි වූයේ ධනවාදී ප්‍රභූන් විසින් පහල පන්තීන්ට එරෙහිව දියත් කල ප්‍රචණ්ඩ අස්වාමීකරණ හා සූරාකෑමේ ක්‍රියාවලියක ප්‍රතිඵල ලෙසය. දෙවනුව, මේ රටවල ගෝලීය බලපෑම හා හෙජමොනික බලවේග ලෙස ඒවාවල නැගී ඒම ධනවාදී-නොවන සමාජවලට එරෙහිව දියත් කල ප්‍රචණ්ඩත්වය මුදා හැරීම් සමග සහසම්බන්ධ වී තිබේ. බලය හා ප්‍රචණ්ඩත්වය පාව්චිචි කොට, බටහිර ධනවාදී රටවල් නිල යටත් විජිත ඇති කලහ. පසුව ඒවා 'නව යටත් විජිත' බවට පත්විය. නව යටත් විජිත යන්නෙන් අදහස් වන්නේ නිල වශයෙන් නිදහස් වන නමුදු, තර්ජනය කිරීම්, අස්ථාවර කිරීම් හා වක්‍ර මාර්ගවලින් කෙරෙන බලපෑම් ආදී ක්‍රමවේද මගින් බටහිර බලවේගවල පාලනයට තවමත් රටවල් යටත් වී තිබෙන තත්වයයි. 

අපගේ පිලිතුර මෙසේය; චීන මහජන ජනරජය බටහිර හා සමාන බොහෝ ගති ලක්ෂණ පෙන්නුම් කරන නමුත්, පැරණි ධනවාදී බලවේග ලෝකයේ අවශේෂය සමග සම්බන්ධ වූ ආකාරය තුල දක්නට ලැබෙන ආධිපත්‍යයමය ව්‍යුහය හා සමාන වූවක් ගොඩනගා ගැන්ම දක්වා එම ගති ලක්ෂණ වර්ධනය වී ඇතැයි කිව නොහැක. අඩුම තරමින් දැනට තතු එබඳුය. 

පසුගිය අවුරුදු හතලිහක කාලය තුල ගෝලීය ධනවාදී බලවේගයක් ලෙස චීනයේ සිදු වී තිබෙන නැගීම වසර පන්සියයක කාලයකට පෙර සිට සිදුවූ බටහිර රටවල නැගීම සමග සංසන්දනය කල විට සුවිශේෂී ලක්ෂණ දරයි. බටහිර ලෝකයේ නැගීම මහා පරිමාණ කොල්ලකෑම් හා අති විශාල හිංසනයක් මගින් සලකුණු වූ එකකි. එය චීනය සම්බන්ධයෙන් දැකගත නොහැක. මේ තාක් දුරට චීනයේ මිලිටරි බලය මූලික වශයෙන් උපාය මාර්ගික ආරක්ෂාව කෙරෙහි යොමු වී තිබෙන එකක් වන අතර, එය සම්බන්ධ වූ යුද ගැටුම් දේශසීමා ගැටුම්වලට සීමා වී තිබේ. මේ යුද ගැටුම්වලින් එකක් දඩුවම් පැනවීමේ පරමාර්ථයෙන් සිදු කරන ලද්දක් වන අතර අනෙක යාබද රාජ්‍යයක ඉල්ලීම මත දියත් කල මහා පරිමාණ ආරක්ෂක මෙහෙයුමකි. 

වර්තමාන චීන ජනාධිපති ෂී ජිං පිංග් ගේ නායකත්වය යටතේ චීනය අතීතයට වඩා බලපෑම්සහගතව එය තමාට ජාත්‍යන්තර පද්ධතිය තුල හිමි විය යුතු යැයි කල්පනා කරන 'නිසි තැන' ඉල්ලා සිටීමේ මෙහෙයුමකට එලැඹ තිබේ. මෙය ගෝලීය හෙජමොනිය තමා වෙත අත්පත් කරගැන්ම සඳහා වූ මෙහෙයුමක් වීමට තිබෙන‍ ඉඩ අවමය. තවද බෙහෙවින් කථාබහට තුඩු දී තිබෙන තීරු හා මාර්ග ව්‍යාපෘතිය තක්සේරු කල යුත්තේ ලෝකය අල්ලා ගැනීමේ මහා පරිමාණ මෙහෙයුමක් ලෙස නොව චීනයේ ආර්ථිකය මත මහත් බරක් බවට පත්වී තිබෙන, අතිරික්ත කාර්මික ශක්‍යතාවය බාහිරකරණය කිරීමේ කැලඹිලිසහගත වෑයමක් ලෙසය. එමෙන්ම ආරක්ෂක වියදම් විශාල වශයෙන් වැඩි වී තිබුණද, බීජිංවල මිලිටරිමය අවධානය මූලික වශයෙන් එල්ල වී ත‍ිබෙන්නේ උපාය මාර්ගික ආරක්ෂක අරමුණු වෙතය. එයිනුත් වැඩි අවධානය දකුණු චීන මුහුද තුල එක්සත් ජනපදයේ මිලිටරි බලය විසින් අභියෝගයට පාත්‍ර කොට තිබෙන චීන බලපෑම අතික්‍රමණය කරගැන්ම කෙරෙහි යොමු වී තිබේ. 

චීනය 'ලෝකය වෙත ගිය' පසුගිය අවුරුදු විසි පහක පමණ කාලය තුල චීනයේ බැංකු, රජයේ ව්‍යාපාර හා පුරවැසියන් ඉලක්ක කොට ගෙන - ඔවුන් වෙත සත්කාරය සැපයූ රටවල් වල ඉන්නා විවිධ ප්‍රජාවන් විසින් ඔවුන්ගේ හැසිරීම ගැන විවිධාකාර පැමිණිලි ඉදිරිපත් කොට තිබේ. චීනය තුල මෙකී බලවේග හැසිරෙන හැටි ගැන ද සමාන විවේචන ඉදිරිපත් වී ඇත. එක්තරා අතකින් ගත්කල, මේවා යමෙක් තියුණු ඉගෙනුම් චක්‍රයක අතරමැද සිටින විට මුහුණ දීමට සිදුවන අඩුපාඩු හා වැරදි ලෙස සැලකිය හැක. තවද දකුණු චීන මුහු‍දේ ඇමරිකානු බලය අභියස චීනය ප්‍රශ්නසහගත ඒකපාර්ශවීය ක්‍රියාමාර්ගවලට යොමු වූ අවස්ථා ද තිබේ. තම අසල්වැසියන් කලබලයට පත් කරමින්, මතභේදයට තුඩු දී තිබෙන සමුද්‍රීය කලාප බලහත්කාරයෙන් අල්ලා ගැනීම උදාහරණයකි. 

චීනය අන්තර්ජාතික තලය තුල වඩ වඩා බලසම්පන්න වන තරමට, මෙම නිශේධනීය හැසිරීම් රටා අධිරාජ්‍යමය හෝ හෙජමොනික ව්‍යුහයන් නිර්මාණය වීම දක්වා වර්ධනය වීමේ අවදානමක් තිබේ. කෙසේ වූවද, ගෝලීය දකුණේ රටවලට වැදගත් විය යුතු ඒ හා සමාන තවත් ප්‍රශ්නයක් ඇත ; එනම් සංවර්ධනය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ප්‍රවේශය පිලිබඳ ගැටලුවයි. 

පසුගිය වසර හතලිහක කාලය තුල, සංවර්ධනය අත්පත් කරගැන්මේ කඩිකුලප්පුවෙන් මඩිනු ලැබ, චීනය උඩ සිට පහලට හසුරුවනු ලබන තාක්ෂණඥ ප්‍රවේශයක් සංවර්ධනය සම්බන්ධයෙන් අනුගමනය කොට තිබේ. මෙම ප්‍රවේශය ප්‍රජාතාන්ත්‍රීය පාලනයට ප්‍රතිරෝධය දක්වන අතර, නූතනවාදී මානසිකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරමින් පාරිසරික සාධක සම්බන්ධ අසංවේදීත්වයක් ප්‍රදර්ශනය කරයි. සෝවියට් යුගයේ ස්ටාලින් යටතේ ක්‍රියාත්මක කල මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති, එක්සත් ජනපදයේ හූවර් වේල්ල, ඉන්දියාවේ නර්මදා වේල්ල හා චීනයේ ජෝර්ජ් වේලි ව්‍යාපෘතිය - ඒ වගේම ලෝක බැංකු ආධාර යටතේ ලාඕසයේ ක්‍රියාත්මක නාම් තෙයූන් 2 ව්‍යාපෘතිය යන සියල්ල තුලම මෙම නූතනත්ව සංවර්ධන ආකෘතිය දක්නට ලැබේ. දෘෂ්ටිවාදී ප්‍රේක්ෂාව පුරාවට විසිරී සිටින විවිධ ආණ්ඩු හා නිල ආයතනවල සහයෝගය ලබන සවංර්ධනය පිලිබඳ 20 වන සියවසේ මෙම යල් පැන ගිය ප්‍රවේශය ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි හඳුන්වන්නේ 'මහාපරිමාණවාදය' නමිනි. තවත් ඇතමුන් එය 'නව-සංවර්ධනවාදය' සහ 'නිශ්කර්ෂණවාදය' ලෙස ද හඳුන්වති. සංවර්ධනය වෙමින් පවතින රටවල චීනය මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සිදු කොට තිබෙන ආයෝජන - විශේෂයෙන්ම අති විශාල යුරේසියානු භූමි තලයක් පුරාවට තීරු හා මාර්ග ව්‍යාපෘතිය යටතේ විසිරී ගොස් තිබෙන ආයෝජන ස්කන්ධය දෙස බැලූ විට, චීනය මුහුණ දී සිටින බරපතල අතිරික්ත ධාරිතා ප්‍රශ්නය විසඳා ගැන්ම වෙනුවෙන් සිදු කොට තිබෙන මෙම ආයෝජන පාරිසරික වශයෙන් ඉතාම නරක ප්‍රතිවිපාක ඇති කිරීමේ අවදානම සහිතය. 

චීනය අධිරාජ්‍යවාදී බලයක් බවට පත්වීම අනිවාර්යයක් නොවේ. එහෙත් එය වර්තමානයේ තීරණාත්මක මංසන්ධියකට එලැඹ සිටී. එක් අතෙකින්, ඊට බටහිර රටවල් ගිය මාවත අනුගමනය කරමින්, තාක්ෂණඥ සංවර්ධනවාදී මගක් ඔස්සේ යමින්, බටහිර තරම්ම විනාශකාරී බලවේගයක් බවට පත්වීමට පුලුවන. එසේ නැතිනම්, ගෝලීය දකුණ සමග සම්බන්ධ වීම සඳහා විකල්ප මගක් සොයා ගැන්මට පුලුවන. අන්තර්ජාතික සිවිල් සමාජයට මේ සම්බන්ධයෙන් කල හැකි වැදගත් දායකත්වයක් තිබේ.  චීනයේ නිල ආයතන, රාජ්‍ය සමාගම් හා පෞද්ගලික සමාගම් ක්‍රියාත්මක වන ආකාරය සමග හා චීන නායකත්වයේ තාක්ෂණඥ හා අධිකාරිවාදී නැඹුරුව සමග සංවර්ධනාත්මක විවේචනය තුලින් අභිමුඛ වීම මේ අනුව වැදගත්ය. 

අප මේ නිගමනයට එලැඹෙන්නේ විස්තීර්ණ විශ්ලේෂණයක ප්‍රතිඵල ලෙසය. අපගේ විශ්ලේෂණය චීනය තුල ධනවාදය ඓතිහාසිකව වර්ධනය වූ ආකාරයේ තිබෙන වැදගත් අංගලක්ෂණ පිලිබඳ විමසුමකින් ආරම්භ වේ. චීන ආර්ථික‍යේ ප්‍රධාන පැතිකඩ හා දුර්වලතා කෙරෙහි අධ්‍යයනයක් අප ඉක්බිති ඉදිරිපත් කරන අතර, ලෝකයේ අවශේෂ රටවල් සමග -විශේෂයෙන්ම ආන්දෝලනයට තුඩු දී තිබෙන තීරු හා මාර්ග ව්‍යාපෘතිය හරහා ඒ රටවල් සමග චීනය ගනුදෙනු කරන ආකාරය පිලිබඳ සාකච්ඡාවකින් ද, චීනයේ උපාය මාර්ගික තත්වය හා එය මුහුණ දෙන සංකීර්ණතා පිලිබඳ විමසුමක්ද, අවසාන වශයෙන් වර්තමානයේ චීනය හා සම්බන්ධ වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වන දකුණු චීන මුහුදේ අසල්වාසී රටවල් සමග එරට ගනුදෙනු කරන ආකාරය සම්බන්ධයෙන් චීනය මුහුණ දී සිටින උභතෝකෝටිකයන් ගැන වූ විග්‍රහයකින් ද අපගේ විශ්ලේෂණය සමන්විතය. 




Comments

Popular posts from this blog

මොකක්ද අපි කරන්නෙ?

තු න්වන ලෝකයේ රටවල - එහෙම නැතිනම් බටහිර න‍ොවන සමාජවල දේශපාලන ක්‍රියාධරයන්, න්‍යායවේදීන් විසින් වාමාංශික හා ප්‍රගතිශීලී සාහිත්‍යයට කල; තවමත් සිදුකරන විශාල දායකත්වයක් තිබෙනවා. යුරෝපීය චින්තකයින්ගේ අදහස් ලංකාවේ සෑහෙන තරම් ප්‍රචලිත වී තිබෙන නමුත්, අපි හිතන විධිහට ගෝලීය දකුණේ වාමාංශික බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන වි‍ශ්ලේෂණ සහ අදහස් ඒ තරම්ම සැලකිල්ලට ලක්වී නැහැ. තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්නවල යම් සුවිශේෂීත්වයක් තිබෙන බවට වූ කරුණ සලකා බැලුවහම - මෙන්න මේ සාපේක්ෂ නොසැලකිල්ල එක්තරා විධිහක අඩුවක්.  මේ අවකාශය වෙන් වෙන්නේ බටහිර නොවන සමාජවල වාමාංශික න්‍යායවේදීන් හා ක්‍රියාධරයින් සමකාලීනව ඉදිරිපත් කරනු ලබන ඇතැම් අදහස් සිංහල භාෂාවෙන් ගෙන ඒම වෙනුවෙන්. මේ සඳහා ආරම්භයක් ලෙස, මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය තුලත් යම් උනුසුමක් ඇති කිරීමට හේතු වී තිබෙන චීනයේ භූමිකාව සම්බන්ධයෙන් වෝල්ඩන් බෙලෝ නමැති පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරිකයා / ශාස්ත්‍රඥයා විසින් රචිත China: an Imperial Power in the Image of the West? (චීනය බටහිර හා සමාන අධිරාජ්‍යවාදී බලවේගයක්ද?) නමැති පොත් පිංච සිංහලට පරිවර්ත

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා

මම ඉල්ලා අස් නොවෙමි! : සැල්වදෝර් අයියන්දේ

  1970 දී මහජන ඡන්දයෙන් චිලි දේශයේ බලයට ආ සැල්වදෝර් අයියන්දේ එවකට ලෝකයේ සමාජවාදී ව්‍යාපාර අතර උත්තේජනයක් ඇති කලේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් බලය ගැනීම වියහැකියාවක් බවට උදාහරණයක් සැපයූ නිසාය. ඔහු දියත් කල සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වූ චිලියේ විවිධ දක්ෂිණාංශික බලවේග ඇමරිකානු එක්සත් ජනපදයේ සෘජු සහයෝගය සහිතව කල හමුදා කුමන්ත්‍රණයක් තුලින් 1973 සැප්තැම්බර් 11 වනදා අයියන්දේව බලයෙන් පහ කොට අපකීර්තිමත් ඒකාධිපතියෙක් වන ඔගස්ටෝ පිනොශේව බලයේ පිහිටවූයේය. තමා මරා දැමීමට මොහොතකට පෙර, සැල්වදෝර් අයියන්දේ ජාතිය අමතා කල කථාවේ සිංහල අනුවාදය පහත පල වේ.                                                                                      *** මිත්‍රවරුනි, මේ මා ඔබ අමතන අවසාන අවස්ථාවය. ආරංචි වන අන්දමට මේ වනවිට ගුවන් හමුදාව රේඩියෝ පොර්ටාලේස් හා රේඩියෝ කොර්පොරාසියොන් යන ගුවන් විදුලි මධ්‍යස්ථාන කුලුනුවලට බෝම්බ හෙලා තිබේ.  මගේ වචනවල ගැබ් වී තිබෙන්නේ අමිහිරිබවක් නොව අතිමහත් කනගාටුවකි. ස්වකීය ප්‍රතිඥාව පාවා දුන් සියලු දෙනාට, චිලී දේශයේ සොල්දාදුවන්, හමුදාවල ප්‍රධානීන් ලෙස කටයුතු කල යුතුව තිබූ අය - නා