Skip to main content

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (2) | මෙන්ෂෙවිකයන් අතර මතභේද


රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුල වූ මෙන‍්ෂෙවික්-බොල්ෂෙවික් භේදය එහි අවසානය කරා ලගා වූයේ 1912 දීය. මෙම වර්ෂයේ දී අවසානාත්මක වශයෙන් බොල්ෂෙවිකයන් හා මෙන්ෂෙවිකයන් පක්ෂ දෙකක් ලෙස වෙන්වූහ. භේදය සම්පූර්ණ වූයේ කණ්ඩායම් දෙක අතර සමථයක් ඇති කිරීමට ට්‍රොට්ස්කි බඳු අය දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් ඉක්බිතිවය. මෙලෙස බොල්ෂෙවිකයන්ගෙන් වෙන් වූවත්, මෙන්ෂෙවික් පක්ෂය සමජාතීය එකක් නොවීය. ඒ තුල විවිධ උප ප්‍රවණතා විය. මෙම උප ප්‍රවණතා අතර ගැටුම ඉතාම පැහැදිලිව කරලියට පැමිණියේ 1914 පලමු ලෝක යුද්ධය ඇතිවීමත් සමගය.

පලමු ලෝක යුද්ධය යුරෝපය පුරා වූ සමාජවාදී පක්ෂ වෙත තීරණාත්මක කඩ ඉමක් ඉදිරිපත් කලේය. දෙවන ජාත්‍යන්තරය මූලධාර්මික වශයෙන් යුධ විරෝධී විය. කම්කරුවන් අතර ජාත්‍යන්තර සහයෝගීතාවය වෙනුවෙන් පෙනී උන් මෙම සංවිධානය යුද්ධය හට ගැනීමත් සමග තීරණාත්මක අර්බුදයකට ලක්විය. යුරෝපයේ බොහෝ සමාජවාදී පක්ෂ; මෙතෙක් තමා දැරූ ස්ථාවරය වෙනස් කරමින්, යුද්ධයේදී තම තමන්ගේ රටවල ආණ්ඩුවලට සහයෝගය දෙන ප්‍රතිපත්තියකට මාරු වූහ. මෙම ප්‍රවණතාවය 'සමාජ-ජාත්‍යොන්මාදවාදය' ලෙස එහි විවේචකයන් විසින් හඳුන්වන ලදී. වචනයෙන් සමාජවාදය ගැන කථා කලත්; ක්‍රියාවෙන් ජාත්‍යොන්මාදවාදී ලෙස කටයුතු කිරීම යන්න එහි තේරුමය. 

දෙවන අන්තර්ජාතිකයේ ප්‍රධානතම පක්ෂය වූ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අත් වූ ඉරණම සමාජ-දේශප්‍රේමී මනෝභවය ප්‍රබල වූ ආකාරය ගැන හොඳම නිදසුනයි. ලෝක යුද්ධය පටන් ගත් විගස ජර්මානු පාර්ලිමේන්තුවට යුද වියදම් පිලිබඳ යෝජනාව ඉදිරිපත් වූ විට - මෙතෙක් කල් යුද විරෝධී ස්ථාවරයකට සිටි පක්ෂයේ සියලු පතාක යෝධයින් ඊට සක්‍රීයව හෝ නිෂ්ක්‍රීයව සහයෝගය දැක්වූහ. මීට විරුද්ධ වූයේ පක්ෂයේ වාමාංශය නියෝජනය කල කාල් ලීබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග් ඇතුලු සුලුතරයකි.

මෙලෙස යුරෝපයේ සමාජවාදී පක්ෂ පොදුවේ සමාජ-දේශප්‍රේමයට යටත් වුවත්, රුසියානු සමාජවාදීන් අතර බොල්ෂෙවික් මෙන්ෂෙවික් භේදයකින් තොරව යුද විරෝධී ස්ථාවරය සාපේක්ෂව බලවත් තැනක පසුවිය. යුද්ධයට පක්ෂව, සාර් ආණ්ඩුවට සහයෝගය දිය යුතු බවට විවෘතව කීවේ අතිශය සුලු පිරිසකි. මේ වනවිට පක්ෂයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් උන් රුසියානු මාක්ස්වාදයේ පුරෝගාමියා වූ ප්ලෙහනොව් මේ අතර ප්‍රමුඛ විය. මීට අමතරව 'ඉස්ක්‍රා' කණ්ඩායමේ පුරෝගාමියෙක් වූ පෙට්‍රසොව් - ප්ලෙහනොව් තරම් දේශානුරාගී ආකාරයකින් නොවුවත් - කම්කරු ව්‍යාපාරය ලෝක යුද්ධයේ දී සාර් අධිරාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ‍පෙනී සිටිය යුතු බව කීවේය. මෙම පිල 'ආරක්ෂකවාදීන්' ලෙස ප්‍රසිද්ධ වූහ. 

ප්ලෙහනොව් 

මෙන්ෂෙවිකයන්ගේ බහුතර පිරිස - විශේෂයෙන් මාටොව්ගේ නායකත්වයෙන් රුසියාවෙන් පිටත සිට ක්‍රියාත්මක වෙමින් තිබූ විප්‍රවාසී කණ්ඩායම් යුද විරෝධී ආස්ථානයක් ගත්තේය. යුද්ධයට විරුද්ධ යුරෝපීය සමාජවාදීන් එකතුව සංවිධානය කල සිමර්වල්ඩ් සම්මේලනයට ද ඔවුන් සහභාගි විය. මෙම පිරිස 'මෙන්ෂෙවික් ජාත්‍යන්තරවාදීන්' ලෙස ප්‍රකට වූහ. ජර්මනිය බඳු රටවලට වෙනස්ව, යුද්ධ ණය පිලිබද ප්‍රශ්නය ඩූමා සභාවට ඉදිරිපත් කල විට, මෙන්ෂෙවික් හා බොල්ෂෙවික් යන ප්‍රවණතා දෙකෙහිම මන්ත්‍රීවරුන් කලේ ඊට විරුද්ධව ඡන්දය දීමය. යුද්ධයට විරුද්ධ වූ නිසා මේ පිරිස් සයිබීරියාවට පිටුවහල් කරන ලදී. සයිබීරියාවට පිටුවහල් වූ මෙන්ෂෙවික් නායකයන් වන පියඩෝර් ඩෑන් හා ඉරාක්ලි ත්සෙරතෙල්ලි යන අය ද යුද විරෝධී ස්ථාවරයක් ගත්හ. 

කෙසේ වුවද ලෙනින් ඇතුලු බොල්ෂෙවිකයන්ගේ යුද විරෝධය සහ මාටොව් වැනි අයගේ යුද විරෝධය අතර මූලික වෙනසක් තිබුණි. ලෙනින්ගේ අදහස වූයේ ලෝකය බෙදාගැන්ම සඳහා අධිරාජ්‍යවාදී රටවල් කරන යුද්ධයේ දී ඒ ඒ රටවල කම්කරු පන්තිය තම ආණ්ඩුවට විරුද්ධ විය යුතු බවය. මෙම ස්ථාවරය 'විප්ලවවාදී පරාජකවාදය' නමින් හැඳින්විණ. නිදසුන් ලෙස, රුසියානු කම්කරුවන් කල යුත්තේ සාර්ගේ ආණ්ඩුවට සහයෝගය දීම නොව එය පරාජය කරනු පිණිස කටයුතු කිරීමය ; අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයක් බවට පත්කොට තම පාලක පන්තියට විරුද්ධව යුද වැදීමය. මාටොව්ගේ යුද විරෝධය තුල මෙබඳු හැගවුමක් නොවූ අතර ඔහු 'ඈඳාගැනීම් හා වන්දි ඉල්ලීම්වලින් තොර' ප්‍රජාතන්ත්‍රවාදී සාමයක් යන සිමර්වල්ඩ් සම්මේලනයේ මූලධර්මය අනුගමනය කලේය.  මෙය සාමාන්‍ය සාමවාදී ස්ථාවරයකට කිට්ටු එකකි. 

කෙසේ වුවද 1917 පෙබරවාරි විප්ලවය හටගත් පසුව තත්වය තීරණාත්මක ලෙස වෙනස් විය. 1917 පෙබරවාරි විප්ලවය හටගත්තේ යුද්ධයෙන් පීඩිත වී උන් රුසියානු අගනුවර වූ පෙට්‍රොග්‍රෑඩ් නුවර ඇති වූ මහජන අසහනය තුලින්ය. මෙම මහජන විරෝධතාවලට මුහුණ දී ගත නොහැකිව සාර් රජු කිරුල හැර ගියේය. කම්කරුවන් හා සොල්දාදුවන්ගේ ඡන්දයෙන් 'සෝවියට් සභා' පිහිටුවන ලදී. මීට සමගාමීව රට පූර්ණ සමූහාණ්ඩුවක් බවට පත් කෙරෙන ව්‍යවස්ථාදායක සභාවක් කැඳවන තෙක් 'තාවකාලික ආණ්ඩුවක්' ඇති කෙරුණි. සෝවියට් සභාවල බලය තිබුණේ මෙන්ෂෙවිකයන්ට හා සමාජ විප්ලවවාදී පක්ෂයටය. බොල්ෂෙවිකයන් සුලුතරයක් විය. තාවකාලික ආණ්ඩුව මුලින් සමන්විත වූයේ ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවාදීන් හා ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (කැඩේට් පක්ෂය) නියෝජනය කල ලිබරල්වරුන්ගෙන්ය. සෝවියට් සභා සමාන්තර දේශපාලන බලයක් ලෙස ක්‍රියා කල අතර, එහි බලය හෙබවූ මෙන්ෂෙවිකයන් තාවකාලික ආණ්ඩුවට සහයෝගය පල කලේය. 

ත්සරතෙල්ලි
පෙබරවාරි විප්ලවයෙන් පසුව, මෙතෙක් විගාමිකව සිටි  මාටොව් ඇතුලු දේශපාලන ක්‍රියාකාරීන් යලිත් රුසියාවට ආවේය. මේ වනවිට මෙන්ෂෙවික් පක්ෂය ද්විත්ව භූමිකාවක් ඉටු කරමින් සිටියේය. එක් අතෙකින්, කම්කරුවන් හා සොල්දාදුවන් යන නිර්ප්‍රභූ බලවේගවල නියෝජිතයා ලෙස එකී බලවේග අතර පවතින කැරලිකාරී මනෝභාවය සෝවියට් සභා තුල නියෝජනය කරන්ට සිදුවිය. යුද්ධය නිසා හෙම්බත්ව සිටි නාගරික කම්කරුවන් හා ප්‍රධාන වශයෙන් සොල්දාදුවන් සාමය ඉල්ලා සිටියහ.  ගම්බද ප්‍රදේශවල ගොවි ජනයා වංශාධිපතීන් සතු ඉඩම් තමුන් අතර බෙදාදෙන ලෙස ඉල්ලීම් කලහ. මේවා විප්ලවකාරී ඉල්ලීම් විය. 

අනෙක් අතට, රුසියාව බඳු කම්කරු පන්තිය සුලුතරයක් වූ රටක සමාජවාදී විප්ලවයක් සිදුවිය නොහැක යන මාක්ස්වාදී අදහස එහි පදගත අර්ථයෙන් විශ්වාස කල මෙන්ෂෙවිකයන් - සමාජවාදී විප්ලවය කිරීමේ මෙන්න මේ නොහැකියාව නිසා - 'ප්‍රායෝගිකව කල හැකි දෑ' කෙරෙහි සීමා වීමට තීරණය කොට තිබුණි. මේ නිසා රටේ විශාලතම ජනගහණය වන ගොවි ජනයා නියෝජනය කල සමාජ විප්ලවවාදී පක්ෂය සහ ආර්ථික ශක්තිය තිබෙන කර්මාන්තකරුවන්ගේ සහයෝගය ලද කැඩේට් පක්ෂය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම තම වගකීම ලෙස ඔවුන් සැලකීය. ඔවුන් තාවකාලික ආණ්ඩුවට සහය දුන්නේ මේ තේරුමින්ය. ‍තාවකාලික ආණ්ඩුවට සහයෝගය දුන් නිසා එම ආණ්ඩුවේ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටීමටත් ඔවුන්ට සිදුවිය. 

මෙම විරුද්ධාභාෂය හොඳටම පැහැදිලි වන තැනකි හමුදාවේ විනය සම්බන්ධව පැන නැගුණු ප්‍රශ්නය. 1917 පෙබරවාරි විප්ලවයේ විශාල වැඩ කොටසක් ඉටු කලේ හමුදා සොල්දාදුවන්ය. ඔවුන් හමුදාවල සොල්දාදුවන්ගේ කමිටු ඇති කලේය. පරණ රාජාණ්ඩුවාදී හමුදා නිලධාරීන්ගේ බලය පාලනය කිරීම සඳහා ඔවුන්ගේ බලය හුදෙක් මිලිටරි කටයුතුවලට පමණක් සීමා කෙරුණි. හමුදාවේ තීරණ ගත්තේ සොල්දාදුවන්ගේ කමිටුවල ඡන්ද විමසීම් හරහාය. මෙම තත්වය සොල්දාදුවන් අතර වූ කැරලිකාරී මනස හෙලිදරවු කරයි. මෙම විප්ලවකාරී ආකල්පයට මෙන්ෂෙවිකයන්ගේ මෙහෙයවීමෙන් යුක්ත සෝවියට් සභාව සහයෝගය දුන්නේය. 

අනෙක් අතට, හමුදාවේ වූ මෙම අරාජක තත්වය තාවකාලික ආණ්ඩුවට ප්‍රශ්නයක් වූයේ ඔවුන්ට ආණ්ඩු කටයුතු කරගෙන යාමට මෙය බාධාවක් වූ නිසාය. මේ නිසා ආණ්ඩුවට සොල්දාදුවන් විනයගත කිරීමට උවමනා විය. ආණ්ඩුව නියෝජනය කල මෙන්ෂෙවික් ඇමතිවරුන් මේ අනුව සොල්දාදුවන් අතර 'ප්‍රජාතන්ත්‍රවාදය' සීමා කොට, පැරණි නිලධාරීන්ගේ බලය යලි පිහිටුවීම මැනැවැ'යි කල්පනා කරන්ට වූහ. එකම විට ආණ්ඩුව හා විරුද්ධත්වය යන දෙකම නියෝජනය කරන්ට වීමේ උ‍භතෝකෝටිකය මින් හෙලිදරවු වේ. 

1917 පෙබරවාරියෙන් පසුව, මෙන්ෂෙවිකයන් අතර වූ විශාලතම භේදය මතු වූයේ ලෝක යුද්ධය සම්බන්ධයෙන් ගත යුතු ආස්ථානය සම්බන්ධවය. පෙබරවාරි රෙජිමය දිගටම යුද්ධය කරගෙන ගියේය. විප්ලවයෙන් පසුව, මෙතෙක් කල් 'ජාත්‍යන්තරවාදී' ස්ථාවරයක් දැරූ ඩෑන්, ශ්කයිඩ්ස් හා ත්සරතෙල්ලි ආදී මෙන්ෂෙවික් නායකයන් තම ස්ථාවරය වෙනස් කලේය. මොවුන් තාවකාලික ආණ්ඩුව සමග කිට්ටුවෙන් සම්බන්ධකම් පැවැත්වූ අයයි. මේ වනවිට තිබෙන්නේ සාර්ගේ රාජාණ්ඩුව නොව, විප්ලවයෙන් බිහිවූ රජයක් බව ප්‍රකාශ කල ඔවුන් මේ නිසා යුද්ධයේ ස්වරූපය වෙනස් වී තිබෙන බව ; විප්ලවකාරී ආණ්ඩුවක් තිබෙන රුසියාව දැන් කරමින් ඉන්නේ ආත්මාරක්ෂාව සඳහා යුද්ධයක් බවට වූ පදනම මත යුද්ධයට සහයෝගය ප්‍රකාශ කලේය. මෙම ස්ථාවරය 'විප්ලවකාරී ආරක්ෂකවාදය' ලෙස හැඳින්විණ. ක්ෂණික සාමයක් සඳහා සොල්දාදුවන් අතර වූ පිපාසාවට පටහැණිව, දිගටම යුද්ධය කරගෙන යාමට ඔවුන්ට අවශ්‍ය විය. 

අනෙක් අතට, ඩෑන් හා ත්සරතෙල්ලි යන අයට විරුද්ධව සිටියේ පක්ෂයේ පුරෝගාමියා වූ මාටොව්ය. මාටොව්ගේ අදහස වූයේ නව ආණ්ඩුව සාම සාකච්ඡා සඳහා මිත්‍ර පාර්ශවයේ රටවල්වලට බල කල යුතු බවත් ; මිත්‍ර පාර්ශවය එකඟ නොවේ නම් රුසියාව යුද්ධයෙන් ඉවත් විය යුතු බවත්ය. මාටොව්ගේ අනුගාමිකයන්ට පෙට්‍රොග්‍රෑඩ් නුවර විශාල බලයක් තිබුණත්, සමස්තයක් ලෙස මෙන්ෂෙවික් පක්ෂය තුල ඔවුන් සුලුතරයක් විය. මේ අනුව ගත්කල, 1917 පෙබරවාරියෙන් ඉක්බිති ඩෑන්, ත්සරතෙල්ලි යන අයගෙන් යුක්ත 'දක්ෂිණාංශය' මෙන්ෂෙවික් පක්ෂයේ බලය හොබවන විට ; මාටොව් ඇතුලු මෙන්ෂෙවික් ජාත්‍යන්තරවාදීන්ගෙන් එම පක්ෂයේ 'වාමාංශය' සමන්විත විය. 

1917 පෙබරවාරි සිට 1917 ඔක්තොම්බර් විප්ලවය දක්වා කාලය තුල මෙම මතභේදය තුලින් මෙන්ෂෙවික් පක්ෂය ගමන් කල හැටි, මෙකී මතභේදය මෙන්ෂෙවිකයන්ගේ ඉරණම වෙත බලපෑ හැටි ඊලග ලිපියෙන් සාකච්ඡා කරමු. 


Comments

Popular posts from this blog

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා

මම ඉල්ලා අස් නොවෙමි! : සැල්වදෝර් අයියන්දේ

  1970 දී මහජන ඡන්දයෙන් චිලි දේශයේ බලයට ආ සැල්වදෝර් අයියන්දේ එවකට ලෝකයේ සමාජවාදී ව්‍යාපාර අතර උත්තේජනයක් ඇති කලේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් බලය ගැනීම වියහැකියාවක් බවට උදාහරණයක් සැපයූ නිසාය. ඔහු දියත් කල සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වූ චිලියේ විවිධ දක්ෂිණාංශික බලවේග ඇමරිකානු එක්සත් ජනපදයේ සෘජු සහයෝගය සහිතව කල හමුදා කුමන්ත්‍රණයක් තුලින් 1973 සැප්තැම්බර් 11 වනදා අයියන්දේව බලයෙන් පහ කොට අපකීර්තිමත් ඒකාධිපතියෙක් වන ඔගස්ටෝ පිනොශේව බලයේ පිහිටවූයේය. තමා මරා දැමීමට මොහොතකට පෙර, සැල්වදෝර් අයියන්දේ ජාතිය අමතා කල කථාවේ සිංහල අනුවාදය පහත පල වේ.                                                                                      *** මිත්‍රවරුනි, මේ මා ඔබ අමතන අවසාන අවස්ථාවය. ආරංචි වන අන්දමට මේ වනවිට ගුවන් හමුදාව රේඩියෝ පොර්ටාලේස් හා රේඩියෝ කොර්පොරාසියොන් යන ගුවන් විදුලි මධ්‍යස්ථාන කුලුනුවලට බෝම්බ හෙලා තිබේ.  මගේ වචනවල ගැබ් වී තිබෙන්නේ අමිහිරිබවක් නොව අතිමහත් කනගාටුවකි. ස්වකීය ප්‍රතිඥාව පාවා දුන් සියලු දෙනාට, චිලී දේශයේ සොල්දාදුවන්, හමුදාවල ප්‍රධානීන් ලෙස කටයුතු කල යුතුව තිබූ අය - නා

මොකක්ද අපි කරන්නෙ?

තු න්වන ලෝකයේ රටවල - එහෙම නැතිනම් බටහිර න‍ොවන සමාජවල දේශපාලන ක්‍රියාධරයන්, න්‍යායවේදීන් විසින් වාමාංශික හා ප්‍රගතිශීලී සාහිත්‍යයට කල; තවමත් සිදුකරන විශාල දායකත්වයක් තිබෙනවා. යුරෝපීය චින්තකයින්ගේ අදහස් ලංකාවේ සෑහෙන තරම් ප්‍රචලිත වී තිබෙන නමුත්, අපි හිතන විධිහට ගෝලීය දකුණේ වාමාංශික බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන වි‍ශ්ලේෂණ සහ අදහස් ඒ තරම්ම සැලකිල්ලට ලක්වී නැහැ. තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්නවල යම් සුවිශේෂීත්වයක් තිබෙන බවට වූ කරුණ සලකා බැලුවහම - මෙන්න මේ සාපේක්ෂ නොසැලකිල්ල එක්තරා විධිහක අඩුවක්.  මේ අවකාශය වෙන් වෙන්නේ බටහිර නොවන සමාජවල වාමාංශික න්‍යායවේදීන් හා ක්‍රියාධරයින් සමකාලීනව ඉදිරිපත් කරනු ලබන ඇතැම් අදහස් සිංහල භාෂාවෙන් ගෙන ඒම වෙනුවෙන්. මේ සඳහා ආරම්භයක් ලෙස, මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය තුලත් යම් උනුසුමක් ඇති කිරීමට හේතු වී තිබෙන චීනයේ භූමිකාව සම්බන්ධයෙන් වෝල්ඩන් බෙලෝ නමැති පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරිකයා / ශාස්ත්‍රඥයා විසින් රචිත China: an Imperial Power in the Image of the West? (චීනය බටහිර හා සමාන අධිරාජ්‍යවාදී බලවේගයක්ද?) නමැති පොත් පිංච සිංහලට පරිවර්ත