ශ්‍රී ලංකාව 2021-23 ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ආරම්භ කිරීමට සැරසෙයි

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය - 2021-23

3763
Sri Lanka to launch new World Test Championship

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් එළඹෙන නොවැම්බර් මාසයේ දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිත එම ටෙස්ට් තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 21 සිට නොවැම්බර් 25 දක්වාත්, දෙවැනි තරගය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දක්වාත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය තරග අදියර යටතේ ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර කොදෙව් දේශයේ සත්කාරකත්වය ඇතිව ටෙස්ට් තරග දෙකක් ක්‍රියාත්මක වුනු නමුත්, එම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වී නොවැම්බර් 14 වැනිදා අවසන් වන ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකාව මුහුණ දීමට සූදානමින් සිටින පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන්නේ මෙයයි.

කණ්ඩායම් දෙකෙමේ ටෙස්ට් තරග රටාව සඳහාම වර්ගීකරණය වී සිටින ක්‍රීඩකයින් ඉදිරි මාසයේ දී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන් වූ වහාම LPL (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් 4 සිට 23 දක්වා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

තවද, ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 28 වැනිදා සිට සිව්දින තරග දෙකක් සහ පන්දුවාර 50 තරග 5ක් සඳහා තරග වැදීමට සූදානමින් සිටිනවා.

එම ශ්‍රී ලංකා A සංචිතය සඳහා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණිය වැනි ටෙස්ට් තරග රටාව සඳහා විශේෂ වූ ක්‍රීඩකයින් හට පුහුණුවීම් ලබාදීම අරමුණු කරගෙන ඔවුන්ව මේ සංචිතය සඳහා ඇතුළත් කරනවා ද, නැද්ද යන්න තේරීම් කමිටුව විසින් ඉදිරියේ දී තීරණ කරනු ඇත.

ශ්‍රී ලංකාව 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දී ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊට අමතරව ඉන්දියාවේ දී, බංග්ලාදේශයේ දී සහ නවසීලන්තයේ දී තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ඒ අනුව එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සම​ඟ ශ්‍රී ලංකාව දෙවැනි අදියරේ දී (2021-23 තරග අදියරේ දී) තරග වදින්නේ නැහැ.

පළමු අදියරේ දී මෙන් විවිධ ටෙස්ට් තරගාවලි සඳහා විවිධ තරග සංඛ්‍යාවක් ඇතුළත්ව තිබීම මත මෙවර ප්‍රසාද ලකුණු සටහනට අනවශ්‍ය බලපෑමක් සිදු කරන්නේ නැහැ. ඒ අනුව ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාවට අදාළව වෙන්ව ඇති (ජය ගතහොත් ලබා ගත හැකි) ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සහ ක්‍රීඩා කිරීමෙන් පසුව ලබා ගත් ජයග්‍රහණ මත හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට අනුව ලකුණු ප්‍රතිශතය සකස් කර එහි ලැබෙන අගයන් මත ප්‍රසාද ලකුණු සටහන තීරණය කරනු ලබනවා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ 2021 – 23 තරග අදියරේ දී ශ්‍රී ලංකාවට හිමිවන තරග මෙසේයි,

  • බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ටෙස්ට් තරග 2 (ශ්‍රී ලංකාවේ දී) – 2021 නොවැම්බර්/දෙසැම්බර්
  • ඉන්දියාව සමඟ ටෙස්ට් තරග 2 – 2022 පෙබරවාරි/මාර්තු
  • බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග 2 – 2022 මැයි
  • ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරග 2 (ශ්‍රී ලංකාවේ දී) – 2022 ජුනි/ජුලි
  • පාකිස්තානය සමඟ ටෙස්ට් තරග 2 (ශ්‍රී ලංකාවේ දී) – 2022 ජුලි/අගෝස්තු
  • නවසීලන්තය සමඟ ටෙස්ට් තරග 2 – 2022 – නොවැම්බර්/දෙසැම්බර්

2019 – 21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අවසානයේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 2ක් ජයගෙන තරග 6ක් පරාජය වී තරග 4 ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් එහි 7 වැනි ස්ථානය දිනා ගත්තා. එම අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟින් ක්‍රීඩා කළේ නැහැ. කොදෙව් කණ්ඩායම එම තරග අදියර නිමා කළේ එහි 8වැනි ස්ථානය දිනාගෙනයි.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<