ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කාලසටහන නිකුත් වෙයි

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

590

සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද (26) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

ඒ අනුව යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 5කින් සමන්විත මේ තරගාවලිය ඔක්තෝබර් 15 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි. නමුත් එම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් තහවුරු කර නැහැ.

තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම එළඹෙන මස 7 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර තරගාවලිය පැවැත්වෙන්නේ ජෛව ආරක්ෂිත බුබුලක් තුලයි. ඒ නිසාවෙන් තරග නැරඹීම සඳහා කිසිදු ප්‍රේක්ෂකයෙකුට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

එසේම මේ වසරේ දෙසැම්බර් මාසයේ දී 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි හිදී පැවැත්වීමට නියමි​ත අතර ඉන්පසුව 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජනවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ස​හ වත්මන් යොවුන් ආසියානු අනුශූරයින් වන බංග්ලාදේශය සමඟ මේ එක්දින තරග 5 සැලසුම් කර තිබෙනවා.

අවසන් වරට 19න් පහළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියේ 2019 මැයි – ජුනි කාලයේ දී වන අතර පාකිස්තානය සමඟ පැවති එම යොවුන් එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඉන්පසුව කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකා 19න් පහළ තරගාවලි පැවැත්වීමට අවස්ථාවක් උදා වුනේ නැහැ. ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන පළමු ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර තරගාවලිය සියලුම COVID-19 මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය දා පත් කළ අතර එහි කණ්ඩායම් කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා පත් කර තිබෙනවා.

“බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමඟ පැවැත්වෙන මේ තරග මාලාව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ගොඩක් වැදගත් තරගාවලියක් වෙනවා. කොරෝනා වසංගත තත්වයට පසුව ඔවුන් ජාත්‍යන්තර තරගාවලියක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය වන අතර එළඹෙන වසර මුල දී පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අපේ කණ්ඩායමේ සංයුතිය පරීක්ෂා කිරීම සඳහා අපට ලැබෙන හොඳ අවස්තාවක් කියලා මම විශ්වාස කරනවා”, යැයි ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

ඊට අමතරව උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු), සචිත් පතිරණ (දඟපන්දු යැවීමේ පුහුණුකරු), චමිල ගමගේ (වේගපන්දු යැවීමේ පුහුණුකරු), ධම්මික සුදර්ශන (පිතිකරණ පුහුණුකරු), ප්‍රියන්ත වික්‍රමසිංහ (භෞතික චිකිත්සක) සහ බුද්ධික හේරත් (ශාරීරික යෝග්‍යතා පුහුණුකරු) යන මහත්වරුන් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඇතුලත්ව සිටිනවා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මේ වන විට ජෛව ආරක්ෂිත බුබුලක් තුල ඔවුන්ගේ මූලික පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

තරග කාලසටහන,

  • පළමු තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 15
  • දෙවන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 18
  • තෙවන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 20
  • සිව්වන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 23
  • පස්වන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 25

**සැ.යු – මේ තරග සියල්ලම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට වැඩි ඉඩක් තිබෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව නිල වශයෙන් තහවුරු කර නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<