T20 කිරුළේ අනපේක්ෂිත ම කණ්ඩායම – පාකිස්තානය

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

884
www.dawn.com

හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් ස්වල්ප කාලයක්. මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් අතරින් අනපේක්ෂිතම (unpredictable) කණ්ඩායම ලෙස නම් කළ හැක්කේ පාකිස්තානයයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ එක් ශූරතාවයකට (2009) හා එක් අනුශූරතාවයකට (2007) මේ දක්වා හිමිකම් කීමට ඔවුන් සමත් වී ඇත.

එමෙන්ම වර්තමාන විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් තෙවැනි ස්ථානයේ පසුවන්නේ එංගලන්තයට හා ඉන්දියාවට පමණක් පසුපසින් සිටිමිනි.

Image courtesy – indianexpress

15 දෙනෙකුගෙන් සමන්විත ඔවුන්ගේ සංචිතයට නවක මුහුණු රැසක් ම ඇතුළත් වන අතර මෙවර තරගාවලියට ඔවුන් පිවිසෙන්නේ සුපිරි පිතිකරු Babar Azamගේ නායකත්වයෙන් යුතුවයි.

මෙහි දී ඔවුන් Group 2 ඔස්සේ තරග වැදීමට නියමිතව ඇති අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

විස්සයි විස්ස තරග රටාවේ දී පාකිස්තාන ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ Babar Azam හා Mohammad Rizwan යුගලයයි. මෙම පිතිකරණ බලඇණියේ සුපිරිතම පිතිකරුවා ලෙස හැඳින්විය හැකි නායක Babar T20I තරගවල දී 46.89ක අග්‍ර ගණයේ පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙන සිටින්නේ 130.64ක ප්‍රහාරාත්මක වේගයක් ද සහිතවයි.

අනෙක් ආරම්භක පිතිකරුවා මෙන්ම කණ්ඩායමේ කඩුලු රකින්නා ද වශයෙන් කටයුතු කරන Rizwan මෑතකාලීන රිද්මයෙන් ඉදිරියෙන්ම සිටින පාකිස්තාන පිතිකරුවා ලෙස නම් කළ හැක.

අංක 3 ස්ථානයේ බොහෝ දුරට Sohaib Maqsood කටයුතු කරනු ඇත. ප්‍රහාරාත්මක  මුල් පෙළ පිතිකරුවෙකු ලෙසින් Maqsood PSL තරගාවලියේ දී ඉහළින්ම දස්කම් අතරට පිවිසීමට සමත් වූ අතර ඔහු දේශීය පිටියේ අත්දැකීම් බහුල පිතිකරුවෙකි. එමෙන්ම මේ දක්වා T20I තරග 26කට ඔහු ක්‍රීඩා කර ඇත.

Image courtesy – Twitter

පාකිස්තාන සංචිතයේ සිටින අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන Mohammad Hafeez මෙම පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානයේ කටයුතු කිරීමට නියමිතව ඇත. මේ වන විට 41 වැනි වියේ පසුවන Hafeez පසුගිය සමයේ දී තම පිතිකරණයේ විශාල වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර ඊට අමතරව දකුණත් පිට දඟපන්දු යැවීමෙන් ද කණ්ඩායමට ශක්තියක් ලබා දෙයි.

මෙම සංයුතියේ අංක 5 හා 6 ස්ථානවල පිළිවෙළින් Azam Khan හා Asif Ali දෙදෙනා පිතිකරණයේ යෙදීමට නියමිතව සිටී. මේ අතරින් යොවුන් ක්‍රීඩක Azam Khan අතිරේක කඩුලු රකින්නෙකු ද වේ.

මොවුන් 6 දෙනාම අමතරව සංචිතයේ සිටින අනෙක් විශේෂඥ පිතිකරුවා වන්නේ Khushdil Shahය. ඔහු පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

මෙම කණ්ඩායමේ සිටින ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා වන Imad Wasim හා Shadab Khan දෙදෙනාටම පිතිකරණ හැකියාවක් තිබීම පාකිස්තාන සංයුතියේ සමබරතාවය පවත්වා ගැනීමට අතිශයින්ම ඉවහල් වන අතර පිළිවෙළින් අංක 7 හා 8 පිතිකරණ ස්ථානවල ඔවුන් කටයුතු කරයි.

Image courtesy – ICC Cricket

වසර 4ක පමණ කාලයක සිට පාකිස්තානු කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යුගලය වශයෙන් කටයුතු කරන Imad හා Shadab පිළිවෙළින් වමත් orthodox පන්දු යවන්නෙකු හා දකුණත් leg-break පන්දු යවන්නෙකු වේ.

ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නේ Mohammad Nawazය. වමත් orthodox පන්දු යවන්නෙකු වන ඔහුටත් පිතිකරණයේ යෙදීමේ හැකියාවක් ඇත.

පාකිස්තාන වේගපන්දු බලඇණිය දෙසට හැරුණු විට එහි නිත්‍ය පන්දු යවන්නන් වශයෙන් Shaheen Shah Afridi හා Hasan Ali දෙදෙනා කටයුතු කරයි. මේ අතරින් Shaheen වමත් වේගපන්දු යවන්නෙකු වන අතර ඔහු කණ්ඩායමේ ප්‍රධාන ආරම්භක වේගපන්දු යවන්නා වශයෙන් කටයුතු කරයි.

Hasan Ali දකුණත් වේගපන්දු යවන්නකු වන අතර ඒ හැරුණුකොට ඔහු අග පෙළ පිතිකරුවකු වශයෙන් ද පසුගිය සමයේ දී සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම පාකිස්තාන පිතිකරණ බලඇණියට අමතර අස්වැසිල්ලකි.

නමුත් ඔවුන් දෙදෙනා සමඟ ක්‍රීඩා කරන තෙවැනි වේගපන්දු යවන්නා වීමට මේ වන විට තිදෙනෙකු අතර තරගයක් නිර්මාණය වී ඇත. ඒ Haris Rouf, Mohammed Hasnain හා Mohammad Wasim Jr අතරයි.

තිදෙනා අතරින් Rouf යම් මට්ටමකින් ඉදිරියෙන් සිටින නමුත් පසුගිය තරගාවලිවල දී පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය (economy rate) ඉහළ අගයක් ගැනීම නිසා ඔහුගේ ස්ථානය පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් පවතී.

Image courtesy – espncricinfo

මොවුන් 15 දෙනාට අමතරව සිටින අතිරේක ක්‍රීඩකයන් වන්නේ Usman Qadir, Shahnawaz Dahani හා Fakhar Zaman තිදෙනායි.

කෙසේ නමුත් මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන Shoaib Malik, Sarfraz Ahmed වැන්නන් ඇතුළත් නොවීමට මූලිකතම හේතූන් වූයේ ඔවුන් පසුගිය සමයේ පැවති ලීග් තරගාවලිවල දී දිගින් දිගටම අසාර්ථක වීමයි.

නවක හා අත්දැකීම් දෙඅංශයයේම දස්කම් සමූහයක එකතුවකින් සැදුම්ලත් මෙම පාකිස්තාන කණ්ඩායමට තමන්ට හුරුපුරුදු තණතිලිවල දී මෙවර ලැබී ඇත්තේ අතිවිශාල අවස්ථාවකි.

එමෙන්ම මෙවර ශූරතාවය ඔවුන් ජයග්‍රහණය කිරීම පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ට යම් මානසික සහනයක් බවට පත්වන සුවිශේෂී හේතුකාරණයක් ද ඇත. ඒ ආරක්ෂක හේතූන් මත නවසීලන්ත හා එංගලන්ත කණ්ඩායම් පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි අවලංගු කිරීම නිසා කලකට පසු එරට ජාත්‍යන්තර තරග පැවැත්වීමට තිබූ අවස්ථාව ඔවුන්ට අහිමි වී යාමයි.

යම්හෙයකින් පාකිස්තානය මෙවර විස්සයි විස්ස ශූරයින් බවට පත්වුවහොත් එම කාරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ට තිබෙන කනස්සල්ල යම්තාක් දුරකට හෝ අඩුකිරීමට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් නිසා වසර ගණනාවක් පුරාවට පාකිස්තානයේ ජාත්‍යන්තර තරග නොපවත්වන නිසාවෙන් එහි විකල්පය වශයෙන් භාවිතා කරන ඔවුන්ගේ නිල නොවන මව්බිම වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එම නිසා මීට පෙර ද සඳහන් කළ ආකාරයට මෙම විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් එක්සත් අරාබි එමීර්හි මන්දගාමී තණතිලිවල වාසිය වැඩි වශයෙන්ම හිමි කණ්ඩායම වන්නේත් පාකිස්තානයයි.

අනෙක් සුවිශේෂී කාරණය වන්නේ ICC මගින් සංවිධානය කරන ප්‍රමුඛ පෙළේ තරගාවලිවල දී පාකිස්තානය පෙන්නුම් කළ අනපේක්ෂිතභාවයයි. කණ්ඩායමක් ලෙස කෙතරම් අසීරු අඩියක සිටින අවස්ථාවල දී පවා නොසිතූ ලෙස නැගී සිටීමේ හැකියාවක් ඔවුන් ඉතිහාසය පුරාවටම ඔප්පු කර පෙන්වා ඇත.

මෙම හේතුකාරණා සියල්ලම නිසා විස්සයි විස්ස තරග රටාවේ ප්‍රබලතම කණ්ඩායම් වලින් එකක් ලෙස සැලකෙන පාකිස්තානය මෙවර තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායම් වලට විශාලතම තර්ජනයක් වනු බව නොඅනුමානය.

පාකිස්තාන සංචිතය: Babar Azam (c), Shadab Khan, Asif Ali, Azam Khan, Haris Rauf, Hasan Ali, Imad Wasim , Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim, Shaheen Shah Afridi, Sohaib Maqsood.

අතිරේක ක්‍රීඩකයන්: Fakhar Zaman, Usman Qadir, Shahnawaz Dhani

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<