මැරතන් ලෝක ශූරිය ක්රීඩා පිටියෙන් සමුගනී

152

මැරතන් ඉසව්වේ කාන්තා ලෝක වාර්තාවට හිමිකම් කියන 39 හැවිරිදි කෙන්යානු ක්‍රීඩිකා Mary Keitany සිය ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කළ බව ප්‍රකාශ කර සිටියා.

2017 වසරේ පැවති සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය පැය 2:17.01ක කාලයකින් අවසන් කරමින් කාන්තා මැරතන් ලෝක වාර්තාව පිහිටවූ ඇය සුප්‍රකට නිව්යෝක් මැරතන් තරගය ද හතර වතාවක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

පසුකාලීනව ඇති වූ කොන්දේ ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි ඇය සිය සමුගැනීම පිළිබඳව තහවුරු කරමින් ප්‍රකාශ කර සිටියේ දැන් සමුගැනීමට කාලය පැමිණ ඇති බවත්, ඇය ක්‍රීඩාවට මහත් ලෙ​ස ආදරය කළ බවත් ය.

“මගේ ඉතා සාර්ථක 2019 වසරේ නැවතත් නිව්යෝක් මැරතන් තරගය දෙවැන්නා ලෙස අවසන් කළාට පස්සේ තවත් වසර ගණනාවක් මට තරගකාරී ලෙස මේ ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන් කියලා මම හිතුවා.

නමුත් ක​නාටුවෙන් වුනත් කියන්න ඕන 2019 වසරේ අගභාගයේ දී මට ඇති වුන කොන්දේ ආබාධය නිසාවෙන් මට මේ සමුගැනීමේ තීරණය ගන්න වුනා කියලා.

වසංගත තත්වය නිසා මට යුරෝපයට ගිහින් මට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරගන්න ලැබුණේ නැහැ. ඒ නිසා මම පුහුණුවීම් සිදු කරන සෑම අවස්ථාවක දී ම ඒ ආබාධය ඇති වීම විශාල ගැටලුවක් වුනා” යැයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

2007 වසරේ පැවති ලෝක අර්ධ මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් මලල ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ ඇය 2008 වසරේ එංගලන්තයේ පැවති ලෝක අර්ධ මැරතන් තරගය ජය ගැනීමට සමත් වුනා.

සුප්‍රකට නිව්යෝක් මැරතන් තරගයේ ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ Keitany 2014, 2015, 2016 සහ 2018 යන වසරවල දී එහි කාන්තා කිරුළ ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<