LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

653

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්​ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk වෙ​ත ගොස් ඒ සඳහා වන ලියාපදිංචි වීම​ට අවස්ථාව උදා වී තිබෙන අතර අයැදුම් කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ඔක්තෝබර් 05 වැනිදා මධ්‍යහන 12ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු වනවා.

එසේ සිදු කරනු ලබන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් පසු LPL තරගාවලියේ ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් වූ කෙටුම්පත් කිරීමට (Player Draft)  සුදුසුකම් ලබනු ඇත.

– විදේශීය ක්‍රීඩකයින්

LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන විදෙස් ක්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වන අතර එහි දී ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම, නැතහොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම, නැතහොත් පූර්ණ සාමාජික මණ්ඩල තරගාවලිවල ප්‍රධාන විස්සයි විස්ස තරගාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරගාවලියක් හෝ ක්‍රීඩා කර තිබිය යුතු වෙනවා. එම ක්‍රීඩකයින් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතුය.

– කණ්ඩායම් සංයුතිය

දෙසැම්බර් 04 වැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි අදියරය, පෙර තරගාවලිය පරිදිම කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. කණ්ඩායමේ මූලික සංචිතය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන අතර එහි දී දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමේ හැකියාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<