2021/22 දේශීය ක්‍රිකට් තරගවාරයට දින තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් - දේශීය තරගවාරය 2021/22

723
Sri Lanka Cricket domestic season

2021/2022 දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් සිටින බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

මේ බව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විද්‍යුත් තැපෑලක් (email) ඊයේ (22) සියලුම ක්‍රිකට්/ක්‍රීඩා සමාජ වෙත ඒවා තිබෙන අතර එහි දැක්වෙන්නේ පවතින ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වැනිදා ඉවත් කළහොත්, ඔක්තෝබර් 20 වැනිදා සිට දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට හැකි බවයි.

කොරෝනා වයිරසය ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලසමයේ දී වාර්තා වූ නිසා අගෝස්තු 20 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන අතර, ඒ නිසාවෙන් පසුගිය සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කළ මේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරුණා.

දැනට පවතින ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වැනිදා ඉවත් වුවහොත්, ඔක්තෝබර් 2 වැනිදා සිට සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුව කටයුතු කරමින් ඔවුන්ගේ මූලික පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සඳහා සැලසුම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ සියලුම ක්‍රිකට්/ක්‍රීඩා සමාජ වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව එළඹෙන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 20 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම තරගාවලිය පැවැත්වෙන ආකාරය අනුව, ඉදිරියේ දී පැවැත්විය යුතු ප්‍රධාන පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ආකාරය පිළිබඳව ද තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ ප්‍රධානියා වන සමන්ත දොඩන්වල මහතා ඇතුළු කමිටුව සූදානමින් සිටිනවා.

එසේම මේ තරගාවලි දෙක සඳහා ලියාපදිංචි වන සියලුම ක්‍රීඩකයින් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටීම අනිවාර්ය වෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ දී නව තරගාවලි ව්‍යූහය අනුමත කිරීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ සාමාජිකයින්ට ද දේශීය වාරය ආරම්භ කිරීම ඉතා වැදගත් වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<