Main Logo

Thursday 23 September 2021

ඒලියන්ත වයිට් බටහිර රෝහලක මිය යයි

 ඒලියන්ත වයිට් බටහිර රෝහලක මිය යයි


ඒලියන්ත වයිට් මියගිහින්. කොවිඩ් රෝගය වැළඳී මිය ගිහින්. මිථ්‍යාවට විරුද්ධ ව අවි අමෝරා ගෙන සටන් කරන පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්ට හත් දා මගුල් කන්න ප්‍රවෘත්තියක්. ඔවුන් මුහුණු පොතේ පෙළහර දක්වනවා. මුට්ටි දාල කොවිඩ් හොඳ කරන්න බැහැ කියනවා. දැන්වත් මිථ්‍යාව අත්හරින්න කියනවා. මා දන්නේ නැහැ ඔවුන් කී දෙනකු විද්‍යාඥයන් ද කියා. කී දෙනකු බටහිර වෙද මහත්තුරු ද වෙද හාමිනේලා ද කියා. 


මා නම් විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි, බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීමට හැකිය කියන මෝඩයෙක්, මැන්ටලයක්. ජඩමාධ්‍යවේදීන්ගේ නොමඳ වෛරයට පාත්‍ර වූවෙක්. විදුසර නම් විද්‍යා පුවත්පතින් එළවා දමනු ලැබූවෙක්. දිවයින පුවත්පතට වැද්ද නොගන්න අයෙක්. අර අශෝක අමරතුංග කියන නුවර නොදත් දොස්තරට අනුව ළමුන් නොමග යවන්නෙක්. 


ඒලියන්ත වයිට්ගෙන් මා ප්‍රතිකාර ගෙන නැහැ. ඒත් ඔහු යම් වෛද්‍ය ක්‍රමයක් අනුගමනය කළ අයෙක්. පඬියන් පඬිනියන් ආදීන්ගේ, ඔවුන් කියන විධියට, ආදරයට පාත්‍ර වූ ලසිත් මාලිංගට අනුව ඔහු 2008න් ද කොහෙද පස්සෙ ලබා ගත් සෑම කඩුල්ලකට ම ඒලියන්ත වයිට්ටත් ගෞරවය හිමි වෙන්න ඕන. මට මතක හැටියට සචින් තෙන්ඩුල්කාර් ද ඒලියන්ත වයිට්ගේ මිථ්‍යා මතවලට ගොදුරු වූවෙක්.


ඒ විතරක් නොවෙයි අගමැති මහින්ද රාජපක්‍ෂ මෙන් ම දෙස් විදෙස් දේශපාලනඥයන් කිහිප දෙනෙක් ද ඒලියන්ත වයිට්ගෙ දැලට අහුවලා. බොහෝ දෙනා තම දැලට හසුකර ගන්නා මහින්දත් දැලට හසු කර ගැනීමට නම් ඒලියන්ත වයිට් හොඳ දැල් කාරයෙක් වෙන්න ඕන. අප නිරෝධායනය වෙන හෝටලය ඉදිරිපිට කලපුවට හැමදාමත් ඔරුවකින් දැල් දාන්නකු එනවා. ඔහු දැල එළා ටික වෙලවක් බලන් ඉන්නවා. ඒ අතර ඔහු පොල්ලකින් වෙන්න ඕන වතුරට ගහනවා. මා ඒ ගැන විමසූ  විට මට දැන ගන්න ලැබුණේ එසේ වතුරට ගහන සද්දෙට මාළු එන බව. 


අද සද්දෙ වැඩිය ම තියෙන්නෙ බටහිර වෙද මහත්තුරුන්ට හා වෙද හාමිනේලාට. ඔවුන් හැමදාමත් සද්දෙ දාපු අය. අපේ පාසල්වලත් සිසුන් උනන්දු කරන්නෙ බටහිර වෙද මහත්තුරුන් හරි වෙද හාමිනේලා හරි වෙන්න. එතනත් හරි සද්දයක්. අද නම් හරිම සද්දයක් තියෙන්නෙ. ඒ මාළු ඇද ගන්න ද? නැහැ ලෙඩ්ඩු ඇද ගන්න. ඒත් ඔවුන් කරන්නෙ බටහිර නිවේදන කියවන එක විතරයි. ළමයින්ට ෆයිසර් හොඳ ද නැද්ද කියල කියන්නෙ තිස්ස විතාරණවත් නිලීකා මලවිගේවත් නො වෙයි. බටහිර ම ඉන්න බටහිර වෙද මහත්තුරු, බටහිර ප්‍රසිද්ධ වෙද හාමිනේලාගේ හිඟයක් තියෙනවා, තමයි ෆයිසර් හොඳ ද නැද්ද කියන්නෙ. ඒ මිසක් මෙහි ඉන්න ෆයිසරාලවත් ෆයිසරීලවත් නො වෙයි. ෆයිසරා සරා ආදී වශයෙන් සිිංදුවක් හදන්න පුළුවන්.


ඒ කොහොම වෙතත් මා කල්පනා කෙළෙ ප්‍රවෘත්ති නිවේදකයන් හැටියට බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා කිහිප දෙනකු බන්ද ගත්තොත් නරක ද කියල. ඔවුන්ට කියවන්න පුළුවන්. අර එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ ලේකම් මිෂෙල් නෝනා වගේ. ඇය සිරිල් ගාමිණී පූජකවරයා යවන නිවේදන කියවනවා. කවුද ඔය රොහාන් සිල්වා කියන පූජකවරයා. අර බොදුබල සේනා හාමුදුරුවන්ගෙ දිගා නම් දන්නවා ඇති.


අර මිථ්‍යාවට විරුද්ධව සටන් කරන පඬියනට පඬිනියනට පඬි නැට්ටන්ට, පඬි නැට්ටියන්ට අනුව ඒලියන්ත වයිට්ට තම ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්න බැරි වෙලා. ඒක ඇත්ත. ඒත් මහු මිය ගිහින් තියෙන්නෙ බටහිර වෙදකමට රෝගය සුව කරන්න බැරි වෙලා. ඒ බව පඬියන්ට පඬිනියන්ට අමතක වෙන්නෙ කොහොමද?  ඒ කියන්නෙ බටහිර වෙදකමේ අසමත් වීම අසාර්ථක භාවය නො වේ ද? ඒලියන්ත වයිට්ගෙ මරණයෙන් කියැවෙන්නෙ ඔහුගෙ වෙදකමේ අසාර්ථක භාවයකට වඩා බටහිර වෙදකමේ, බටහිර විද්‍යාවේ අසාර්ථක භාවය. ඒත් මා ඒ නිසා සතුටු වන්නේ නැහැ. 


සෑම දැනුමක් ම බොරු. වියුක්ත දැනුම් පට්ටපල් බොරු. සිංහලයන්ට වියුක්ත ව හිතන්න බැහැ. අර වෙද මහත්තුරුන්ට වෙද හාමිනේලාට කරන්න පුළුවන් නිවේදන කියවීම පමණයි. සමහර සිංහලයන්ට එහෙම කිවව ම තරහ යනවා. ඔවුන් හිතන්නෙ සිංහලයන්ට වියුක්ත ව හිතන්න පුළුවන් කියල. ඒත් අප අවුරුදු දෙසීයකට විතර පස්සෙවත් එක ශාස්ත්‍රීය  බටහිර විද්‍යාඥයකු බිහි කර තියෙනවා ද? ලංකාවෙන් ගිහින් පිටරට ජීවත්වෙන අයටවත් වියුක්ත ප්‍රවාදයක් හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා ද? සිංහල භාෂාව සංයුක්ත චින්තනයේ අග්‍ර ඵලයක්. ඕනෑම භාෂාවක යම් වියුක්ත බවක් තියෙනව. සිංහලයේ ඒ ඉතා ම අඩුයි. අකුරු හා ශබ්ද අතර බොහෝවිට, ගණිතයේ කියන විධියට නම් එකට එක අනුරූපිතයක් තියෙනවා. මා පස්සෙ විස්තර කරන්නම්.


වෛද්‍ය ක්‍රම රාශියක් ලෝකයේ තියෙනවා. දැනුම් පද්ධති රාශියක් තියෙනවා. අද බටහිර දැනුම් පද්ධතිය අසික්කිත ආධිපත්‍යයක් දරණවා. ඒ දේශපාලන බලය උපයෝගී කරගෙන හදා ගත්ත ආධිපත්‍යයක්. ඒලියන්ත වයිට් විශ්ව ශක්තිය කුණ්ඩලනි ශක්තිය වගේ ශක්ති ආධාර කරගෙන වෙදකම් කළ පද්ධතියක් අනුගමනය කළ අයෙක්. ඔය ශක්ති කියන සංකල්පය මා ද හදාරනවා. ඒ බටහිර භෞතික විද්‍යාවේ කොටසක් ලෙස. අද මට කතන්දරයක් (ඊනියා ප්‍රවාදයක්) හදන්න පුළුවන් අවකාශ කාලය ද ශක්ති විශේෂයක් කියා. විශ්වය ප්‍රසාරණය වන්නේ අවකාශ කාල ශක්තිය නිසා කියා කියන්න පුළුවන්. එපමණක් නොව අවකාශ කාල ශක්තිය ද වෙනත් ශක්තීන් බවට හරවන්න පුළුවන්. මා මේ ගැන ලියා තියෙනවා. කළු කුහර කියන ඒවා කළු පෘෂ්ඨ. ඒත් බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවට එය දිරව ගන්න බැහැ. 


ඒලියන්ත වයිට්ට තම වෛද්‍ය පද්ධතියේ කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නැති වෙන්න ඇති. එහෙත් බටහිර වෙදකමට ද එයට ප්‍රතිකාරයක් නැහැ. ඒලියන්ත වයිට් තම මරණයෙන් ඒ බව පෙන්නලා ගිහින්. පඬියන්ට පඬිනියන්ට ඒ බව තේරෙන්නෙ නැහැ. ඔවුන් බලා ඉන්නෙ නිර්බටහිර දැනුම්වලට හිනා වෙන්න. දේශීය වෙදකම නිසා කිසිවකු මරණයට පත් වුණොත් හිිනාවෙන පඬි නැට්ටන්ට බටහිර රෝහල්වල දිනපතා මිය යන රෝගීන් පෙනෙන්නේ නැහැ.  මෙහෙමත් වහල්ලු.