මැතිව්ස් නැවතත් පුහුණුවීම් අරඹයි

3044

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සිය පුද්ගලික පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ බව දැක්වෙන වීඩියෝවක් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත එකතු කර තිබෙනවා.

මැතිව්ස් පසුගිය අප්‍රේල් මාසයේ දී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා සිටියේ, තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීම පිළිබඳව සිතමින් සිටින බවයි.

කෙසේ නමුත් ඔහු නිල වශයෙන් සමුගන්නා බව දැනුම් නොදුන් අතර පුද්ගලික හේතුවක් නිසාවෙන් නැවත දැනුම් දෙන තුරු තේරීම් කටයුතු සඳහා සලකා නොබලන ලෙස ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටියා.

පසුගිය අගෝස්තු මාසයේ දී 2021 වසර අවසානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 18 දෙනෙකු වෙත ජාතික කොන්ත්‍රාත්තු ලබා දුන් නමුත්, මැතිව්ස්ගේ නම ඒ සඳහා ඇතු​ළත් වී නොතිබුනේ ඔහු තේරීම් කටයුතුවලින් ඉවත් වී සිටීම නිසයි.

තේරීම් කමිටුව තරුණ ක්‍රීඩකයින් සඳහා වැඩි ඉඩක් ලබා දුන් නිසාවෙන් 34 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක මැතිව්ස් හට පසුගිය මාස 5ක කාලයක පුරාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරග රැසක් අහිමිව ගියා.

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දස්කම් සහ දකුණු අප්‍රිකානු තරගාවලියේ දී දැක්වූ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා සංචිතය තෝරාගත් අතර එම තරගාවලි දෙකම මැතිව්ස් ක්‍රීඩා ක​ළේ නැහැ.

2009 වසරට පසුව මැතිව්ස් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායමක් ICC තරගාවලියක් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙය (2021 T20 ලෝක කුසලානය) වන අතර ඔහු 2019 වසරේ එංගලන්තයේ දී පැවතී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ​ද වුනා.

2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය මේ වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමි​ත අතර ඔහු එම තරගාවලිය හරහා නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමේ අරමුණ ඇතිව මෙසේ සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔහු 2021 වසරේ මාර්තු මාසයේ දී පැවති එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර මැතිව්ස් දැනට ශ්‍රී ලංකාව වෙනුවෙන් සීමිත පන්දුවාර තරග 300කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් අත්දැකීම් රැසක් ලබාගෙන තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<