“ඔවුන් අපිව රැවැට්ටුවා” – Ramiz Rajaගෙන් දැඩි ප්‍රකාශයක්

562

පාකිස්තානය සහ එංගලන්තය අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරගාවලිය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊයේ (21) තීරණය කළා. මෙම තීරණය පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබුණා.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja පවසා සිටියේ එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය අවලංගු කිරීම සඳහා නිදහසට කරුණු ගොතමින් සිටින බවයි.

පසුගිය සතියේ ආරම්භ වීමට නියමිතව තිබූ පාකිස්​තානය සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය ආරක්ෂක හේතූන් මත අවලංගු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය හදිසියේ තීරණය කරනු ලැබුවා. ඒ පළමු එක්දින තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර වීම විශේෂත්වයක්.

එයට හේතු ලෙස නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ විසින් ඔවුන් වෙත දැනුම් දුන් බුද්ධි තොරතුරු මත ඔවුන් මෙම තීරණය ගත් බවයි.

නවසිලන්තය මෙම තීරණය ගැනීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබූ තරගාවලිය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක් පසුගිය දා පැවැත්වුණා.

එහි අවසන් තීරණය පසුගිය ඉරිදා ලබා දීමට නියමිතව තිබුණ ද, එංගලන්ත ක්‍රිකට් ආයතනය සිය අවසන් නිවේදනය නිකුත් කර තිබුණේ ඊයේ (20) රාත්‍රියේයි. එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග දෙකක් ඇතුළත් වූ අතර එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස තරග දෙකක් සහ එක්දින තරග තුනක් සඳහා පාකිස්තානය වෙත යාමට නියමිතව තිබුණා.

මෙම තරග ඔක්තෝබර් 14 වැනිදා සහ 15 වැනිදා රාවල්පිණ්ඩි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබුණා. මෙම තරගාවලිය එංගලන්ත පිරිමි කණ්ඩායමක් 2005 වසරෙන් පසු පාකිස්තානයේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙස සටහන් වූ අතර එංගලන්ත කාන්තා කණ්ඩායමක් මීට පෙර පාකිස්තානයේ සංචාරය කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙම තරගාවලිය අවලංගු කරන බව නිවේදනය කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියේ තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ සෙසු නිලධාරීන්ගේ මානසික තත්ත්වය පිළිබඳව සලකා බලා ඔවුන් මෙම තීරණය ගත් බවයි.

පවතින කොරෝනා වසංගතය නිසා ක්‍රීඩකයන් හා නිලධාරීන් ජෛව ආරක්ෂිත බුබුලක් තුළ දීර්ඝ කාලීනව කටයුතු කරන බවත්, උද්ගතව ඇති අවදානම ක්‍රීඩකයන්ට අමතර පීඩනයක් එක් කරන බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියා.

එංගලන්තයේ ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්තානය ක්‍රිකට් ආයතනයේ නව සභාපති Ramiz Raja සිය නිල Twitter ගිණුමේ සටහනක් තබා තිබුණා.

එංගලන්තයේ ගත් මෙම තීරණය පිළිබඳව අපි දැඩි ලෙස ක​ණගාටුවට පත් වෙනවා. තරගාවලිය අවලංගු කිරීමෙන් ඔවුන් ක්‍රිකට් ලෝකයේ සාමාජිකයෙක් වන අපිව හෑල්ලුවට ලක් කළා. මේක පාකිස්තාන කණ්ඩායමට නැගී සිටින්න සිදු කරන විධානයක්. ඔවුන් ලෝකයේ හොඳම කණ්ඩායම වෙන්න ඕනේ. ඊට පස්සේ කණ්ඩායම් කිසිම නිදහසට කරුණු නැතුව තරගාවලිවලට ඒවි.”

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ  මෙම තරගාවලිය අවලංගු කිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දක්වා නොමැති අතර ඔවුන් පවසා ඇත්තේ “පාකිස්තාන කලාපයේ ඇති අවදානම” නිසා මෙම නිසා මෙම තරගාවලිය අවලංගු කරන බවයි.

මෙහි දී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ආරක්ෂාව යන වචනය භාවිතා කර නොතිබූ අතර එංගලන්ත කණ්ඩායමේ සහ සෙසු නිලධාරීන්ගේ මාසික මානසික මට්ටම සලකා බලා මෙම තීරණය ගත් බව ඔවුන් පවසා තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම පාකිස්තානය වෙත යාමට පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ විශේෂ ආරක්ෂක ඇගයීම මීට සති තුනකට පෙර නිමා කරනු ලැබුවා. ඒ සඳහා ESI Risk නම් ආයතනයක් යොදාගෙන තිබූ අතර නවසීලන්ත කණ්ඩායම ද සිය ආරක්ෂක ඇගයීම සඳහා යොදාගෙන තිබුණේ එම ආයතනයයි.

පාකිස්තාන තරගාවලිය අවලංගු කිරීමට මෙම ආයතනය විසින් ලබා දුන් නිර්දේශ යම් බලපෑමක් සිදු කළා දැයි Cricbuzz වෙබ් අඩවිය විසින් එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් විමසා තිබූ අතර ඔවුන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.

කෙසේ වෙතත් එංගලන්ත පුවත්පත් වාර්තාවල දැක්වුණේ අදාළ ආයතනය විසින් නවසීලන්ත ක්‍රිකට් ආයතනය වෙත පසුගිය සතියේ දී ලබා දුන් වාර්තාව එංගලන්ත ක්‍රිකට් ආයතනය වෙතත් ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියේ තරගාවලිය අවලංගු කිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් ඔවුන් වෙත හෝ පාකිස්තාන රජය වෙත දන්වා නොමැති බවයි.

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ එංගලන්තය සහ බංග්ලාදේශය අතර සීමිත පන්දුවාර තරගාවලිය ද පසුගිය දා අවලංගු කර තිබුණා. එයට හේතු ලෙස එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ක්‍රීඩකයන්ගේ මානසික සුවතාවය පිළිබඳව සලකා බලා ඔවුන් මෙම තීරණය ගත් බවයි.

එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරග දෙක එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණා. පාකිස්තාන තරගාවලිය අවලංගු වීමත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයන් හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තරග ක්‍රීඩා කිරීමේ අවසර හිමිවනවා.

එංගලන්ත ක්‍රිකට් ආයතන විසින් ගත් මෙම තීරණය විවේචනය කරන අතරතුර පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja පවසා සිටියේ කොරෝනා වයිරසය හමුවේ එංගලන්ත ක්‍රිකට් ආයතනය මුහුණ දී සිටි මූල්‍ය අර්බුදයෙන් බේරීම සඳහා සිදු කරන උදව්වක් වශයෙන් තම කණ්ඩායම පසුගිය ගිම්හානයේ දී එංගලන්ත තරගාවලියක් සඳහා එක්වූ බවයි.

කොරෝනා වයිරසය හමුවේ එංගලන්ත ක්‍රිකට් ආයතනයට උදව් කරන්න අපි ලොකු කැපකිරීමක් කළා. ඒ සියල්ල අපතේ ගියා. මම හිතන්නේ අපි ඉතාමත් කටුක පාඩමක් ඉගෙන ගත්තා කියලා. එංගලන්තය පාකිස්තානයට උදව් කරන්න ඕනේ අවස්ථාවක් මේක. අපි ගෞරවණීය ක්‍රිකට් දේශයක්. අපි මේ අර්බුයෙන් ගොඩ එනවා. ඒක ස්ථීරයි. මේක සුළු බාධාවක් විතරයි. අපිට දැනෙන්නේ අපිට බොරු කළා වගේ හැඟීමක්. අපි මේ ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එක්ක කතා කරනවා. අපි නැවතත් අපේ ගෞරවය වෙනුවෙන් සටන් කරනවා”, Ramiz Raja පවසා සිටියා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<