බංග්ලාදේශ යොවුන් සහ පාකිස්තාන A කණ්ඩායම් ශ්‍රී ලංකාවට

861

පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිනවා.

පාකිස්තාන A සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමි​තයි.

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත යොවුන් එක්දින තරග 5ක් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා Daily FT පුවත්පතට තහවුරු කර තිබෙනවා.

මේ වසරේ දෙසැම්බර් මාසයේ දී 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි හිදී පැවැත්වීමට නියමි​ත අතර ඉන්පසුව 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ස​හ වත්මන් යොවුන් ආසියානු අනුශූරයින් වන බංග්ලාදේශය සමඟ මේ එක්දින තරග 5 සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වුනු අවසන් තරගාවලිය මෙරට සත්කාරකත්වය ඇතිව 2019 වසරේ දී පැවැත්වුණු අතර බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැත්වුනු එම ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. එසේම එහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

අවසන් වරට 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 2019 මැයි – ජුනි කාලයේ දී වන අතර පාකිස්තානය සමඟ පැවති එම යොවුන් එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඉන්පසුව කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකා 19න් පහළ තරගාවලි පැවැත්වීමට අවස්ථාවක් උදා වුනේ නැහැ.

ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන පළමු ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර තරගාවලි දෙකම ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව සහ සියලුම COVID-19 මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය දා පත් කළ අතර එහි කණ්ඩායම් කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මේ වන විට  ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුලත් වී ඔවුන්ගේ මූලික පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා A කණ්ඩායම සඳහා මේ වන විට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙක් නොමැති නමුත්, රුවින් පීරිස්, සජීව වීරකෝන් සහ දර්ශන ගමගේ යන මහත්වරුන් තිදෙනා පිළිවෙළින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිතිකරණ, දඟපන්දු සහ වේගපන්දු පුහුණුකරුවන් ලෙස පත්කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<