කුසල් මෙන්ඩිස් අලුත් ක්‍රිකට් ගමනකට සැරසෙයි

10870

වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සිට සිය කණ්ඩායම වෙනස් කරමින් නව ක්‍රිකට් ගමනක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙන්ඩිස් 2015 වසරේ සිට වසර 6කට ආසන්න කාලයක් තිස්සේ නියෝජනය කළ කොළඹ ක්‍රිකට් සමාජ (CCC) කණ්ඩායමෙන් ඉවත් වී, සිංහල ක්‍රිකට් සමාජය (SSC) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

SSC කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලි​ණ කන්ඩම්බි මහතා වන අතර එහි ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මහේල ජයවර්ධන මහතායි.

මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනා පසුගිය ජුනි මාසයේ පැවති එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛ​ව ආරක්‍ෂිත බුබුලේ  නීති උල්ලංඝනය කිරීමේ වරදකට හසුවුණා. ඒ නිසාවෙන් ඔවුන් තිදෙනා හට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් සහ මාස 6ක දේශීය ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව තීරණය කළා.

කෙසේ නමුත් ඔවුන් තිදෙනාගේ දේශීය ක්‍රිකට් තරග තහනම යම් මට්ටමකට ලිහිල් වීමට වැඩි ඉඩක් තිබෙන අතර ඒ අනුව ඔවුන් තිදෙනාට එළඹෙන ජනවාරි මාසයේ සිට අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<