“ශ්‍රී ලංකා හෝ බංග්ලාදේශ තරගාවලියක් පවත්වන්න අපි උත්සාහ කළා” – Wasim Khan

5112

පාකිස්තානය සමඟින් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන කැමැත්තෙන් සිටිය ද, ඔවුන්ට ඒ සඳහා කණ්ඩායමක් එවීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Wasim Khan පවසා තිබෙනවා.

පසුගිය දා අවලංගු වූ නවසීලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමඟින් තම ක්‍රිකට් ආයතනය සාකච්ඡා කළ බව Wasim Khan පවසනවා.

නමුත් දෙරටේම ක්‍රීඩකයන් තරගාවලි කිහිපයක් සඳහා සහභාගී වීම සහ කෙටි දැනුම්දීමකින් කණ්ඩායමක් සූදානම් කිරීම අපහසු වීම නිසා තරගාවලියක් සංවිධානය කිරීමට නොහැකි වූ බව ඔහු පවසා සිටියා.

“අපේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට කතා කළා. අපි උත්සාහ කළේ කෙටි තරගාවලියක් සංවිධානය කරන්න. ඒත් ඔවුන් අපිට පෙන්වා දුන්නා, මේ වගේ කෙටි කාලයකින් කණ්ඩායමක් සූදානම් කරන එක අමාරු දෙයක් කියලා. ඔවුන් මේ වෙද්දී යම් තරගාවලි කීපයක් ස්ථිර කරලා තිබුණා. ඒ වගේම ක්‍රීඩකයන් කීපදෙනෙකු වෙනත් තරගාවලි සඳහා එක්වෙලා සිටියා.”

“ඔවුන් තරගාවලියකට සහභාගී වෙන්න ලොකු කැමැත්තක් පෙන්වුවා. ඒත් මේ වගේ කෙටි දැනුම්දීමකින් කණ්ඩායමක් සූදානම් කරන්න අපහසුයි. ඒ වගේම ලෝක කුසලාන තරගාවලිය එක්ක ඔවුන්ට සැලසුම් රැසක් තියෙනවා.” 

පාකිස්තානය සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය මෙම මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් තරගාවලියේ පළමු එක්දින තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර තම කණ්ඩායමේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් නවසීලන්තය තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර තිබුණා. ඉන් අනතුරුව ඔවුන් ඉස්ලාමාබාද් සිට ඩුබායි දක්වා විශේෂ ගුවන් යානයකින් පිටත්ව යෑමට කටයුතු කළා.

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය සහ නවසීලන්තය B කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිතයි. ඔවුන් අතර ලෝක කුසලාන තරගය ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම තරගය පාකිස්තානය වර්ජනය කිරීමට හැකියාවක් ඇති බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් Wasim Khan පවසා සිටියේ තමන් කිසිවිටෙකත් නවසීලන්ත තරගය වර්ජනය නොකරන බවයි. නමුත් නවසීලන්තය විසින් පාකිස්තාන තරගාවලිය අවලංගු කිරීම මඟින් ඔවුන් පාකිස්තාන ක්‍රිකට් වෙත විශාල කළු පැල්ලමක් එක්කළ බවත්, එය තමන්ට සිදු කළ අපහාසයක් ලෙස සලකන බවත් Wasim Khan පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

නවසීලන්තය කළ මේ ක්‍රියාව ගැන අපිට විවේචනයක් තියෙනවා. රටවල් දෙකේ රජයට හෝ බුද්ධි අංශයට තර්ජනයන් ගැන සාකච්ඡා කළ නොහැකි නම් සහ කණ්ඩායමකට ඒකපාර්ශවිකව සංචාරයක් අත්හැර දැමිය හැකි නම් අපට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ගැටලුවක් තිබෙනවා.” ඔහු පවසා සිටියා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දී පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව Wasim Khan තහවුරු කර සිටියා. ඔහු පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයන් හට සම අයිතිවාසිකම් පැවතිය යුතු බවයි.

මේ තරගාවලිය ද්වීපාර්ශ්වික තරගාවලියක් නිසා අපි බලාපොරොත්තු වෙනවා නවසීලන්තයෙන් යම් වන්දියක් ලබා ගන්න. එහෙම නැත්නම් අපි මේ ගැන ක්‍රිකට් කමිටුවට පැමිණිළි කරන්න බලාපොරොත්තු වෙනවා.” 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විදිහට ඔවුන් මේ වගේ සිදුවීම් නැවත සිදුනොවෙන්න වග බලාගන්න ඕනේ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක්ක මේ සිදුවීම ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ අවස්ථාවක දී අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ.” යැයි Wasim Khan වැඩිදුරටත් පවසා සිටියා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<