කාවින්ධ්‍යා දුල්ෂානි මොකද කරන්නේ? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 19, 2021

කාවින්ධ්‍යා දුල්ෂානි මොකද කරන්නේ?


''පසුගිය දිනවල මම රඟපෑමෙන් සම්බන්ධ වෙලා හිටියෙ අහස් මාළිගා සහ හදවිල අරණ නාට්‍ය එක්කයි. ඊට අමතරව මියුසික් ප්‍රෝගෑම් එකක් හිරු ටී.වී. එකේ මෙහෙයවනවා. ඒකෙ නම හිරු ටොප් ටෙන්.'' තුරුණු ටෙලිනාට්‍ය ශිල්පිනී කාවින්ධ්‍යා දුල්ෂානි ඇයගේ මේ දිනවල වැඩ කටයුතු ගැන කියන්නෙ ඒ විදියටයි.

වැඩිය ආසා රඟපෑමටද? නිවේදන කටයුතුවලටද?
මට මේ වැඩසටහන කරන්න අවස්ථාව ලැබුණෙ රඟපෑම නිසයි. කොහොමටත් රඟපෑමට ආස නිසා තමයි රඟපෑම තෝරා ගත්තෙ. නිවේදනය කියන්නෙත් රඟපෑම වගේ හදාරමින් ඉදිරියට යන්න ඕනෑ ගමනක්. නිවේදනයට ලැබෙන ප්‍රතිචාරත් හොඳයි. 

දුල්ෂානිට ගෙදරටම වෙලා නිරෝධායනය වෙන්න වෙලා. ඒ ගැන කියමු? 
ඔව්, ඇත්තටම මටත් නිරෝධායනය වෙන්න සිද්ධ වුණා. ඒකට හේතුව අපේ අම්මටයි, නංගිටයි කොවිඩ් පොසිටිව් වෙච්ච නිසයි. ඒ නිසා ගෙදර අනෙක් හැමෝටම නිරෝධායනය වෙන්න සිදු වුණා. දෙවැනි නංගිට අවුරුදු 14යි. එයා පාසල් අධ්‍යාපනය ලබනවා. එයා ගෙදරින් පිට කොහේවත් යන්නෙත් නැහැ. අපෙ අම්මා කිව්වෙ අම්මගෙන් නංගිට බෝ වෙන්න ඇති කියලයි. මේ දිනවල අම්මයි, නංගියි දෙන්නම රෝහල් ගත කරලා ඉන්නෙ. අපෙ අම්මට හැදෙන්න ඇත්තෙ අම්මා වැඩ කරන ඔෆිස් එකෙන් වෙන්න ඇති. ඉතින් වැඩි හොඳට අම්මවයි නංගිවයි රෝහල් ගත කළා. කොවිඩ් පොසිටිව් වුණාට නංගිටයි, අම්මටයි ප්‍රශ්නයක් නැහැ. දැන් සුවය ලබමින් ඉන්නේ. 
ගෙදර අනෙක් අය කවුද කියලා කියමු? 
ලොකු නංගි විවාහ වෙලා. එයා වෙනම ඉන්නෙ. ගෙදර ඉන්නෙ චූටි නංගියි, ආච්චියි, අම්මයි, තාත්තයි, මමයි. 

මේ විදියට ගෙදර ඉන්නකොට දුල්ෂානිට මොකද හිතෙන්නෙ? 
කොහොමටත් අහස් මාළිගා ඉවර වුණාම කාලයක් ගෙදරටම වෙලා ඉන්න ඕනෑ කියලයි මගේ අදහස වුණේ. ඒ අතරේදී සජීවී වැඩසටහනට යන්න බැරිවීම ගැන නම් පොඩි දුකක් තියෙන්නෙ. ඒ වුණත් මේ වෙලාවේ එළියට යන එක නම් හොඳ දෙයක් නෙවෙයි. අපට පොසිටිව් වුණේ නැහැ කියලා හිතලා කවුරුවත් එළියට යන්න හොඳ නැහැ. මේ සෞඛ්‍ය නීති රීතිවලට අපි ගරු කරන්න ඕනෑ. 

ගෙදරට වෙලා ඉඳිද්දි, අසල්වාසීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද? 
ඒක නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. එක පාරටම නිරෝධායනය වෙන්න වුණා. ලොක්ඩවුන් එකක් ආවා. එතකොට අපට ගෙදරට හරියට ආහාරපාන සහ අත්‍යවශ්‍ය දේ ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ගෙදරට අවශ්‍ය දේ මොනවද ඕනෑ කියලා අහලා සොයලා බලලා අසල්වාසීන් අපට ගෙනැල්ලා දුන්නා. හෙළ වෙදකමට අවශ්‍ය දේ පවා ගෙනැල්ලා ගේට්ටුව ළඟින් තියලා ගිහින්. මනුස්සකම නැතිවෙලා කියලා සමාජයේ මතයක් තිබුණාට මට නම් හිතෙන්නෙ අපේ සමාජයෙන් මනුස්සකම ඈත්වෙලා නැහැ. මනුස්සකම තියෙන මිනිස්සු බොහොමයක් හමුවුණා. ඒක ඔක්කෝටම වඩා වටිනා දෙයක්. 

දුල්ෂානිගෙ නිවස තියෙන්නේ? 
මල්වානේ. හොඳ මිනිස්සු ඉන්න පළාතක්. අපි පදිංචි ගම ගැන මට ඇත්තටම ගෞරවයක් තියෙන්නේ. මට ගම ගැන ඇතිවුණේ පොඩි ආඩම්බරයක්. 

මේ වසංගත සමයේදී දුල්ෂානි අතින් වූ අතපසුවීම් ලෙස දකින්නෙ? 
මට හිතෙන විදියට පොඩි අතපසුවීමක්වත් මගේ අතින් වුණේ නැහැ. එදිනෙදා කළ යුතු සෞඛ්‍ය ක්‍රම වෙනදාට වඩා හොඳින් පිළිපදිනවා. ගෙදර අය කියලා හිතාගෙන ‘මාස්ක්’ නොදා ඉන්නෙ නැහැ. ඇත්තටම ගෙදරදි පවා අපි ‘මාස්ක්’ පලඳින්න ඕනෑ. සමහර විට ගෙදර අයනෙ කියලා හිතාගෙන අපි ඒ වැඩේ අතපසු කරනවා. එහෙම කරන්න ඕනෑ නැහැ. ගෙදරදිත් මාස්ක් දැමීම කළ යුතුමයි. අම්මයි, පොඩි නංගියි ගෙදර නැති එක ගැන දුකයි. මොකද අපි එහෙම ඉඳලා නැහැ. පොඩි නංගි මා එක්ක හරිම එකතුයි. ඉතින් ඒ පාළුව නම් තියෙනවා. ඒත් චූටි නංගි සහ ආච්චි අම්මා ඉන්න නිසා ගෙදර වැඩ මට කරන්න වුණා. ඒක අමුතු අත්දැකීමක්. 

ඔබගෙ මිතුරු මිතුරියන් සහ සමාජයේ මිනිස්සු මේ වසංගත සමයේදී නිවැරැදිව සෞඛ්‍ය නීති රීති පිළිපදිනවා කියලා හිතනවද? 
සමහරු එහෙම කරන්නෙ නැහැ. අත්‍යවශ්‍ය ගමනක් විතරයි එළියට යනවා නම් යන්න ඕනෑ. ඒත් සමහර මිනිස්සුන්ගෙන් එය දකින්න ලැබෙන්නෙ නැහැ. දුරස්ථභාවය තියාගන්න කියලා කොච්චර කීවත් මුඛ ආවරණ හරියට පලඳින්න කියලා කොච්චර කීවත්, සමහරු ඒවා කරන්නෙ නැහැ. ඒ නිසා මුළු රටක් අනතුරේ. අපි පරිස්සම් වෙනවා කියන්නේ මුළු සමාජයක් පරිස්සම් කරනවා කියන එකයි. සමහරු එන්නත්කරණයටත් බයයි. ඒක අනිවාර්්‍යයෙන්ම කළ යුතු දෙයක්. 

කොහොමද මේ දිනවල කාලසටහනකට අනුවද වැඩ කරන්නේ? 
ඔව්, ඒ පුරුද්ද මට වෙනදාත් තිබුණා. ගෙදර වැඩ ටික කරලා, ඉතිරි කාලයේදී ෆිල්ම් බලනවා. පොත් කියවනවා. කොහොමටත් නවකතා කියවන්න මම හරි ආසයි. ‘දූවිලි - ඕවිලි’ නවකතාව මේ දිනවල කියවනවා. 

පෙම්වතා මොනවද මේ දිනවල කියන්නේ?
පෙම්වතෙක් නැහැනේ. 

ඇයි මෙච්චර ලස්සන දුල්ෂානිට පෙම්වතෙක් නැත්තේ? 
විශ්වාස නොකරන්න පුළුවන්. ඒත් තවම මට නිදහසේ ඉන්න ඕනෑ. දැන්ම පෙමක පැටලිලා ජීවිතයට අනවශ්‍ය බරක් පටවා ගන්න ඕනෑ නැහැ. සුදුසු කාලය ආවාම විවාහයට සූදානම් වෙන්නට ඕනෑ. 

ආදරය - විවාහය ගැන දුල්ෂානි හිතන්නෙ කොහොමද? 
දෙදෙනෙක් අතර ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතු දෙයක්. මොකද ජීවිත කාලයටම තමයි කෙනෙක් තෝරා ගන්නෙ. එතකොට ඒ දෙදෙනා අතර ඉතා හොඳ බැඳීමක් තිබිය යුතුමයි කියලයි මම හිතන්නෙ. ඒ ගැලපීම වුණොත් විවාහය කිරීම සුදුසුයි. කලා ක්ෂේත්‍රයේ සමහරු කොවිඩ් පොසිටිව් වුණත් කියන්නේ නැහැ කියලා සමහරු කියනවා. 
දුල්ෂානි ඒ වගේ අවස්ථා දැකලා තියෙනවද?
මම හිතන්නෙ අපේ කලා ක්ෂේත්‍රයේ අය නම් පොසිටිව් වුණාම එය සැඟවූයේ නැහැ. සමාජ මාධ්‍ය ඔස්සේ හරි එය ප්‍රකාශ කළා. කලාකරුවන් තමන්ගේ වගකීම හරියට කළාය කියලා මට කියන්න පුළුවනි. කොරෝනා හැදුනා නම් මම හිතන විදියට ඉතා ශක්තිමත් මනසකින් ඊට මුහුණ දෙන්නට ඕනෑ. පොසිටිව් නැති අය උපරිමයෙන් සෞඛ්‍ය නීති රීති පිළිපැදීම කළොත් අපට මේ වසංගතයෙන් ඉක්මනටම මිදෙන්න පුළුවන්. 

ගෙදරට වෙලා ඉන්න එකේ කෑම ජාති එහෙම හැදුවෙ නැද්ද?
චූටි නංගි කන්න ආස නිසා ජෙලි එක්ක පුඩිං එකක් හදලා දුන්නා. මට ඒක රසට හදන්න පුළුවනි. 

මේ දිනවල වැඩිපුරම අහන සිංදු මොනවද?
සන්තුෂ් - අශාන්ති එක්ක චිත්‍රපටයකට ගැයූ ‘මොහොතින් මොහොතට’ ගීතය සහ මේ දිනවල හිට් වෙලා තියෙන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය අහනවා. 

෴ සටහන සහ ඡායාරූප: 
සඳුන් ගමගේ - ඉරිදා ලංකාදීප - සැදැල්ල

Classified_Ad

Classified_Ad_News_Bottom