නාසා රෝවරය අඟහරු හාරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 17, 2021

නාසා රෝවරය අඟහරු හාරයි

ඇමෙරිකාවේ නාසා ආයතනයේ 'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානය, අඟහරු මතුපිට ඉතාමක් සියුම් කැණීමක් කර, පස් සාම්පලයක් ලබා ගත්තේය. පෘථිවි රොබෝ යානයක් ග්‍රහලොවක් හාරා පස් සාම්පලයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. 

කෙසේ නමුත් 'පර්සිවියරන්ස්' යානයට අඟහරුගේ පස් සාම්පලයක් ලබා ගැනීම පහසු වූයේ නැත. පස් සාම්පල ලබා ගැනීම සිදුවූයේ දෙවැනි උත්සාහයේදීය. නාසා 'පර්සිවියරන්ස්' රෝවර් යානය, අඟහරු හෙවත් රතු ග්‍රහයාට යවා ඇත්තේ අනාගත බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. 

'පර්සිවියරන්ස්' රෝවර් යානය නිපදවා එය අඟහරු යැවීමේ මෙහෙයුමට නාසා ආයතනය වැය කර තිබෙන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.7 කි. අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ 'පර්සිවියරන්ස්' රෝවර් යානය අඟහරු ගියේ අඟහරුගේ පස් සාම්පල රැස් කර ගනිමින් අඟහරු මතුපිට අතීතයේ ජීවය පැවැතියේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටය. 

රැස් කර ගන්නා සාම්පල රෝවර් යානයේ වාතයට නිරාවරණය නොවන අයුරින් ටයිටේනියම් සිලින්ඩර තුළ තැම්පත් කෙරෙන අතර, අනාගත අඟහරු මෙහෙයුමකදී එම සිලින්ඩර වෙනත් රොබෝ යානයක් යවා පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා විද්‍යාඥයන් බලාපොරොත්තු වෙයි. එම කටයුත්ත සඳහා නායා ආයතනය යුරෝපා අභ්‍යවකාශ ආයතනය සමඟ හවුල් වී සිටින බව ද පැවැසෙයි.

'පර්සිවියරන්ස්' රෝවර් යානය පතිත කර ඇත්තේ අඟහරුගේ කිලෝ මීටර් 49 ක් පළලැති 'ජෙසරෝ' නමැති අඟහරු ආවාටය මතටය. අතීතයේ මෙම ආවාටය ජලයෙන් පිරි විලයක් විය හැකි යැයි නාසා විද්‍යාඥයන් විශ්වාස කරයි. 'පර්සිවියරන්ස්' රෝවරය සමඟ කුඩා ඩ්‍රෝන හෙලිකොප්ටරයන් ද අඟහරු බලා ගිය අතර, එය අඟහරු වායු ගෝලයේ සංඝටක පරීක්ෂා කරමින් පියාසර කරයි.

'ඉන්ජිනියුටි' අඟහරුට යැවුණු සහ අඟහරු අහසේ පියාසර කළ පළමු හෙලිකොප්ටරය ද වෙයි. මීට සති කීපයකට පෙර, 'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානයට පෘථිවි විද්‍යාඥයන්ගෙන් උපදෙස් ලැබුණේ, එහි විදින කටුව භාවිතයට ගනිමින් අගලක් තරම් පළල ඉතා කුඩා ගැඹුරු සිදුරක් කැණීමය. පෘථිවි යානයක් අඟහරු මතුපිට සියුම් කැණීමක් කළ පළමු අවස්ථාව වූයේ එයයි. 

සිදුර කැණීමෙන් පසු රහි පස් රෝවරයේ ටයිටේනියම් සිලින්ඩර්වලින් එකකට පුරවා ගැනුණි. සියල්ල අවසන් වී, සිලින්ඩරය පරීක්ෂා කරද්දී එය හිස් විය. රෝවර් යානයේ කැමරා හරවා ටයිටේනියම් සිලින්ඩරය පරීක්ෂා කෙරුණු අතර, ඒ තුළ කිසිවක් නොවීය. පස් සාම්පලය අතුරුදන් වී ඇත. පස් සාම්පලයට සිදුවූයේ කුමක්ද? එය හිටිහැටියේ අතුරුදන් වූයේ කෙසේද? එය ප්‍රහේලිකාවක් මෙන්ම අබිරහසක් ද විය. 

නාසා විද්‍යාඥයන් පළමුවෙන් ම කළේ කැණීම් කළ කුඩා සිදුර හොඳින් නිරීක්ෂණය කිරීමය. ''යානයේ කැමරා හසුරුවමින් අප සිදුර හොඳින් නිරීක්ෂණය කළා. හාරමින් ලබා ගත් පස් සාම්පලය එක්කෝ සිදුර අඩියේ තිබිය යුතුයි. නැතිනම් හැරීමට යොදා ගත් විදින කටුවේ තැවැරි තිබිය යුතුයි.'' යැයි 'පර්සිවියරන්ස්' රොබෝ යානාවේ සාම්පල රැස්කිරීමේ කටයුතු බාර ප්‍රධාන ඉන්ජිනේරු ලුවීස් ජන්දුරා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. ඒත්, සිදුර අඩියේත් විදින කටුවේත් පස් තිබුණේ නැත. වැඩි දුර අධ්‍යනය කිරීමේ දී විද්‍යාඥයන් අනුමාන කළේ, සිදුර කැණීම කළ ස්ථානයේ පස් කැණීම් කරද්දී දූවිලි අංශ බවට පත්වන්න ඇතැයි කියාය.

''පස් සාම්පලය සිලින්ඩරයට දැමුවා යැයි සිතුවත්, කැණීම් කරද්දීම ඒවා දූවිලි බවට පත්වුණු නිසා රැස් කර ගැනීමට දෙයක් තිබෙන්න නැහැ. අප අනුමාන කරන විදියට සිදුවන්නට ඇත්තේ එයයි. හේතුව පස් සාම්පලය ගන්න කෙනෙක් අඟහරු මතුපිට නැහැ'' යැයි ලුවීස් ජන්දුරා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැහැදිලි කළේය. 

ඉදිරියේ දී 'ජෙසරෝ' ආවාටයේ වෙනත් සුදුසු ස්ථානයක් තෝරා යළි සිදුරක් කැණීම් කරන බව ලුවීස් ජන්දුරා එම අවස්ථාවේදී පැවැසීය. ඒ අනුව, දෙවැනි කැණීම පසුගිය සැප්තැම්බර් 6 වැනිදා සාර්ථකව සිදුවූවා පමණක් නොවෙයි, පස් සාම්පලය එක් රැස් කර ගැනීමට ද හැකිවිය. 

මෙම අවස්ථාවේ සිදුරු කළේ ඝන පාෂණ තට්ටුවකි. එයින් ලබා ගත් පස් සාම්පලය මූලික පරීක්ෂණවලට යොමු කළ බවත්, අතීතයේ අඟහරු මතුපිට ජීවය පවතින්න ඇතැයි යන අදහස සනාථ කර ගැනීමට අවශ්‍ය සාධක එයින් අනාවරණය වූ බවත් නාසා ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ මහත් ආඩම්බරයකිනි. 

මෙම නව පස් සාම්පලයත්, 'පර්සිවියරන්ස්' රෝවරය ඉදිරියේ දී රැස් කර ගන්නා පස් සාම්පලත් පෘථිවියට ගෙන්වා ගැනීමේ මෙහෙයුම ආරම්භ වනු ඇතැයි පැවැසෙන්නේ 2026 වසරේදීය. 2026 දී පස් සාම්පල ගෙන ඒමට පිටත්ව යන රොබෝ යානය අඟහරුට යනු ඇත්තේ 2028 දී යැයි පැවැසෙයි. 

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom