චෝදනා අසත්‍යයි! ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

916

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා නිමා වුනේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට 3-0ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්. කෙසේ වෙතත් මෙම තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි පසුබෑමකට ලක්ව තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය සිතාමතා කළ එකක් බව මාධ්‍ය කීපයක් විසින් පසුගිය දා වාර්තා කර තිබුණා. මෙම වාර්තා ජාත්‍යන්තර මාධ්‍යවල ද දැඩි අවධානයට යොමු වුනා.

අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (16) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනයේ සිංහල පරිවර්තනය මෙසේයි,

මාධ්‍ය නිවේදනය

2021 සැප්තැම්බර් 16

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කීපදෙනෙකු කණ්ඩායම වෙනුවෙන් සිය පූර්ණ කැපවීම නොදැක්වීම සහ හිතාමතාම තරගයේ දී දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබනවා.

ජාතික සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව එවැනි පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ‘කණ්ඩායම් කළමනාකාරීත්වය’ වෙතින් ලැබී නැත.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එක්දින තරගාවලියට ක්‍රීඩා කළේ ද එම ක්‍රීඩකයින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔබට දැනුම් දීමට කැමතියි.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය 2–1ක් ලෙස ජයග්‍රහණය කළා පමණක් නොව තීරණාත්මක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණිමට ද සමත් වුනා.

මෑත කාලීනව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වැදගත් තර​ග ජයග්‍රහණය කරමින් නිවැරදි මාවතට ගමන් කරමින් ඉදිරියට යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විසින් අවබෝධ කරගෙන ඇති බව පෙනී යන කරුණකි.

එම නිසා, එම ප්‍රවෘත්තිය පළ කළ අදාළ ප්‍රවෘත්ති සමාගම්වලින් එවැනි අසත්‍ය සහ ගොතන ලද පුවත් පළකරමින් සදාචාරාත්මක පුවත්පත් කලාවක් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස ඉල්ලා සිටීමට කැමත්තෙමු. මෙවැනි අසත්‍ය වාර්තා කිරීම් මඟින් තීරණාත්මක විස්සයි විස්ස ලෝක කුසලානයට මුහුණ දීමට සූදානමින් සිටින ජාතික කණ්ඩායමේ මානසිකත්වය අස්ථාවර කර විනාශ කරනු ඇත.

මෑතක දී පැවති තර​ගවල දී අප දුටු පරිදි දක්​ෂතා දක්වමින් කණ්ඩායමේ රැඳී සිටිමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩකයින්ට මෙවැනි අසත්‍ය වාර්තා කිරීම් මානසිකව දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

ප්‍රසන්න රොද්‍රිගෝ,

මාධ්‍ය කළමනාකරු,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<