HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කොහොමද කුරුලු මොළේ? නවසීලන්තයෙන් එන අපූරු හෙළිදරවුවක්!

කුරුල්ලන් ගැන අපි මෙතෙක් සිතා සිටි විධිය වැරදියි. කුරුලු මොළේ ගැන විස්මිත හෙළිදරවුවක් පසුගිය දා නවසීලන්තයෙන් ආවා. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු නිරීක්ෂණය කරල තියෙන්නෙ. නවසීලන්තයේ විලෝබෑන්ක් වනජීවි රක්ෂිතයේ ඉන්නා බෲස් නම් කේයා (Kea) ගිරා වර්ගයේ කුරුල්ලකුගේ චර්යාවන් නිරීක්ෂණය කර ඔවුන් පර්යේෂණ පත්‍රිකාවක් පිළියෙල කරල තියෙනවා. 

අධ්‍යයනය කළ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ අමාලියා බැස්ටෝස් කේය ගිරවකු සමඟ.

මේ අධ්‍යයනයට ලක් වූ කේයා ගිරවා ආබාධිතයෙක්. කුරුලු දඩයක්කාරයන් විසින් අටවන ලද උගුලක් නිසා හොටේ උඩු පැත්තෙන් කොට‍සක් අහිමි වූ එකෙක්. 2013 දී නවසීලන්තයේ දකුණු දූපතේ ආතර් පාස් නම් ස්ථානයේ දී තමයි වනජීවී නිලධාරින්ට හමුවෙලා තියෙන්නෙ. නවසීලන්තයේ අගනුවර වූ ක්‍රයිස්ට්චර්ච්හී දකුණු දූපතේ වනජීවී රෝහලේ දී ප්‍රතිකාර කර වනජීවී රක්ෂිතයේ කුරුල්ලන්ට වෙන් කළ විශාල කොටසට මුදා හැර තියෙනවා. දැනට ඌ ජීවත්වෙන්නේ ඒ කොටසෙයි. 

හොටේ ඇති අඩුපාඩුව අනුව ඌ ජීවිතය ගෙන යාමට සාර්ථකව හුරු වී තියෙනවා. හොටේ කොටසක් අඩු නිසා ඝන පොත්තක් ඇති ඒවා පොතු අර ගෙන කෑම ඌට කළ නොහැකියි සිතා වනජීවී නිලධාරින් මේ කුරුල්ලාට කෑමට සුදුසු මෘදු පලතුරු ආදිය දුන්නත් ඌ වෙනත් කුරුල්ලන්ට දෙන ආහාර සමග ඇති ඝ‍න පොත්තක් ඇති ඒවා වෙනත් ඝන දෙයකට තද කර තෙරපා පොත්ත පුපුරුවා හැර කන්නට හුරු වී තියෙනවා. මේ නිරීක්ෂණ වනජීවී නිලධරයන් විසින් කරන ලද ඒවායි. 

හොටේ උඩු වකුටු කොටස අහිමි වූ කේය ගිරවා බෲස්.

කේයා ගිරවා (සත්ව. විද්‍යා. නාමය - නෙස්ට නෝටබිලිස්) බොරළු හා ගල් කැටවලින් ඇඟ‍ෙහි පිහාටු පීරනවා 2019 සිට ම දැක තියෙනවා. ඒ තොරතුරු අනුව ඔක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් දින නවයක් තිස්සේ එක දිගට උගේ ඒ චර්යා නිරීක්ෂණය කළා. ඔවුන්ගේ නිරීක්ෂණවලට අනුව බෲස් ගිරවා ඒ මෙවලම් භාවිතය නිශ්චිත ක්‍රමයකට නැවත නැවතත් නිවැරදිව කර තියෙනවා. මේ කාර්යයේ දී ඌ හොටේ යට කොටසත් දිවත් එකට යොදා ගෙන ඒ ද්‍රව්‍ය නිවැරදි ක්‍රමයට අල්ලන බව ද ඔවුන්ගේ නිරීක්ෂණයෙන් පෙනී ගොස් තියෙනවා. 

මේ කේයා ගිරවා මෙවලමක් භාවිත කොට පෙට්ටියක් ඇර එහි ඇති දේ ගැනීමට සමතකු බව කලින් දැන ගෙන සිටියත් ප්‍රථම වතාවට තමන්ගේ සාත්තුවට සුදුසු මෙවලම තෝරා ගෙන පාවිච්චි කරන්නට ඌට හැකියාව ඇති බව හෙළිවුණේ මේ අධ්‍යයනයේදියි. මේ අධ්‍යයනය කර ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ අමාලියා බැස්ටෝස් (Amalia Bastos) ඇතුළු පිරිසක් විසිනුයි. 

මේ අධ්‍යයනයට ලක් වූ බෲස් නම් කේයා ගිරවා හොටේ උඩු කොට‍ස අහිමි වූ එකෙක්. ඌ දිවත් හොටේ යට කොටසත් එක්ක බොරලු කැට අල්ලා ගෙන පිහාටු පීරනවා.

බෲස් බුද්ධිය මෙහෙයවා මේ කාර්යයන් ඉටු කරන බව පරීක්ෂණයෙන් හෙළි වුණා.

‘වනගතව වෙ‍ෙසන විට කේය ගිරවුන් නිතරම මෙවලම් පාවිච්චි නොකළත්, මේ කුරුල්ලාගේ ඇති ආබාධිත තත්වය නිසා ඌට තමන්ට අවශ්‍ය කාර්යය සඳහා සුදුසු මෙවලම තෝරා ගැනීමට සිදුවුණා. ඒ මගින් තමයි අපට උගේ මොළය පාචිච්චි කරන ආකාරය ගැන හෙළිදරවු කර ගන්නට හැකි වුණේ.’ ඇය ඒ අධ්‍යයනය ගැන සඳහන් කරමින් කියනවා. ‘ඒ අවස්ථාව උදා වූ විට ඊට නිසි මෙවලම තෝරා ගන්නා ඌ, ඊළඟ අවස්ථාවේ දී ඊට උචිත වෙනස් මෙවලමක් අවශ්‍ය නම් එය ද තෝරා ගන්නට දක්ෂයි’ 

පර්යේෂකයන්ට අනුව බෲස් ගිරවා මෙහිදී මෙවලම් භාවිතා කරන්නේ සිතා මතා බව එකම අවස්ථාව සඳහා එකම මෙවලම තෝරා ගැනීමෙන් පැහැදිලි වෙනවා. ‘බෲස් තෝරා ගන්නා බොරලු කැට අනෙක් කේය ගිරවුන් තෝරා ගන්නා ඒවාට වඩා වෙනස්. ඒවා නිතරම කිසි යම් ප්‍රමාණයක ඒවායි’ මනෝවිද්‍යාඥවරිය කියනවා. 

බෲස් කේයා ගිරවා අනතුරකට ලක්ව හොට තුවාල වූ පසු ජීවත්වන්නේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් විලෝබෑන්ක් වනජීවි රක්ෂිතයෙයි.

ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් දින නවයක් තිස්සේ මේ බෲස් යොදා ගෙන අධ්‍යයනයක් කළා.

‘හොටේ උඩ කොටස නැතිව තමන්ගේ පිහාටු පීරීමට බෲස් තෝරා ගන්නේ නිශ්චිත ප්‍රමාණයක බොරලු කැටයි. බොරලු කැට තෝරා ගත් අවස්ථාවලින් සියයට 90ක් ම ඌ කළේ ඒවායින් පිහාටු පීරීමයි. එවැනි අවස්ථාවලින් සියයට 95ක දීම ඒ පීරන අතරතුර බොරලු කැටය උගේ කටින් ගිලිහී වැටෙනවා. ඒ හැම විට ම ඌ ඒක අහුලා ගෙන හෝ ඊට සමාන ඒකක් තෝරා ගෙන හෝ ඒ කටයුත්ත නැවත ආරම්හ කරනවා.’ මනෝවිද්‍යාඥවරිය වැඩිදුරටත් කියනවා. 

පර්යේෂකයන්ගේ අවධානයට ලක් වූ ඒ පරිසරයේ සිටි අනෙක් කේය ගිරවුන් 12 දෙනා ම බොරලු හෝ වෙනත් මෙවලමක් පිහාටු පීරීමට පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් බොරලු ඇහුලුවත් තෝරා ගන්නේ බෲස් තෝරා ගන්නා ඒවාට වඩා වෙනස් ප්‍රමාණවල ඒවායි. මනෝවිද්‍යාඥවරිය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ බෲස් මේ චර්යාවන් නැවත නැවතත් ඒ ආකාරයෙන් ම සිදු කෙරෙනු ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලැබූ බවත් මෙවැනි ඉතාමත් දුර්ලභ චර්යාවන් පිළිබඳ නිරීක්ෂණය සිය අධ්‍යයනය වාර්තාවේ පැහැදිලිව දක්වා ඇති බවයි. ඔවුන්ගේ මේ අධ්‍යයන වාර්තාව Scientific Reports ජර්නලයේ පළ කර තියෙනවා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments