හඉකු: පැදියක මාවත

Share

“හඉකු” වනාහි ජපානයේ සමාජ සංස්කෘතික සෞන්දර්යය මොනොවට විදහා පාන ජපන් සාහිත්‍යයේ එන සම්භාව්‍ය කෙටි කවි විශේෂයකි. දහසය වන සියවසේ දී කවීන් සමූහයකගේ සහභාගීත්වයෙන් රචනා කරන ලද “හඉකඉ” පද්‍ය සංග්‍රහයන්හි ආරම්භක කාව්‍ය වූ “හොක්කු” කවිය ඇසුරෙහි හඉකු සම්භවය වූ බව කිව හැකි ය.

මෙකී හොක්කු නැමැති කවිය සම්පූර්ණ හඉකඉ පැදි පෙළෙහි ම රටාව මෙහෙයවන බැවින්, පබඳින ලද්දේ පිරිසේ දක්ෂත ම කවියා විසිනි. එහි දී අනුගමනය කළ යුතු වූ රීතීන් දෙකක් විය. ඒවා නම්, පිළිවෙලින් අක්ෂර පහකින්, හතකින් හා පහකින් යුතු වූ පාද තුනක් සහිත කවියක් වීම හා සාමූහික පද්‍යකරණයේ ඒකාබද්ධතාවය පවත්වා ගැන්මට රචනා කරන ලද ඍතුව ධ්වනිත කෙරෙන “කිගෝ” නොහොත් ඍතු පදයක් යෙදීමයි.

පසුකලෙක, ප්‍රකට හඉකඉ කවියෙකු වූ මත්සුඔ බෂෝ විසින් පිරිවර කවි රහිත ව හොක්කු පමණක් රචනා කිරීම අරඹන ලදින් මෙම නව කාව්‍ය සම්ප්‍රදාය බිහිවිණි. හඉකුවල නිර්මාපකයා වූ බෂෝ මානව ජීවිතයට වඩා ස්වභාව සෞන්දර්යය සිය පරිකල්පනයෙන් ස්පර්ශ කළ කිවියෙකි. ඔහුගේ ප්‍රචලිත ම එක් පද්‍යයක සිංහල අනුවාදය මෙසේ ය.

“පැරැණි පොකුණෙකි

මැඬියෙක් පනී

ජලයේ ශබ්දය”

-නූතන ජපන් හඉකු-

ආරම්භයක් ලෙස මෙහි අරුත සැකෙවින් පවසතොත්; අවියෝජනීය ව බැඳී ඇති ලෝකය හා නිර්වාණය නම් වූ පැරණි පොකුණට පනින මැඬියා නිර්වාණයට එළඹෙන බුදුවරයෙකුට උපමා කොට ඇතැයි විචාරකයෝ පැහැදිලි කරති. ජලයේ ශබ්දය නම් එකී බුදුවරයාගේ ධර්මයයි. ඉතා කෙටි වූත් සූක්ෂ්ම පද පෙළහරකින් මෙසේ ගැඹුරු අර්ථ දැනවීම හඉකුවල රටාවයි.

හිරඉද්සුමි (Hiraizumi) නගරයේ ඇති බෂෝ ගුරුතුමාගේ ප්‍රතිමාව

බෂෝගේ ශිෂ්‍ය යොසා බුසොන් ද හඉකු ඉතිහාසයේ පරමාදර්ශි කවියන්ගෙන් කෙනෙකි. හෙතෙම සිත්තරෙකු ලෙසින් නෙත්දුටු ඥානය හසුරුවමින් දෘෂ්ටි සලකුණුවලින් අනූන හඉකු පද ගෙතුවේ ය. එවැනි කවක ඉංග්‍රීසි පරිවර්තනය මෙසේ ය.

“Only Mount Fuji

Is left unburied

By young leaves”

හානියක් නොවන පරිද්දෙන්, මෙය සිංහලයට නගා පහත අයුරින් දක්වමි.

“ෆූජි කන්ද පමණෙකි

නොවැළලී ඉතිරි ව ඇත්තේ

තුරුණු තුරුපත්වලින්”

හඉකු කවියේ පෙර කී ඓතිහාසික යුග පුරුෂයන් දෙපළට එක් වන තුන්වැන්නා නම් සුගම වදනින් අල්පේච්ඡත්වය අගය කළ කිවියකු වූ කොබයෂි ඉස්සා වේ. සිසිර ඍතුවට සැරසෙන පරිසර සොබාව සරල ව ඔහු ඉදිරිපත් කළේ මෙසේ ය. කවියේ ඉංග්‍රීසි පරිවර්තනය මෙබන්ඳකි

“In September

The sky wears

A lined kimono”

එහි සිංහල පද පෙරළියක් මෙසේ දැක්විය හැක.

“සැප්තැම්බරයේ

අහස් තලය හැඳ සිටී

ඉරි වැටුණු කිමොනෝවක්”

මෙම කාව්‍ය සම්ප්‍රදායේ ප්‍රගමනයේ දිශානතිය බාහිර පාරිසරික සාධක මත මෙන් ම කාව්‍යකරණයේ නියැළුණු හඉකු කවීන්ගේ නොයෙකුත් බුද්ධිගෝචර දෘෂ්ටිකෝණයන් ඔස්සේ නිරතුරුව වෙනස් විය. එසේ හෙයින් හඉකු කවියේ විකාශනයෙහි ලා හඉකු කිවියන්ගේ දායකත්වය කිසිසේත් ම අත්හැරිය හැක්කක් නො වේ.

දහනව වන සියවස වන විට පැරණි හොක්කු කවිය තවත් නීති රීති මාලාවකින් හැඩ ගස්වනු ලැබ කලාත්මක බවින් අඩු වී තිබිණි. එකල මසාඔකා ෂිකි නම් කවියා බෂෝ අනුගාමික සම්ප්‍රදායවාදීන්ගේ නොයෙකුත් විරෝධතා මධ්‍යයේ වුව ද, නීති රීතීන්ගෙන් මිදුණු, සරු වාග් මාලාවකින් හා මනා භාව ප්‍රකාශනයකින් යුත් ස්වාධීන කවියක වටිනාකම ගෙන හැර දැක්වූයේ ය. යමෙකුගේ ක්‍රියාවේ හා චේතනාවේ සම්බන්ධතාවය ප්‍රතිමුඛ මනෝභාව දෙකක් ඇසුරින් ඉතා සරල ව දක්වා ඇති, ෂිකි විසින් ලියන ලද ඒ නව හඉකු කවියක රස මෙසේ විමසමු.

 “ආදරය, එදිරිය

උදෙසා තළා මැස්සකු

දෙන්නෙමි කුහුඹුවකු හට”

(නූතන ජපන් හඉකු – 49 පිට)

ෂිකිගේ මඟ ගමන් කළ කවීන් කීපදෙනෙක් ම කාව්‍යකරණයේ උපරිම නිදහස අගය කළහ. නිදසුනක් ලෙස ෂිකිගේ අනුප්‍රාප්තිකයා වූ කවහිගෂි හෙකිගොදෝ, පහ-හත-පහ යන අක්ෂර දාහතේ රීතියෙන් තොර එහෙත් ඍතු පදයෙන් යුතු කෙටි නිසඳැස් කවියක් ලෙස නවමු ආකාරයේ අර්ථයක් හඉකු කවියට ලබාදුන්නේ ය.

මෙහි පිළිවෙලින් වමේ සිට දකුණට ෂිකි හා හෙකිගොදෝ කිවියන්ගේ ඡායා රූ දක්වා ඇත.

මේ අතර, යතාර්ථයෙන් අපගමනය වී, සරල ව රස විමසන, පැරණි සම්භාව්‍යත්වය අගය කළ කවීන් ද එකල විය. ඔවුනතුරින් තකහම ක්යෝෂි ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකිය හැකි ය. ක්යෝෂිගේ “කුකූ” නම් හඉකු සඟරාව පසුකාලීන ව කෘතහස්ත කිවියන් බිහිකරන ලද තෝතැන්නක් විය.

තකහම ක්යෝෂි

“කුකූ” සඟරාව තුළින් කරළියට පැමිණි නව හඉකු කවීන් කිහිපදෙනෙක් ම වෙති.

දිළිඳු මෙන් ම බිහිරි පුද්ගලයෙකු ලෙස සිය වේදනාකාරී ජීවිත අත්දැකීම් ආත්ම දමනයෙන් යුතු ව නිර්මාණාත්මක ව ඉස්මතු කළ “නූතන ඉස්සා” නොහොත් මුරකමි කිජෝ ද, සොබාදහම හා හුදෙකලා දිවිය අව්‍යාජ ලෙස අගය කළ “නූතන බෂෝ” යන අන්වර්ථයෙන් ද හැඳින් වූ ඊද දකොත්සු ද ඒ අතර වෙති.

සරත් සමයේ දී කිජෝ විසින් රචනා කරන ලද පහත කවියෙන් පිළිඹිබු කෙරෙන්නේ අස්වැන්න නොමැති ව ගොවියෙක් ලෙස ඔහු මුහුණ පා සිටි දුක්බර තත්ත්වයයි.

“බදා පස් කැටියක්

සිටී ඌ පණ අදිමින්

පළගැටියෙක්”

(නූතන ජපන් හඉකු – 105 පිට)

ෆූජි කන්ද අසළ ගම්මානයක උපත ලද දකොත්සු කඳුකර අසිරිය සිය නිර්මාණයන්ට එක් කළ අයුරු පහත පද්‍යයෙන් ප්‍රකට කෙරේ. හයිඩ්‍රන්ජියා නොහොත් අජිසඉ නම්, සකුරා තරමට ම ජපානයේ ප්‍රචලිත, වැසි සමයේ පිපෙන මල්වල සුන්දරත්වය කන්දක විශාලත්වය පවා පරයන බව හැඟෙන අතිශෝක්තිය මෙහි සංයමයෙන් ඉස්මතු කර තිබේ.

“හයිඩ්‍රන්ජියා මල් පඳුරට

අගෝස්තු කඳුකරයේ උස

කොහෙත් ම සෑහෙන්නේ නොවේ”

(නූතන ජපන් හඉකු – 120 පිට)

කල් ගත වත් ම හඉකු පද්‍යයට වඩාත් ගැඹුරු මානවවාදී ජීවයක් ලබාදෙමින් නව අදහසක් පළ කළ නකමුර කුසතඔ, ඉෂිද හක්යො හා කතෝ ෂූසොන් වැනි කවීන් පිරිසක් කුකූ සමාජයෙන් බිහි විය. හඉකු රචනය තුළින් කවියාගේ සන්තානයත් පරිපාකයට පත් වන බව විශ්වාස කළ ඔවුනතරින් තරුණ හක්යො “හඉකු වූ කලී ජීවිතයයි” යනුවෙන් කවිය හා ඔහු අතර අත්‍යන්ත සංයෝජනයක් ඇති බව පෙන්වා දුන්නේ ය. ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳ වූ පහත කවියෙන් අතිශය ගැඹුරු අදහස්, සරල ව හා සංක්ෂිප්ත ව ඉදිරිපත් කිරීමට ඔහු තුළ වූ විරල හැකියාව අවබෝධ කර ගත හැකි ය.

 “මළ සමනලයා

ගලන දියෙහි

යළිදු පා වෙයි”

(නූතන ජපන් හඉකු – 210 පිට)

ඉෂිද හක්යො

දෙවන ලෝක යුද්ධ සමයත් සමඟ ජපානයේ සිදු වූ සමාජ පෙරළිය හඉකු චින්තනය කෙරෙහි ද එක සේ බල පෑවේ ය. එලෙස පැරණි සම්ප්‍රදායට වෙනස් මතයක් දැරූ අයෙකු වූ හිනෝ සොජෝගේ අදහස වූයේ ප්‍රේමය, විවාහය, ස්ත්‍රිය වැනි මාතෘකා ද එක සේ භජනය කළ යුතු බව ය.

තව ද මිද්සුහර ෂුඕෂි විසින් විද්‍යාත්මක සත්‍යය හා කවියාගේ පරිකල්පන සත්‍යය එකිනෙකට වෙනස් සංකල්ප දෙකක් බව දක්වමින්, “ස්තැගර් බුෂ්” නමින් නව සඟරාවක් ආරම්භ කරන ලදී. යට කී ෂුඕෂිගේ මතවාදය අනුව යන ඔහුගේ කවක් මෙසේ ය.

 “කඳුකර සලඹයෝ

පහනක් වටා නො ගැවසෙති;

ඔවුන් ගැවසෙන්නේ සඳ වටා ය”

(නූතන ජපන් හඉකු – 157 පිට)

එමෙන් ම එකල නගරබද කාර්මීකරණය හා සබැඳි නව කරුණු හා සංකේත රූප හඉකු කවියට හඳුන්වා දීමට උත්සුක වූ යමගුචි සෙඉෂිගේ පද්‍යයක් පහත පරිදි දැක්විය හැකි ය. (මෙහි ධූම යතුර යනුවෙන් අලංකාර ව දක්වා ඇත්තේ වාෂ්ප එන්ජිම යන්නයි.)

“ගිම්හාන තණ මැද

රෝද නවතී

ධූම යතුරක”

(නූතන ජපන් හඉකු – 163 පිට)

යමගුචි සෙඉෂි

ලෝක සංග්‍රාමයෙන් අනතුරුව බටහිරකරණයෙන් අලුත් වූ අත්දැකීම් සමුදායකින් යළිත් හඉකු සම්ප්‍රදාය නව මානයක් ඔස්සේ විස්තාරණය වන්නට විය. ඒ සමයේ ප්‍රකට කිවියෙක් වූ තොමිද්සව කකිඔ මානවවාදී මතයෙන් බැහැර ව, කවියාගේ ජීවිතයත් පද්‍යයත් එකිනෙකින් ස්වායක්ත ඒකක බව පෙන්වා දුන්නේ ය. බොහෝ විට ඔහුගේ රචනා ශෛලිය සංකේතාත්මක වූ අතර ඒ බව කකිඔගේ කවක් තුළින් ම දකිමු.

“වලාකුළුවල පවත්නා දීප්තිය

බටපඳුරු තුළ පවත්නා අන්ධකාරය”

(නූතන ජපන් හඉකු – 246 පිට)

යුද්ධයෙන් පසු ජපානයේ බිහි වූ තවත් තරුණ කවියෙකු වූ කනෙකො තෝත හඉකු දර්ශනය, සමාජ-දේශපාලන තත්ත්ව විග්‍රහ කිරීමටත්, ස්වභාවිකත්වයෙන් ඔබ්බට යමින් අදහස් ඵලදායී ව මෙහෙයවීමටත් රුකුලක් කරගත්තේ ය.

“දිගට විහිදුණු, විඩා පත් අතක් මෙන්

වානේ කම්හලකින් නැගෙන

රතට හුරු දුඹුරුවන් ධුමය”

(නූතන ජපන් හඉකු – 258 පිට)

හඉකු කවියේ සැබෑ ම සංකේතාර්ථ මටසිලිටි අයුරින් විමසා බැලීමට නම් අනුරූප කාලයන්හි ජපාන සාමාජ, ආර්ථික හා සංස්කෘතික හරස්කඩ මනා අධ්‍යනයකට ලක් කළ යුතු ය. එසේ ම අනෙක් අතට බැලූ කල හඉකු පද්‍ය ද එකල සමාජ සංස්ථාවේ විවිධාකාර ප්‍රගමනයන් රසවත් දෘෂ්ටි කෝණ වලින් ඉදිරිපත් කරන මාධ්‍යයක් බව කිව මනා ය.

වර්තමානය වන විට පෙර අපර දෙදිග සංස්කෘතීන්ගේ යා වීමත් සමඟ හඉකු ආභාසය ලැබූ පද්‍යකෘති නොයෙක් භාෂා හා ශෛලීන් ඇසුරු කොටගෙන රචනා වී තිබේ. නිදසුනක් ලෙස විශිෂ්ට හඉකු කවියෙකු ලෙස ඇමෙරිකානු සාහිත්‍යය තුළ පතළ නික් වර්ජිලියෝගේ (Nick Virgilio) පැදියක් පහතින් දක්වමි.

“Lily

Out of the water

Out of itself”

සැකෙවින් ම හඉකු නම් මිනිසා ඇතුළු ව ස්වභාවධර්මයේ කිසියම් මොහොතක් සියුම් ව සංවේදනය කිරීමයි. බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට හඉකු පරිවර්තකයෙකු වූ ආර්. එච්. බ්ලයිත් (R.H. Blyth) අපූරු උපමාවකින් මෙම කවි විග්‍රහ කළේ ‍ය. ඔහුට අනුව නම් හඉකු, වැසී ඇතැයි පෙනෙන විවෘත දොරටුවකි. ඉන් ගම්‍ය කෙරෙන්නේ රචකයා මෙන් ම සහෘද පාඨකයා ද මනා ඉවසීමකින් හා අවධානයකින් කවියේ සංඥාවන් ග්‍රහණය කරගනිමින්, නිවැරදි අර්ථ මාර්ගයට පිවිසිය  යුතු බවයි. එසේ නොවන කල මේ නම් හුදෙක් වචන පෙළක් යනුවෙන් කෙනෙකුට හැඟී යා හැක.

අවසාන වශයෙන්; සුපිපුණු සකුරා, කපුරු, ලිලී මල් වලට, නිසොල්මන් ව ගලා ගිය සීතල දිය දහරකට කලාත්මක වූත්, භාවාත්මක වූත් අරුත් දෙමින් එදා බිහි වූ හඉකු කාව්‍ය, ජපන් වැසියා සමඟින් ම නන් අයුරින් පරිවර්තනය වෙමින් අද වන තුරු පැමිණි ඉතා දිගු ගමන් මඟෙහි අද්විතීයත්වය අවිවාදයෙන් ම පිළිගත යුත්තකි. ඉදින් මේ ලිපිය, යට එන ෂිකිගේ කවියේ වන හිරු එළිය මෙන් හිම දියකර හැර හඉකු කවක සොඳුරු රස වින්දනයට ඔබට කෙරෙන ඇරයුමක් පරිද්දෙන් පිළිගත හැකි නම් අගනේ ය.

“හිම දිය වෙයි

හුණ ගස් දිග හැරේ

හිරු එළිය හමුයෙහි”

(නූතන ජපන් හඉකු – 48 පිට)

 

References:

Image courtesies:

 

 
Tagged : / /