තවත් ලාංකිකයින් රැසකට EPL වරම්

එවරස්ට් ප්‍රිමියර් ලීගය 2021

5731

සිව්වැනි වරටත් නේපාලයේ දී පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහ තවත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින උපුල් තරංග සහ ධම්මික ප්‍රසාද් මෙවර EPL තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අතර ඊට අමතරව සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, ඕෂද ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයින් ද මෙවර EPL තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.

සීකුගේ, අසේල, ඕෂද සහ සහන් යන ක්‍රීඩකයින් පසුගිය දා නිමාව දුටු Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ නමුත් සඳුන් වීරක්කොඩි හට එම තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දිනේෂ් චන්දිමාල් ද මෙවර එවරස්ට් ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමට සූදානමින් සිටි නමුත් ඔහු ශ්‍රී ලංකා ලෝක කුසලාන විස්සයි විස්ස සංචිතයට ඇතුළත් නිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

මීට පෙර 2017 වසරේ දී පැවති EPL තරගාවලියේ දී හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් Kathmandu Kings කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

EPL තරගාවලිය 2016 වසරේ දී ආරම්භ වූ අතර එය 2018 වසරේ දී අවසන් වරට පැවැත්වුනා. ඒ අනුව එම තරගාවලියේ සිව්වැනි අදියර වන මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර තුනක විරාමයකින් පසුව වීම විශේෂ වෙනවා.

සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිත 2021 EPL තරග වාරය ඔක්තෝබර් 9 වැනිදා අවසන් වීමට නියමිතය අතර මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සැප්තැම්බර් 21 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<