එක රැයින් ශූරියක වුණු එමා රෙඩුකානු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 13, 2021

එක රැයින් ශූරියක වුණු එමා රෙඩුකානු

වසර 44 කට පසුව බ්‍රිතාන්‍යයට, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාව හිමිවිය. ඒ, බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානු, ඇමෙරිකාවේ නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමත් සමඟය. එම තරගයේදී එමා, කැනඩාව නියෝජනය කළ 19 හැවිරිදි ලෙයිලා ෆර්නැන්ඩස් පරාජය කරනු ලැබුවාය. 

ලැබූ ජයග්‍රහණයත් සමඟ එමා රෙඩුකානු, එක රැයින් පුවත් මවන්න වූවාය. අවසන් මහ තරගයට පෙර, වෘත්තීය ක්‍රීඩිකාවක වශයෙන් එමා දිනා සිටි සම්පූර්ණ ත්‍යාග මුදලේ එකතුව ඩොලර් ලක්‍ෂ 7 ක් විය. ලයිලා පරාජය කරමින් ඇමරිකානු විවෘත ශූරතාව දිනාගැනීමත් සමගින් ඇය ඇයට හිමිවුණු මුදල ඇමෙරිකන් ඩොලර් ලක්‍ෂ 25 ක් හෙවත් ඩොලර් මිලියන දෙක හමාරකි. 

මේ වන විට එමා ටෙනිස් ක්‍රීඩාවෙන් උපයා ඇති සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් 28,03,376 කි. එම මුදලෙන් වැඩි කොටසක් උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොදවන බවත්, ටෙන්සි ක්‍රීඩාවෙන් දිගටම හපන්කම් පෙන්වන බවත් එමා රෙඩුකානු පවසයි. 
මීට පෙර එමා රෙඩුකානු සභභාගිවූ එකම ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය වූයේ විම්බල්ඩන් තරගාවලියයි. එහිදී ඇයට යා හැකිවූයේ සිව්වැනි වටය තෙක් පමණි. එමා ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර 150 වැනි ස්ථානයේ සිටිය ද ඇයගේ ප්‍රතිවාදිනිය වූයේ ශ්‍රේණිගත කිරීම් අතර 73 වැනි ස්ථානයේ සිටි ලයිලා ෆර්නැන්ඩස්ය. 

ලොව ප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවන් වන නයෝමි ඔසාකා (ඇමරිකා විවෘත තරගාවලියේ පසුගිය වසරේ ශූරිය), අර්යානා සැබලෙන්කා (ලෝක ශ්‍රේණිගත අංක 2) සහ එලීනා ස්විටෝලිනා (ස්ථානගත අංක 5 ක්‍රීඩිකාව) සියලු දෙනාම පරාජය කිරීමට ලයිලා ෆර්නැන්ඩස් සමත් වී සිටියාය. ඒ අනුව, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාව නිසැකවම ලයිලා ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය. ඒත් එමා රෙඩුකානු එය වෙනස් කළාය.

ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 150 ස්ථානයේ සිටි ක්‍රීඩිකාවක වන එමා, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගැනීම සැබැවින්ම ටෙනිස් ලෝලීන්ට විශ්වාස කළ නොහැකි වික්‍රමයකි. 

මීට පෙර වැඩිදෙනාගේ අවධානයට ලක් නොවුණු එමා, ඇමරිකානු විවෘත ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගත් තරග තුනේදීම එකම වටයක් හෝ පරාජය වූයේ නැත. එතැන් සිට සති දෙකක් තිස්සේ පැවැති ප්‍රධාන තරගාවලියේ තරග 7 දීත් එකම වටයක් හෝ පරාජය වූයේ නැත. වසර 2004 දී වයස 17 ක් ව සිටි මාරියා ෂරපෝවා, විම්බල්ඩන් කිරුළ දිනාගත් පසු, ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාවක් දිනූ ළාබාළතම ක්‍රීඩිකාව එමා බව මාධ්‍ය වර්තා පෙන්වා දෙයි. 
2002 නොවැම්බර් 13 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී උපත ලද එමා, මේ වන විට ලන්ඩන් නුවර පදිංචිකාරියකි. බ්‍රිතාන්‍යයට අවසන් වරට ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාවක් දිනා දුන් ක්‍රීඩිකාව වර්ජිනියා වේඩ් ය. ඒ, 1977 වසරේ දීය. බ්‍රිතාන්‍යයට ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාවක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. එමා ජයග්‍රහණය කරද්දී, එම අවසන් තරගය නැරැඹූ ප්‍රේක්ෂකයන් අතරේ, වර්ජිනියා වේඩ් ද සිටියාය. 

වසර 44 කට පසු බ්‍රිතාන්‍ය වෙනුවෙන් ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් එමා රෙඩුකානු ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි. මිලියන 9 ක් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇමෙරිකාවේ නිව් යෝර්ක්හි පැවති එම අවසන් තරගය නැරඹූ බව පැවැසෙයි. එමා ජයග්‍රහණය කළ අවස්ථාවේදී පළමුවෙන් සුබ පැතුම් එක් කළේ දෙවැනි එලිසබත් මහ රැජිනය. 

'මෙතරම් ළාබාල වයසේ මෙතරම් හපන්කමක් කිරීමට ඇය සමත් වූයේ ක්‍රීඩාව වෙනුවෙන් ඇය කළ කැපකිරීම් නිසයි. ඇගේ මහන්සියේ ප්‍රතිඵල ඇයට ලැබුණා' යැයි එලිසබත් මහ රැජිනගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වී තිබේ. බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද එමා ට සුබ පැතුවේය. ඒ, ට්විටර් පණිවුඩයකිනි. 'ඒක නම් හරිම අපූරු තරගයක්. විශිෂ්ට ජයක්. එමා රෙඩුකානු ඔයාට සුබ පැතුම්' යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

එමා රෙඩුකානුගේ මාපියන් මහා බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණෙද්දී එමාගේ වයස අවුරුදු දෙකකි. එමාගේ පියා ඉයන් රොමේනියානු ජාතිකයෙකු වන අතර මව රෙනේ චීන ජාතික කාන්තාවකි. පියා උපත ලබා ඇත්තේ රොමේනියාවේ බුචාරෙස්ට් අගනුවරය. මව රෙනේ උපත ලබා ඇත්තේ චීනයේ ලියෝනින් පළාතේ ෂෙංයැං නගරයේය. 

තමන්ට මැන්ඩරීන් බස කතා කිරීමට පුළුවන් බව රෙඩුකානු පවසයි. තමන් වසරකට වරක්, පියා සහ මව සමඟ අත්තම්මා බැහැදැකීමට රොමේනියාවට යන බවත් අත්තම්මාගේ රොමේනියානු රස කෑම වර්ගවලට තමන් හුඟක් කැමති බවත් එමා පවසා තිබේ. තායිවාන ටෙලි කතා නැරැඹීමට එමා ප්‍රිය කරයි. 

එමා ට කැනඩාවේත් මහා බ්‍රිතාන්‍යයේත් ද්විත්ව පුරවැසිභාවය හිමිය. කුඩා කළ සිටම එමා ක්‍රීඩාවට යොමු වූවාය. ගෝකාට්ර් රේසිං, සහ යතුරු පැදි තරගවලට සහභාගී වූවාය. ඇය අසු පිට යෑමට දක්ෂය. ටැප් ඩාන්සිං සහ බැලේ නර්තන ඇය ප්‍රගුණ කර තිබේ. ඇය වඩාත් ප්‍රිය කරන්නේ ෆෝමියුලා වන් තරගය. 

ටෙනිස් ක්‍රීඩිකාවක ලෙස ඇය දස්කම් පෙන්වන්න වූයේ හිටිහැටියේය. ඇය තරග ජයග්‍රහණය කරද්දී, ටෙනිස් ලෝලීන් පවා ඇය කවුරුන්දැයි දැන සිටියේ පවා නැත. බ්‍රිතාන්‍යයට, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාව හිමිකර දීමට එමා ට හැකි වනු ඇතැයි කිසිවකු විශ්වාස කළේ ද නැත. 

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom