චිත්කණ්ඩිට එරෙහිව බූත් පොලිස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 12, 2021

චිත්කණ්ඩිට එරෙහිව බූත් පොලිස්

බොහෝ දෙනා නැරඹීට ආසාවෙන් සිටි බොලිවුඩ් සිනමා නිර්මාණය, 'බූත් පොලිස්' මේ වනවිට Disney+ Hotstar හරහා නැරැඹීමට අවස්ථාව උදා වී තිබේ. පවාන් කිර්පලානීගේ අධ්‍යක්ෂණයක් වන 'බූත් පොලිස්' ත්‍රාසය පිරුණු ප්‍රහසනයකි. 

චිත්‍රපටය ගැන බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වූයේ, පවාන් කිර්පලානී මාධ්‍ය හමුවේ කර තිබූ ප්‍රකාශයක් හේතුවෙනි. තමන් 'බූත් පොලිස්' නිර්මාණය කරන්නේ අතිශය ජනප්‍රිය ඇමෙරිකන් රූපවාහිනී කතාමාලාවක් වන 'සුපර්නැචුරල්' නරඹද්දී ඇති වුණු සිතුවිල්ලකට අනුව යන්න එම ප්‍රකාශයයි. 
'බූත් පොලිස්' නිර්මාණයට 'සුපර්නැචුරල්' කතාමාලාව උපකාරී වුණත්, චිත්‍රපටය කිසිසේත්ම 'සුපර්නැචුරල්' හා සමාන කළ නොහැකි යැයි ද පවාන් කිර්පලානී පවසා තිබුණි.'බූත් පොලිස්' චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ද 'සුපර්නැචුරල්' රූපවාහිනී කතාමාලාව සේම අයියා මලෝ දෙදෙනකු වටාය.

'බූත් පොලිස්' චිත්‍රපටයේ අයියා මලෝ දෙදෙනා විබූ සහ චිකූ ය. වැඩිමලා විබූගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන් ය. චිකූගේ චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු බවට පත් වුණු අර්ජුන් කපූර්ය. 
මොවුන්ගේ පියා හොල්මන් අවතාර ඇතුළු අමනුස්ස ආත්ම වනසමින් මිනිසුන්ට පිහිටවුණු උලට් බාබා නමැත්තාය. හොල්මන් අවතාර ආදිය විනාශ කරන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ගුප්ත විද්‍යාවට අදාල අත්පොතක් ද උලට් බාබා සකස් කර ඇති අතර, එම පොත උරුම වී ඇත්තේ චිකූටය. 

චිකූ පියා ගැන විශ්වාසය තබමින් ගුප්ත දේ විශ්වාස කළත්, විබූ ට අනුව හොල්මන් අවතාර කියා දෙයක් නොමැති අතර, දෙදෙනා එක් වී බොරු විශ්වාස අදහන අහිංසක ගැමියන්ගෙන් මුදල් කඩා වඩා ගනී. චිත්‍රපටය ඇරැඹෙන්නේ මේ අයුරින් විබූ සහ චිකූ නරඹන්නන්ට හදුන්වා දෙමිනි. 
මේ අතර, උලට් බාබා සොයමින් පැමිණෙන යුවතියක වන මායා, විබූ සහ චිකූ ට හමුවෙයි. මායාගේ චරිතයට පණ දෙන්නේ බොලිවුඩයේ ජනප්‍රිය තරුණ නිළි යමී ගෞතම්ය. මායා සහ ලන්ඩනයේ හැදී වැඩුණු ඇගේ වැඩිමල් සොයුරිය කානූ ට ඔවුන්ගේ පියාගෙන් උරුම වූ තේ කම්හලක් සහ තේ වතුයායක් ඇති අතර, අමනුස්ස ආත්මයක් මෙම තේ කම්හලේ වැඩ කරන සේවක සේවිකාවන්ට කරදර කරයි. 

මේ අමනුස්ස ආත්මය චිත්කණ්ඩි ය. 

කානුගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් සුරූපිනිය ජැකලීන් ෆර්නෑන්ඩස් ය. හොල්මන් කියා දෙයක් නැතැයි පවසමින්, තවත් මුදල් කඩා ගැනීමක් අරමුණින් මායා සමග සිලාවර් වතුයායට යන විබූ සහ චිකූ අපූරු මෙන්ම හාස්‍ය ජනක සිදුවීම් රැසකට මුහුණ දෙති. 
'ධර්මශාලා' නුවර චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේ
'චිත්කණ්ඩි' සැබෑ නපුරු ආත්මයක්ද? නැත්නම් තවත් බොරු රඟපෑමක්ද? 'බූත් පොලිස්' චිත්‍රපටයේ කතාව මෙයයි. 

සායිෆ් අලී ඛාන් ප්‍රහසන නළුවකු ලෙස ජනප්‍රියය. මෙම චිත්‍රපටයේ 'විහිළුකාරයා' ඔහුය. විචාරකයන්ට අනුව මිනිත්තු 129 ක ධාවන කාලයක් සහිත 'බූත් පොලිස්' යනු කම්මැලිකමෙන් තොරව, ආසාවෙන් නැරඹිය හැකි විනෝදාස්වාදය පිරි බොලිවුඩ් නිර්මාණයකි. 
චිත්‍රපටයට පරිගණක ප්‍රයෝග භාවිතයට ගෙන තිබුණත්, ඒවා හොලිවුඩ් සිනමා නිර්මාණවල තරම් තාත්වික නොවෙයි. කෙසේ නමුත් සයිෆ් අලී ඛාන්, අර්ජුන් කපූර්, යමී ගෞතම් සහ ජැකලීන් ෆර්නෑන්ඩස්ගේ රංගනය නිසා චිත්‍රපටය හොඳින් රස විඳිය හැක. චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවී ඇත්තේ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ධර්මශාලා නුවරය. 

Classified_Ad

Classified_Ad_News_Bottom