ශ්‍රී ලංකාවේ 202 වැනි එක්දින හිස්වැස්මේ හිමිකරු – මහීෂ් තීක්ෂණ

2493

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ දී, 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට අද (7) සමත් වුනා. ඒ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 202 වැනි එක්දින හිස්වැස්මේ හිමිකරු ලෙසයි.

2000 වර්ෂයේ දී උපත ලැබූ මහීෂ් මුලින්ම ඇතුළත් වෙන්නේ බොරැල්ල, සුසමයවර්ධන විද්‍යාලයට. පසුව දෙවන වසරේ දී සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලයට ඔහු ඇතුළත් වෙනවා. 

වයස අවුරුදු 10 වන විට මහීෂ් මූලික ක්‍රිකට් අඩිතාලම සකසා ගන්නේ NCC හි පිහිටා තිබෙන අශෝක ද සිල්වා ක්‍රිකට් ඇකඩමිය හරහායි. ඒ සඳහා තිලක් ද සිල්වා සහ W.A.D.S. රම්‍යජිත් පුහුණුකරුවන්ගෙන් මූලික මඟ පෙන්වීම මහීෂ්ට හිමි වුනා. 

පසුව දිල්රුක්ශාන් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ සිද්ධාර්ථ විද්‍යාලයේ 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම තුල කැපී පෙනෙන දස්කම් දක්වමින් තරග දිනවන්නෙක් බවට පත්වෙන්නට මහීෂ්ට හැකියාව ලැබෙනවා.

2013 වසරේ පැවති 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යැවීමෙන් කඩුලු ත්‍රිත්වයන් දෙකක් ද සමඟ කඩුලු 20ක් දවා ගනිමින් දස්කම් දැක්වූ මහීෂ් අර්ධ ශතක දෙකක් සමඟ පිතිකරණයෙන් ලකුණු 150ක් ද ලබාගෙන ඉතාමත් සාර්ථකව එම තරග වාරය අවසන් කිරීමට සමත් වුනා. 

ඉන්පසුව 2014 වසරේ දී පැවති 15න් පහළ තෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 250ක් සහ කඩුලු 24ක් දවා ගනිමින් තවත් සුපිරි තරග වාරයක් නිමා කරන මහීෂ්ගේ ක්‍රිකට් දිවියේ නැවුම් පරිච්ඡේදයක් ආරම්භ වන්නේ, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පැමිණීමට වරම් හිමිවීමත් සමඟයි. 

ඒ අනුව 2015 වසරේ සිට ඔහු සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායම නියෝජනය කළ අතර පළමු තරග වාරයේ දී ම අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 600කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා ඔහු එම තරග වාරයේ දී ආරම්භක පිතිකරුවෙක්ගේ භූමිකාව ඉටු කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළා. එහි දී ඔහු මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව ශතකයක් ද ලබා ගන්නට සමත් වුනා.

වයස අවුරුදු 15 දී ම කැපී පෙනෙන දස්කම් දක්වමින් සිය පාසල් කණ්ඩායමට නැතුවම බැරි සාමාජිකයෙක් වූ මහීෂ්, 2015/16 තරග වාරයේ 19න් පහළ පළමු කාණ්ඩයේ (U19 DIV 1) පාසල් ක්‍රිකට් තරගාවලියේ දී සාන්ත බෙනඩික්ට් කණ්ඩායම නියෝජනය කළා. 

එහි දී තරග 4ක් ක්‍රීඩා කළ මහීෂ් 2016 පැවති 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යවන්නෙක් ලෙස කඩුලු 17ක් දවා ගන්නා විට, පිතිකරුවෙක් ලෙස ලකුණු 120ක් රැස් කරගනිමින් දක්ෂතා ප්‍රදර්ශනය කළා.

ඔහු 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් තරග 43ක දී ලකුණු 1,392ක් ලබාගෙන තිබෙන අතර පන්දු යැවීමෙන් කඩුලු 178ක් දවාගෙන තිබෙනවා. ඒ අතරින් 2017/18 තරග වාරය තුල ඔහු කඩුලු 74ක් දවා ගත්තේ ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 650කට වඩා වැඩි ප්‍රමාණයක් රැස්කරමිනුයි. එම දස්කම් නිසාවෙන් එම වසරේ “Sunday Observer Mobitel පළමු පෙළ දක්ෂතම පාසල් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා” සඳහා වන සම්මානය දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.

2017 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී බස්නාහිර පළාත් උතුර කණ්ඩායම නියෝජනය කළ මහීෂ් පසුව ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට ද තේරී පත්වුනා.

2017 වසරේ පැවති 23න් පහළ නැගී එන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමට අවස්ථාව හිමි වුන, එවකට 17 හැවිරිදි වියේ පසු වූ මහීෂ් එම තරගාවලියේ දී කඩුලු 5 අවස්ථා 4ක් සමඟ කඩුලු 53ක් දවා ගන්නට සමත් වුනා.

ඉන් නොනැවතුණු ඔහු, ශ්‍රී ලංකා පළමු පෙළ සීමිත පන්දුවාර සහ විස්සයි විස්ස අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි ද නියෝජනය කිරීමට වරම් දිනා ගත්තා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17-18ක් පමණ වුනා.

“දිල්රුවන් අයියා තමයි මට කෝල්ට්ස් එකට එන්න කියලා සෙල්ලම් කරන්න අවස්ථාව හදලා දුන්නේ. පාසල් යන වයසේ දී ම ක්‍රීඩකයෙකුට අන්තර් සමාජ මට්ටමට එන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ ලේසියෙන්. මම මුලින් වේගපන්දු යැවුවේ, හැබැයි ආබාධයක් නිසාවෙන් මම දඟපන්දු යවන්නෙක් වුනා. අවුරුදු 2ක් වගේ කාලයක් ගියා මට කැරම් පන්දුව හරියට පුහුණු වෙන්න. දැන් මට පන්දු 4ක් යවන්න හැකියාව තියෙනවා”, යැයි මහීෂ් ThePapare.com වෙත පවසා සිටියා.

2018, 2019 සහ 2020 යන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගවාර තුනම ක්‍රීඩා කරන මහීෂ් ප්‍රබල SSC කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයක දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් සිය හොඳම පළමු පෙළ විස්සයි විස්ස දස්කම දක්වනවා. 

පසුව 2019 වසරේ දී අයර්ලන්ත A කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ඔහු, 2020 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ ගජබා රෙජිමේන්තුවට ඇතුළත් වෙනවා. ඒ සිය ඉදිරි ක්‍රිකට් ගමන තව තවත් සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි.

ඒ අතරවාරයේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංචිත කිරීම් සඳහා ද තේරී පත්වුණු මහීෂ් Jaffna Stallions විසින් මිල දී ගත් අතර ඔහු එහි දී Colombo Kings කණ්ඩායමට එරෙහිව එක් තරගයක් ක්‍රීඩා කළා. එම තරගයේ දී ලොව ප්‍රබල ක්‍රීඩකයින් සමඟ කරට කර සටන් කළ මහීෂ්ට කඩුල්ලක් දවා ගැනීමට හැකියාවක් නොලැබුනත් සිය පන්දුවාර තුන ලකුණු 17කට සීමා කිරීමට ඔහු සමත් වුනා.

ඉන්පසුව ඔහුගේ ක්‍රිකට් දිවියේ තවත් ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ වන්නේ 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී Northern Warriors කණ්ඩායම නියෝජනය කරමින් තරග තුනක දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වීමත් සමඟයි. 

එහි අවසන් මහා තරගයේ දී Delhi Bulls කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් එවර T10 කිරුල සිය කණ්ඩායමට දිනා දීම සඳහා විශාල මෙහෙයක් ඉටු කළ මහීෂ් අවසන් මහා තරගයේ වීරයා සම්මානය ද දිනා ගන්නට සමත් වුනා.

රන්ජිත් ප්‍රනාන්දු (1975), රන්ජන් ගුණතිලක (1979) යන සාන්ත බෙනඩික්ට් විදුහලේ ආදි සිසුන් දෙදෙනා මහීෂ්ට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගෙන තිබෙනවා. ඉන් වසර 42කට පසුව සාන්ත බෙනඩික්ට් විදුහල් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, 1981 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදී සිසුවෙක් ශ්‍රී ලංකා එක්දින වරම් දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මහීෂ් ඉතාමත් වටිනා ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වන්නට ThePapare.com අපි ඔහුට සුබ පතනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<