Bio Bubble නිසා Mustafizur ටෙස්ට් අතහරී

2084

බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman තමන් ටෙස්ට් තරග සඳහා සහභාගි නොවන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා. ඒ ටෙස්ට් තරග සඳහා දිගු කාලයක් ජෛව ආරක්ෂිත බුබුළුවල රැඳී සිටීම අපහසු බව දන්වමින්.

ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස ලෙස එක් එක් ආකෘතිවලට වෙන වෙනම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කොන්ත්‍රාත්තු හඳුන්වා තිබෙනවා. ඒ අනුව Mustafizur හට ටෙස්ට් කොන්ත්‍රාත්තුවක් හිමිව නැහැ.

පසුගිය වසරේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව Mustafizur තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කළ අතර ඒ නිසාම ඔහු වැඩි කාලයක් ගත කළේ ජෛව ආරක්ෂිත බුබුළුවලයි. Mustafizur, Cricbuzz වෙතට අදහස් දක්වමින් ප්‍රකාශ කරමින් පවසා තිබුණේ ඔහුට දිගින් දිගටම ජෛව ආරක්ෂිත බුබුළුවල රැඳෙමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ඉතා අපහසු බවයි.   

නවසිලන්ත සංචාරයෙන් අනතුරුව ඔහු නැවත වතාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යෑමට නියමිතයි. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමටයි. ඉන් අනතුරුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයේ ජෛව  ආරක්ෂිත බුබුළට එකතු වීමට නියමිතයි.

Mustafizurගේ ඉල්ලීමෙන් පසුව ඔහුව ටෙස්ට් කණ්ඩායම සඳහා නොකැඳවන්නට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් සභාපති Akram Khan පවසා සිටියා.  

“මේ මොහොතේ Mustafizur ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඔහු අපිට පවසා සිටියා ඔහුට ටෙස්ට් තරග සඳහා අවධානය යොමු කරන්නට අපහසු බව. දිගු කාලයක් ජෛව ආරක්ෂිත බුබුළක ක්‍රීඩා කරන්නට නොහැකි බව.”

“අපි ඒ තීරණය බොහොම ධනාත්මකව භාරගත්තා. මොකද ඔහු සීමිත පන්දුවාර ආකෘතියේ අපිට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. අපි ආකෘතියෙන් ආකෘතියට වෙන වෙනම කොන්ත්‍රාත්තු හඳුන්වා දුන්නේ Nasum හා Shamim වැනි ක්‍රීඩකයින් විස්සයි විස්ස තරග විතරක් ක්‍රීඩා කරන නිසා. මීට පෙර සීමිත පන්දුවාර නමින් කොන්ත්‍රාත්තුවක් තිබුණේ. දැන් අපිට එක්දින හා විස්සයි විස්ස ලෙස කොන්ත්‍රාත්තු දෙවර්ගයක් තිබෙනවා.”

“අපි දක්ෂතා අනුව ගෙවීම් කරන්න ක්‍රමයකුත් සකසලා තිබෙනවා. ඒක නිසා ක්‍රීඩකයින් අතර තරගයක් තිබෙනවා. ක්‍රීඩකයෙක් විස්සයි විස්සේ සිට ටෙස්ට් තරගවලට එන විට වගේම එක්දින තරගවලට එන විටත් ඔවුන්ගේ ගෙවීම් වැඩි වෙනවා.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<